Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

Thotupola Mountain (Horton Plains)

‘‘අයියේ තොටුපළ කන්දට යන්නේ කොහොමද?’’ නුවරඑළිය…

Posted by

‘‘අයියේ තොටුපළ කන්දට යන්නේ කොහොමද?’’ නුවරඑළිය ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි උදෑසන රාජකාරියෙහි යෙදී සිටි මහත්මයකුගෙන් මම විමසුවෙමි.

‘‘හ්ම්... එහෙම කන්දක් මෙහේ නෑනෙ මල්ලි. ඔයා කියන්නෙ කිරිගල්පොත්ත වෙන්න ඇති’’ ඔහු මා හට පැවසීය.

‘‘නෑ අයියෙ, කිරිගල්පොත්ත තියෙන්නෙත් හෝර්ටන් ප්ලේන්ස් වල තමයි. හැබැයි ඊට ගොඩක් මෙහායින් තමයි තොටුපළ කන්ද තියෙන්නෙ’’ මම තවදුරටත් ඔහුගේ මතකය හාරා අවුස්සන්නට වීමි.

‘‘මල්ලි, මම නම් එහෙම එකක් දන්නේ නෑනේ. පොඩ්ඩක් ඉන්නකො බලන්න.’’ පැවසු ඔහු බස් නැවතුම්පළ සිසාරා යන උරුවම් හඬකින් තවකෙකුට හඬ ගැසීය. එතැනට පැමිණියේ මැදි වයසේ පුද්ගලයෙකි.

‘‘අංකල් මේ මල්ලිට තොටුපළ කන්ද කියලා එකකට යන්න ඕනේලු. ඔයා දන්නවද ප්ලේස් එක?’’

මිනිත්තු කිහිපයක බර කල්පනාවකට පසුව දෙවනුව පැමිණි මැදි වයසේ පුද්ගලයා පැවසූ දෙයින් මා සිත තුල ඇති වූයේ කුතුහලයකි. ‘‘මල්ලි ඔය කියනව වගේ කන්දක් තියෙනවා. මගෙ මතකේ හැටියට නම් වැලිමඩ පැත්තෙන් තමයි ඒකට නගින්න තියෙන්නේ.’’

‘‘පණ්ඩිතයා, දන්නෙ නැත්තම් නෑ කියපන්කෝ’’ මම සිතින් ඔහු හට බැණ වැදුනෙමි. ප‍්‍රධාන බස් නැවතුම්පළෙහි රාජකාරී කාමරයෙන් පිටතට පැමිණි මම එතෙක් බංකුවක් මත වාඩි වී සිටි මිතුරාටද හඬ ගසා ගනිමින් හෝර්ටන් තැන්න වෙත යා යුතු මාර්ගයෙහි ධාවනය වන පට්ටිපොළ බස් රථ අංගනය වෙත පිය නැගුවෙමි.

නුවරඑළිය නගරයෙහි සිට කිලෝමීටර 22ක පමණ දුරකින් පිහිටි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයෙහි පිවිසුමෙහි සිට කිලෝමීටර 3ක් පමණ ගිය තැන්හි උසින් අඩි 7,835 (මීටර 2,388) වූ තොටුපළ කන්දෙහි පිවිසුම් මාර්ගය මුණ ගැසෙයි. සිරිලක කඳු පන්ති අතර උසින් දෙවැනි තැන ගන්නා මෙය ඉමහත් ප‍්‍රසිද්ධියක් උසුලනයේ පුරාණ සිරිලක විසූ යක්ෂ ගෝති‍්‍රක රාවණා රජුගේ කථා පුවතට පණ පෙවීමක් වන හෙයිනි. තොටුපළ යන්නෙහි අර්ථය වනුයේ නවත්වා තබන පොළ නැතිනම් නවත්වන අංගනය යන්නයි. මෙම උස් ගිරි කුල තොටුපළ ලෙසින් නම් පට බඳෙන්නට ඇත්තේ මූලාශ‍්‍ර සහිතව මෑත ඉතිහාසයේදී සනාථ වූ රාවණා රජුගේ දඬු මොණරය නම් වූ ගුවන් යානය නවතා තැබූ  හෙයින් යැයි ජනශ්‍රැතියෙහි සඳහන් වෙයි.

එක පෙළට නවතා තිබූ බස් රථ පසුකරමින් ඉදිරියට ගමන් කළ අප නුවරඑළිය, පට්ටිපොළ බස් රථය ඉදිරියෙහි නැවතුනෙමු. ‘‘මේ තියෙන්නෙ මචං බස් එක, නැගපං’’ මම මිතුරා ද කැටුව බස් රථයට ගොඩ වුණෙමි. ‘‘මෙහේ එවුන් මෙහේ තියෙන කඳු ගැන දන්නෑ. හැබැයි සුද්දොත් ඇවිල්ලා නැගලා යනවා. ඕක තමයි බං ලංකාවට වෙලා තියෙන්නේ’’ මෙතෙක් වේලා සිත්හි සඟවා ගෙන සිටි කෝපය මම මිතුරා ඉදිරියේ වචන කිහිපයකට පෙරළුවෙමි. අප නූතන සමාජ රැල්ල ගැන මිනිත්තු දහයක පමණ කථා බහක ‍යෙදෙමින් සිටියදී බස් රථය පට්ටිපොළ ගම්මානය තෙක් වන ගමන ආරම්භ කරන්නට විය.

