ආයෙත් ඔෆිස් යන්න කාලෙ හරි ද? එහෙනං ඔයාටත් මේවා මිස් වෙන්න නියමිතයි!

වර්ක් ෆ්‍රොම් හෝම් මිස් වෙන විදිහ!

Posted by

මාස දෙකකට ආසන්න කාලයක් තිබුණු ඇඳිරි නීති සමය හෙමීට අවසන් වෙලා ඔන්න රජයේ සහ පෞද්ගලික ආයතන සමහරක් ඊයෙ පෙරේදා නැවත ආරම්භ කළා. තවත් සමහර ආයතන නුදුරේදීම පටන්ගන්න නියමිතයි. කාලෙකට පස්සෙ එළියට පහළියට බහින්න ලැබෙන එක නං වෙනදට වඩා ආස හිතෙන අත්දැකීමක් තමයි. ඒකට මොකද, ආයෙත් ඔෆිස් ගියාම, මේ ගෙවුණු මාස දෙකේ ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරපු විදිහ මතක් වෙලා දුක හිතෙයි ද?

අනිවාර්යයෙන්.

මේ තියෙන්නෙ ඔයා ආයෙත් ඔෆිස් ගියාම වර්ක් ෆ්‍රොම් හෝම් මිස් වෙන විදිහ!

පිජාමා එකෙන් ම වැඩ

ඔන්න ආයෙ නං ඉතිං උදේ නැගිට්ට ගමන් තේ එකකුත් හදාගෙන ඇඳට වෙලා පිජාමා එක පිටින් ම සැපට වැඩ පටන්ගන්න ලැබෙන්නෙ නෑ. ඒක කොච්චර සැපපහසු ද කියල තේරෙන්න ගන්නෙ ආයෙ පාන්දර නැගිටලා ඇඳ පැළඳගෙන ඔෆිස් යනකොට තමයි!

සූම් මීටිං

ඔෆිස් එකේ තියන, ඈනුම් ඇර ඇර තේරුමක් නැතිව පැය ගණන් ගෙවන මීටිං වගේ ද සූම් මීටිං? ඉන්න තැන ම ඉඳන් පිජාමා එකක්/ කොට කලිසමක් ඇඳගෙන, කකුල් දෙකත් සැපට පුටුව උඩට අරගෙන ම සහභාගි වෙන්න පුළුවන්. මොකෝ යට කොටස පේන එකක් යෑ? ෂර්ට් එකක් විතරයි හරියට ඇඳගන්න තියෙන්නෙ!

ගෙදර හදපු කෑම

ඇඳිරි නීතිය අතරෙත් නිවසට ම කෑම ඩිලිවර් කරන රෙස්ටොරන්ට් බර ගාණක් තිබ්බට මොකද, සෞඛ්‍යාරක්ෂාව ඔක්කොටම වඩා වැදගත් නිසා අපි වැඩි දෙනෙක් මේ දවස්වල ගෙදර හදපු කෑමවලට ම සීමා වුණා. ඉතිං ආයෙත් ඔෆිස් යන්න පටන්ගත්තාම ගෙදර හදපු කෑමබීම රසකැවිලි නැතුව පාළු දැනෙනවා සිකුරුයි!

සද්දේ

ගෙදර ඉද්දි වැඩ කරන ගමන් කන පැලෙන්න සින්දු දාන්න පුළුවන් වුණාට මොකද ඔෆිස් ගියාම එහෙම බෑනේ. ඔෆිස් එකේදි හෙඩ්සෙට් එකක් ගහගත්තෙ නැත්තං ඔයා දාගෙන ඉන්න සද්දෙ ඉවසන්න බැරුව අනික් අය ඇවිත් ඔයාට සද්දෙ දායි!

ඕන තැනක ඉඳන් වැඩ

මේසෙ ඉඳන් බැරි නං ඇඳේ, සෙටියෙ, කුස්සියෙ, ගරාජ් එකේ, බැල්කනියෙ, වත්තෙ ගහක් යට.. මේ ඕන ම තමන්ට පහසු තැනක ඉඳන් වැඩ කරන්න ලැබෙන වාසනාව ඔෆිස් ගියාම අහිමි වෙනවා. ඔෆිස් එකේදි ඔයාට අදාළ තැන තියන පුටුවෙ ම කැරකෙනවා මිසක් රට වටේ දුවන්න බෑනේ.

වෙලාව

මේක තමයි එපා ම කරපු වැඩේ. ඔන්න මාස දෙකකට පස්සෙ ආයෙත් උදේ පාන්දර නැගිටින්න වෙනවා. ඒ විතරක් යැ! පැය ගාණක් ට්‍රැෆික් එකේ රස්තියාදු වෙන්න වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ආයෙත් බිසී වීමත් එක්ක පවුලේ අයත් එක්ක ගෙවන කාලයත් අඩු වෙන්න නියමිතයි..

Leave a comment