Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

අපේ හිත්වල නොමැකෙන සිතුවම් ඇන්ද සිබිල් නැන්දාට සුබ ගමන්!

සිබිල් වෙත්තසිංහ මහත්මිය සමුගෙන ගිහින්

Posted by

“The creative adult is the child who survived.”

මේ කියමන ඕගොල්ලො අහල ඇති. මේ කතාව තමන්ගේ ජීවිතයෙන් ජීවමානව ඔප්පු කරපු, අපේ ළමා ලෝකේ වර්ණවත් කරපු ආදරණීය චරිතයක් අද දිවියෙන් සමුගත්තා. ඒ අපේ පුංචි ලංකාවේ සාහිත්‍යය මුළු ලෝකයට ම රැගෙන ගිය ප්‍රවීණ ලේඛිකා, චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය.

අපි හැමෝම වැඩිපුර දන්න විදිහට කිව්වොත් සිබිල් නැන්දා.

රූපය: exploresrilanka.lk

මතක ද ඒ චිත්‍ර? කොන්ද නැවුණු, පිට වකුටු වුණු ආත්තම්මලා, කොණ්ඩ පොඩිත්තක් බැඳපු, සුදු දිග රැවුලක් වවපු සීයලා, රවුම් මූණු, ලොකු ඇස් ඇති ගමේ ගැහැනු උදවිය, මල් වැටුණු ගවුම් පොඩි, කලිසම් කොට ඇඳගත්ත, හිනා කටවල් තියන පුංචි ළමයි, සරුසාරෙට වැවුණු ගස්කොළන් කෙත් වතු පිරුණු පිටිසරබද ගම්මාන…

පොඩි කාලේ

සිබිල් නැන්දා කියන්නේ ගම්බද නිස්කලංක ජීවිතය අපේ හිත්වල නොමැකෙන්න ඇඳපු චිත්‍ර ශිල්පිනිය. ඇය ඇන්ද ඒ චිත්‍රවල තිබුණේ ඇය ඉපදුණු ගම. 1927 අවුරුද්දේ ඔක්තෝබර් 31  වෙනිදා ගාල්ලේ ගිංතොට කියන ගමේ ඉපදුණු සිබිල් ද සිල්වා කියන පුංචි දැරිය, සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නියයි. ඉස්ඉස්සෙල්ලා ම ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ඉගෙනුම ලැබූ ඇය අවුරුදු හයක් වෙනකන් ගිංතොට ගමේ ගහකොළ ඇළදොළ අතරෙ සැරිසරමින් ජීවිතය ගෙවමින් හිටියා. ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් තාත්තා ඇයව කොළඹ එක්කන් ඇවිත් බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් කරන්නේ මේ අතරෙයි.

කොළඹට ආවට මේ පුංචි දැරියගේ හිත තිබුණේ ගමේ. එතැන් පටන් ඇය ගමේ මතක ටික ටික රූපයට නඟන්න පටන්ගත්තා. පුංචි කාලෙ ඉඳන් ම මිදුලේ වැල්ලෙයි ගෙදර බිත්තියෙයි එක එක රූප අඳිමින් හිටපු දැරියක් වුණ ඇය චිත්‍ර කලාවට දක්ෂයි කියල වටහාගන්න ඇගේ තාත්තා, ඇයට ඒ ඔස්සේ ඉහළට යන්න හැම විට ම අත දුන්නා. මේ අතරේ ලංකා කලා සංගමයෙන් පවත්වපු චිත්‍ර ප්‍රදර්ශනයකට ඇය ඉදිරිපත් කළ චිත්‍රයක් නිසා ‘නවමඟ’ අතිරේක කියවීම් පොත් පෙළේ පස් වැනි ශ්‍රේණියේ පොත්වලට චිත්‍ර අඳින්න ඇයට මහඟු අවස්ථාවක් හිමි වෙනවා. ඒ ඇය පහළොස් හැවිරිදි වියේ සිටියදී.

ලොකු කාලේ

ඉන් වැඩි කල් යන්නට මත්තෙන් ලංකාදීප පුවත්පතට සේවයෙන් එක් වෙන සිබිල් නැන්දා ඊටත් පස්සේ ලේක්හවුස් ආයතනයට බැඳෙනවා. ඇගේ වෘත්තීය ජීවිතය ඔපමට්ටම් වෙන්නේ එතැනින්. ලේක්හවුස් ආයතනයෙන් පළ කරන ‘ජනතා’ පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පිනිය බවට පත් වෙන්න ඇයට හැකියාව ලැබෙනවා. ඒ එක්ක ම ඒ පුවත්පතට ළමා නවකතාවක් ලියන්න ඇයට උප කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතාගෙන් ඇරයුමක් ලැබෙනවා. එහෙම ලියපු කතාව තමයි පස්සෙ කාලේ ලෝක ප්‍රසිද්ධ වුණු ‘කුඩ හොරා’.

