Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා 2020 කිරුළ.. ලංකාවේ කෑම ලෝකෙට අරං ගිය පුංචි ජෝජියාට!

අවුරුදු එකොළහක පුදුම චෙෆ්!

Posted by

මීට මාස හයකට විතර කලින්, මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගෙදි ලංකාවේ කෑම හදලා, ජජ් බෝඩ් එක පුදුම කරපු ඩැනී වෙන් මතක ද? එයා හැදුවෙ කකුළු කරියක්, අන්නාසි කරියක්, පොල් සම්බෝල සහ රොටී. අවුරුදු 20දි ලංකාවට ආපු ඩැනී ලංකාවේ කෑමබීමවලට හුඟක් ආදරේ කරන කෙනෙක්. 

අන්න ඒ මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගෙ ම පොඩි අයගෙ වර්ෂන් එක තමයි ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා කියන්නෙ. ඊයේ රෑ ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තුන් වෙනි සීසන් එකේ අවසන් තරගය පැවැත්වුණා. මෙදා පාර ලාංකිකයන්ට තවත් සතුටු වෙන්න පුළුවන් ආරංචියක්!

ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා 2020 කිරුළ දිනාගත්තෙ ශ්‍රී ලාංකික සම්භවයක් තියන පුංචි ගෑනු ළමයෙක්. තරගෙ පුරා ම ඇය හැදුවේ ලංකාවේ කෑමබීම!

මේ ඉන්නේ ඒ ජෝජියා. ඇයට වයස අවුරුදු එකොළහයි. ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ජෝජියා එයාගෙ ආච්චි අම්මයි සීයයි එක්ක හුඟක් එකතුයි ලු. ඇගේ ආච්චි අම්මයි සීයයි ලාංකිකයන්. ඇය කියන විදිහට ඇයට පුංචි කාලේ ඉඳන් ම ලංකාවේ ඉවුම්පිහුම් පුරුදු පුහුණු කරලා තියෙන්නේ ආච්චි අම්මා. ඇය මුලින් ම උයන්න පටන්ගත්තේ අවුරුදු තුනේදි ලු.

ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා තරගෙ පහුගිය සීසන් එක, ඒ කියන්නේ සීසන් ටූ පැවැත්වෙනකොට ජෝජියාට වයස අවුරුදු දෙකයි ලු! ඉන් අවුරුදු නවයකට පස්සෙ, ඇය සීසන් ත්‍රී එකේ ජයග්‍රාහිකාව වෙයි කියල ඒ කාලේ කිසි කෙනෙක් හීනෙන්වත් හිතන්න නැතුව ඇති.

ඊයේ රෑ අවසන් තරගය වෙනුවෙන් ප්‍රධාන ආහාර වේලක් සහ අතුරුපසක් පිසින්න තරගකරුවන්ට පැවරුණා. ජෝජියා සකස් කළේ ලංකාවේ පෝක් කරියක්, කජු කරියක්, වම්බටු කරියක්, පපඩම් සහ පිපිඤ‍්ඤා රයිටා එක්ක කහ බත්.

අතුරුපස විදිහට ටෝස්ටඩ් කොකනට් අයිස්ක්‍රීම් එක්ක ඩේවිඩ්සන් ප්ලම් මරෑන්ග්ස් සහ පර්ල්ස්. ඇය මේක නම් කළේ ‘ට්‍රොපිකල් මෙස්’ කියලා. “මේක ලංකාවයි ඔස්ට්‍රේලියාවයි දෙකේ කලවමක්. පොඩ්ඩක් මං වගේ.” ජෝජියා කිව්වා.

විනිශ්චය මණ්ඩලේ ඇන්ඩි ඇලන්, මෙලිසා ලියොන්ග්, ජොක් සොන්ෆ්‍රිලෝ ඇරුණම අවසන් තරගෙට සප්‍රයිස් ගෙස්ට්ලා විදිහට තරගකරුවන්ගේ අම්මලාවත් එකතු කරගන්න සංවිධායකයෝ තීරණේ කරලා තිබුණා.

මේ තරං රස කෑම වේලක් අවුරුදු එකොළහක පුංචි ගෑනු ළමයෙක් අතින් හැදුණ කියල විශ්වාස කරන්නත් බෑ කියල ජෝජියාගේ කෑම රස කරපු විනිශ්චය මණ්ඩලේ කිව්වා. “මට දැනෙන්නේ මගේ අම්මා මට උයල දීපු කෑමවල රස. මට විශ්වාස කරන්න බෑ ඒ රසට මේ කෑම හැදුණේ මගේ දුවගේ අතින් කියලා. ජෝජියා හැම වෙලේ ම කියන්නේ එයා උයන්නේ ආදරේ පෙන්නන්න කියලා. එයා එයාගේ හැඟීම් පෙන්නන්නේ ඒකෙන්. මගේ අම්මත් ඒ වගේමයි.” එහෙම කිව්වේ ජෝජියා හදපු කෑම රස බලපු ඇගේ අම්මා.

ජෝජියා එක්ක අවසන් තරගෙට සුදුසුකම් ලබපු අනෙක් තරගකරුවන් දෙන්නා ෆිලෝ සහ කාටර්. ජෝජියා තරගෙ දින්නම මේ පුංචි පිරිමි ළමයි දෙන්නත් තමන් දින්නා හා සමානව ම සතුටින් කෑගහන හැටි දකින්න පුළුවන් වුණා. ඒ දෙන්නට ඔස්ට්‍රේලියානු ඩොලර් පන්දහසේ මුදල් ත්‍යාග හිමි වුණා.

තරගයේ ජයග්‍රාහිකාව විදිහට ජෝජියාට ඔස්ට්‍රේලියානු ඩොලර් විසිපන්දහසක මුදලක් ලැබුණා. මේ මුදලින් කරන්නේ මොනවද කියලා තාම හිතලා නැතත්, කෑමබීම සම්බන්ධ ජොලි වැඩකට ඒක යොදවන්න ඕන කියලා ඇය කියනවා. “මට අවුරුදු 18දි ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මට ඒ ගැන හිතන්න අවුරුදු හතක් තියනවා. මං හිතන්නෙ මං ට්‍රැවල් කරයි. ෆුඩ් ස්ටෝල් එකකුත් පටන්ගනියි.” ජෝජියා කිව්වා.

“මට හරිම පුදුමයි. මුලින් මගේ අරමුණ වුණේ කොහොම හරි පළවෙනි සතිය පහු වෙනකන් තරගේ රැඳිලා ඉන්න එක විතරයි. තරගෙ දිනන්න ලැබීම නං හරිම පුදුමයක්.” ජයග්‍රහණය ගැන ජෝජියා කිව්වේ එහෙම.

ජෝජියාගේ ජයග්‍රහණය ලංකාවට ආඩම්බරයක්. ඒ වගේ ම අපේ රටේ කෑමවල විශේෂත්වය අපිට ම සමරන්න අවස්ථාවක්. ඉතින් ලංකාවේ නම වගේ ම ලංකාවේ කෑමවල රස ගුණත් ලෝකයට අරං ගිය පුංචි ජෝජියාට අපෙනුත් සුබ පැතුම්!

Leave a comment