Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

අපිට අමතක වුණු අපේ කෑම - III; අවුරුදු මේසෙ රසවත් කරන්න ‘තණහාල් මුං කිරිබත් එක්ක කිතුල් පැණි!’

වැඩේ කියන්නෙ අළුත් අවුරුදු මේසෙට එන තණහාල්…

Posted by

“හම්මේ… හොඳටෝම නින්ද ගියා නැන්දෙ. කෝ මාමා?”

ඉස්මුරුත්තාව එනකම් මෙනේරි බතුයි කට්ට සම්බෝලයි ඇද බාපු මම ගමන් මහන්සියටත් එක්ක ඇලට් එකක් දැම්මෙ හැන්දැකරේ මාමාත් එක්ක හේන පැලට යන්න හිතාගෙන.

 

“ආං පුතේ මාමා පැලට යන්න ලෑස්තිය. බත බෙදනකම් පිළට වෙලා විටක් හපනව ඇති. ගිහින් කතා කරන්න”

නැන්දා කෙහෙල් කොලේ තවන ගමන් මට උත්තර දුන්නා.

 

අඩියට දෙකට පැදුරෙන් නැගිටපු මම, ඇඟමැලි කඩන ගමන් කුස්සි පිළට කිට්ටු කලේ මාමත් එක්ක හේනට යන්න අවසර ගන්න. ආයෙ ඇහුව විතරයි මාමත් එක පයින්ම වැඩේට කැමති වුනා. මොකද කම්මැලිකම යන්නත් එක්ක හොඳයිනෙ.

 

ළිඳෙන් වතුර බාල්දි දෙකක් හලාගත්තු මම ෂෝටයි බාටයි දාගෙන දඩිබිඩි ගාලා ලෑස්ති වුණේ නැන්දා දුන්නු කෑම පාර්සල් දෙකත් රෙදි මල්ලකට දාගන්න ගමන්. වැඩේ කියන්නෙ, කෑම පාර්සල් වලින් ආපු සුවඳ නම් එච්චර හොඳ එකක් නෙවෙයි වගේ. අතට ගත්ත සෙනිකව කටට කෙළ උනන සුවඳක් ආවෙ. කෙහෙල් කොලේ ඔතල නිසාද මං දන්නෑ, දොරකඩට බැහැපු වෙලාවෙ ඉඳන් කුසුඹේ බෑ.

 

“හ්ම්, කමක් නෑ. යමංකො ඉස්සෙල්ල පැලට. ඊට පස්සෙ බැරියැ මොනාද තියෙන්නෙ කියල බලන්න” කල්පනා කරපු මම හෙමින් සැරේ මාමගෙ පස්සෙ වැටිලා හේනට යන්න පිටත් වුණා.

 

කොහොම හරි බිම් පැලට කිට්ටු කරන්න අපි දෙන්නට පැය භාගයක් විතර යන්න ඇති. අලි එන කාලෙ නොවුනට වල් ඌරන්ගෙන්, ඉත්තෑවන්ගෙන්, ඕලු මුව, මීමින්නන්ගෙන් ඉරිඟු, තල, මෙනේරි ටික පරිස්සම් කර ගන්න ඕන නිසාද කොහෙද මාමා, හේනෙ මායිම් අල්ලල අමු දර ගිණි මැල අවුලවන්න පටන් ගත්තා. මමත් හරි හරියට වැඩේට උදව් කළේ උඩු පැලට ගොඩ වුණ ගමන් සුවඳ ගගහ ගෙනාපු කෑම එකේ රස බලනන්න පුළුවන් නිසා.

 

ඝන අඳුර, හේනෙ මායිම් ගිල ගනිද්දි මාමයි මායි බිම් පැළේ තිබ්බ අඩුම කුඩුම ටිකත් අරගෙන උඩු පැලට යන්න පිටත් වුණා. ඔය අතරෙ, බිත්තියෙ එල්ලල තිබ්බ පැණි, හකුරු මුලකුත් මාමා හොරාට, මල්ලට දාගත්තා.

 

පැලට නැගලා, ටකේ ලණුව හදලා, වට පිට සෝදිසියත් දැම්මට පස්සෙ තමයි මාමා කෙහෙල් කොලේ දිග අරින්න පටන් ගත්තෙ. ෂහ්, සුවඳේ බෑ. බැලූ බැල්මට මුං කිරිබතක් වගේ පෙනුනට මාමගෙ කතාව ඇහුවට පස්සෙ තමයි මට තේරුණේ මේක ඉතිහාස ගත ලාංකීය කෑමක් කියල.

 

තණහාල් මුං කිරිබත්. සාමාන්‍යයෙන් අපි කිරිබත් කන්නෙ උදේට වුණාට මේ කිරිබත් නං රෑටත් කනවලු. රස වැඩි කර ගන්න තමයි කිතුල් පැණි හරි හකුරු හරි එක්ක කන්නෙ. හැබැයි මාමලගෙ තාත්තා ඉන්න කාලෙ නම් මේවා කාලා තියෙන්නෙ මී පැණි එක්ක. නියමෙට තියෙන්න ඇති නේ.

ඔය වගේ කෑම ජාති හම්බවුණාම, හදන හැටි අහගන්න එක මගෙ පුරුද්දනෙ. ඒ නිසා කිරිබත් ගුලි ගිලින අතරට මම හීන් සැරේට මාමගෙන් වැඩේ අහගත්තා. හිතපු තරම්ම අමාරුවක් නෑ.

 

තණ හාල් හුන්ඩුවක් අරගෙන හෝදල කරල මුට්ටියකට දාලා, මුං ඇට හුන්ඩුවකුත් හෝදල කරල ඒ මුට්ටියටම දානවා. ඊට පස්සෙ මැදඟිල්ලට වතුර තියල මුට්ටිය තැම්බෙන්න අැරලා පොල් ගෙඩියක මිටි කිරකුයි දිය කිරකුයි හදා ගන්න ඕන. බතේ වතුර හිඳිලා තණහාල්, මුං ඇට ටික තැම්බෙද්දි දිය කිරි ටික එකතු කරන්න තියෙන්නෙ. ඒ ගමන් ලුණු තේ හැන්දක් වගෙත් එකතු කරන්න ඕන. ඒකත් හිඳීගෙන එද්දි මිටි කිරි ටික දාලා හොඳට කූරු ගගා කිරිබත ඉදෙව්ව නම් හරි. ඕන නං බතේ රස වැඩි කර ගන්න එනසාල් කරලක්, රම්පෙ කෑල්ලක් තලල දාන්නත් පුළුවන්.

 

වැඩේ කියන්නෙ මාමලගෙ පැත්තෙ අළුත් අවුරුදු මේසෙට එන තණහාල් මුං කිරිබතට මීට හාත් පසින්ම වෙනස්ලු. ඒකට හීනියට ලියපු හකුරු, කිතුල් පැණි, කජු, මුද්දරස් පලම් එහෙමත් එකතු කරනවලු. වෙලාවට මාමා ඒ ටික කියද්දි මම ඉස්මුරුත්තාවට එන ගානට කාලා හිටියෙ. නැත්තං ආයෙ කටට කෙළ උනල බඩගිනි ගතියක් එනව.

 

කොහොම වුණත් හඳ එළියයි, රැහැයි සද්දෙයි එක්ක මම ඇස් දෙක පියා ගත්තෙ, පහු වෙනිදා ගෙදර ගිය ගමන් නැන්දට කියල, කිතුල් දාපු තණහාල් මුං කිරිබතකුත් හදාගෙන රස බලන්න හිතාගෙනමයි.

Leave a comment