රූපය: hi.lk

කොහොම හරි සිබිල් නැන්දා පසුව විවාහ වුණෙත් මේ ධර්මපාල වෙත්තසිංහ මහත්මයා එක්කයි. ඉතින් එතැන් සිට සිබිල් ද සිල්වා මෙනෙවිය, සිබිල් වෙත්තසිංහ මහත්මිය බවට පත් වුණා. ඇය දරු දැරියන් සිව් දෙනෙකුගේ මවක් වගේ ම මුනුපුරු මිනිපිරියන් පස් දෙනෙකුගේ ආත්තම්මා කෙනෙක්.

කුඩ හොරා ලැබුව ඉහළ පාඨක ප්‍රතිචාර නිසා ම සිබිල් නැන්දා දිගට ම ළමා පතපොත ලියන්න පටන්ගත්තා. මේ පොත්වල චිත්‍ර ඇන්දෙත් ඇයමයි. ඇගේ අතින් නිර්මාණය වුණු දුවන රැවුල, මැටි ගෙදර ළමයි, වැනියං කළු වැනියං, සූත්තර පුංචා, රසවතී වගේ පොතපත නිසා පුංචි කාලේ අපි ලැබූ ආස්වාදය අපමණයි. පාඨකයන්ගේ පරිකල්පන ලෝකය අපූරුවට වර්ණ ගන්වන්නට ඇයට ඇති හැකියාව නිසා ම, ඇගේ පොත් වැඩිහිටියන් පවා රස කරමින් කියවනවා. මේ පොත් හැම එකකට ම පාහේ පසුබිම් වුණේ ඇය හුඟක් ආදරය කළ ඇගේ ගම සහ එහි වැසියන්. මිය යන තුරු ම ඒ ගමේ සිටි හය හැවිරිදි පුංචි දැරිය සිබිල් නැන්දා තුළ ජීවත් වෙන්න ඇති.

ලංකාවෙන් ලෝකයට

සිංහල ඉංග්‍රීසි දෙබසින් ම ළමා පොත් 250කට අධික ප්‍රමාණයක් ලියූ සිබිල් නැන්දාට ඒ වෙනුවෙන් පාඨකයන්ගෙන් විශාල ආදරයක් වගේ ම, විචාරකයන්ගෙන් බොහෝ ගෞරව සම්මානත් හිමි වුණා.

1952 දී ලිව්ව ‘කුඩ හොරා’ට 1982 දී ජපානයේ පැවති පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයකින් ලෝකයේ තුන්වෙනි තැන හිමි වීමත් එක්ක සිබිල් නැන්දාට ජාත්‍යන්තරයේ දොර හැරුණා. ඒ සමග ම කුඩ හොරා පොත ජපන් බසට පරිවර්තනය වෙලා ජපානයේ ජනප්‍රිය ම ළමා කතාවක් වුණා. පසුව චීන, ඉංග්‍රීසි, දෙමළ, ස්වීඩන්, නෝර්වේ, ඩෙන්මාර්ක්, කොරියානු ආදී භාෂා 12කට අධික ප්‍රමාණයකටත් කුඩ හොරා පරිවර්තනය වීමෙන් පේන්නේ, ඊට කොයි තරම් පාඨක ප්‍රතිචාර ලැබුණ ද කියලයි.

පසුකාලීනවත් ජපානයෙන් ඇගේ කතා කිහිපයක් ම ජපන් බසින් ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒ අතරින් අවසන් පොතේ නම තමයි ‘පුදුම රිදී ගස’. ඇගේ චිත්‍රවලටත් ජපන් රටේ විශේෂ සැලකිලි හිමි වෙලා තියනවා. 1992 වසරේ ‘මැටි ගෙදර ළමයි’ පොතට හොඳ ම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා. ඒ වගේ ම ‘දුවන රැවුල’ පොතට හොඳ ම සැලසුම සහිත ළමා පොතට හිමි සාක් සම්මානය හිමි වුණා. ඒ 2003 අවුරුද්දේ. මීට අමතරව ග්‍රේෂන් සම්මානය, රාජ්‍ය සම්මාන, කලාකීර්ති ගෞරව නාමය ඇතුළු පැසසුම් රැසක් ඇය දිනාගෙන තියනවා.

සුබ ගමන්!

රූපය: nation.lk

අපේ පුංචි කාලය පාට පාටින් වර්ණ ගන්වපු, රස කතන්දරවලින් රස ගන්වපු, ලංකාවේ නම ලෝකය පුරා ගෙන ගිය සිබිල් වෙත්තසිංහ මහත්මිය ලංකාවෙ බිහි වුණ විශිෂ්ටතම ළමා සාහිත්‍යකාරිය කිව්වොත් වැරදි නෑ. අද දින ජීවිතයෙන් සමු ගන්නා විට ඇය 92 වැනි වියේ පසු වුණා. 

ඉතින් ආදරණීය සිබිල් නැන්දාට සුබ ගමන්!

Leave a comment