නුවරඑළිය නගරයේ නිරන්තරයෙන් පවතින සිහිල් සුළඟෙහි ආශ්වාදය බස් රථයේ ජනේල අතරින් අප සොයා ආවේය. ඉමක් කොනක් නොපෙනෙන තේ වතු යායන්ගෙන් අවට පරිසරය පිරී ගොස්ය. ඊට එපිටින් මිහිදුමෙන් වැසී ගිය මුදුන් තලයන්ගෙන් හෙබි මධ්‍යම කඳුකරය වෙයි. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන බස් රථයට පසුවන අවට පරිසරය පිටුපස වීදුරුවෙන් නැරඹීමට සිතූ මම මිතුරාටද තට්ටුවක් දමමින් පිටුපස හැරුණෙමි. සැබවින්ම එය මනස්කාන්තය. අප පැමිණි පටු තාර පාර තේ වතු යාය මැද්දෙන් ඇදී එන සර්පයෙකු ලෙසින් දිස්වෙයි. අවට පෙනෙන නිම්නීය ගම්මානය උදෑසන හිරු කිරණෙහි පහසින් දිදුලයි. වතු යායෙහි අවසානය අඹේවෙල සත්ව ගොවිපළෙහි එක යායට පිහිටි කඳු ගැට මත සරුවට වැඩී ඇති තෘණ යායන් දෙනෙත ඉදිරියට ඇදෙන්නට වූයේ චිත‍්‍රපටයක විලාසයෙනි. ඉන් පසුව දර්ශන පථයට සේන්දු වන්නට වූයේ ෆයිනස් සහ ටර්පන්ටයින් වැනි විශාල රුක් පාමුල වැඩී ඇති මාන සහ නොයෙක් විද යටිරෝපණයන්ගෙන් යුත් කඳුකර තෙත් කලාපීය වනාන්තරයයි.

‘‘පට්ටිපොළ බැහැ ගන්න’’ කොන්දොස්තරගේ හඬ ඇසෙන්නට වූයේය. ඔරලෝසුව උදෑසන 10 කණිසම පසුකරමින් සිටියදී අපි සිරිලක උස්ම දුම්රිය නැවතුම්පළ වූ පට්ටිපොළ දුම්රිය ස්ථානයට මදක් මෙපිටින් පිහිටි බස් නැවතුම් පළෙන් බැස ගත්තෙමු. පුංචි කඩ දෙක තුනකින් සහ මත්පැන් අලෙවි හලකින් සමන්විත පට්ටිපොල ගම්මානය එහි ජන ජීවිතයෙහි සරල භාවය මනා කියාපායි. මද වේලාවක් අවට නිරීක්ෂණය කළ අප මාර්ගයෙන් අනෙක් පස තී‍්‍රරෝද රථයක් ළඟ සිටි තරුණයකුගෙන් තොටුපොළ කන්ද පිළිබඳව යළිත් විමසුවෙමු.

‘‘මචං, හෝර්ට්න් ප්ලේන්ස් වලට යන පාර මොකක්ද’?’

‘‘අයියලා කොහාටද යන්නේ’?’ පෙරලා ඔහු අපගෙන් ඇසීය.

‘‘තොටුපොළ කන්ද කියලා කන්දක් තියෙනවා, දන්නවද?’’ මම ඇසුවෙමි.

‘‘ආ තොටුපොළ කන්දද? මම හයර් යන්නෙ අයියා. ඕනෙ නම් දාලා එන්නම්’’ ඔහු අප සමඟ පැවසීය. තොටුපොළ කන්ද දන්නා අයෙකු හමුවීම අප සිත්හි ඇති කරන්නට වූයේ ඉමහත් සතුටකි.

‘‘අයියලා කන්ද නැගලා බහිනකම් ඉඳලා එන්නම්. ෆුල් හයර් එක 1400 දෙන්න’’

දෙවතාවක් සිතීමට අප හට අවශ්‍ය නොවිණි. යාළුවාත් මමත් ත්‍රීරෝද රථයට නැග ගත්තෙමු. පටු තාර පාර ඔස්සේ ඉදිරියට ඇදෙද්දි සිත් ගන්නා සුළු තැන් කිහිපයකදීම මදක් නතර වී සොබාදහම රස විඳි අප යළි යළිත් ගමන් කරන්නට වීමු. මිනිත්තු ව්ස්සකට ආසන්න කාලයකදී අප හෝර්ටන් තැන්න වනෝද්‍යාන භූමියෙහි පිවිසුම් දොරටුව වෙත පැමිණ සිටියෙමු. ‘‘අයියේ, ටිකට් ගන්න ඕන මෙතනින්’’ රියදුරු මිතුරා පැවසීය. දොරටුවෙන් වම්පස තරමක් ඇතුලට වන්නට තිබූ මුදල් කවුන්ටරය වෙත පිය නැඟූ මම මිතුරාටත් ත්‍රීරෝද රථය සහ රියදුරුටත් මා හටත් රුපියල් පන්සීයක මුළු මුදලක් ගෙවා අවසර පත‍්‍ර ලබා ගෙන දිව විත් ‘‘යමං මචං’’ පවසමින් ත්‍රීරෝද රථයට ගොඩවුනෙමි.

මිනිත්තු දහයකට ආසන්න ගමන් කාලයකට පසුව ත්‍රීරෝද රථය මාර්ගයෙහි වම් පස නතර විය. එතැන වුයේ තරමක් විශාල පුවරුවකි. ‘තොටුපොළ කන්ද’ ලෙසින් සඳහන්ව තිබූ එහි කෙටි විස්තරයක්ද අඩංගු වී තිබිණි. ‘‘අයියේ ඔතන තියෙන අඩි පාර දිගේ කෙළින්ම ගියාම කන්ද මුදුනට තමයි සෙට් වෙන්නේ. පැය දෙකක් විතර යයි ගමනට. පරිස්සමින් ගිහින් එන්න. මම මෙතන ඉන්නම්. ’’ රියදුරු මිතුරා පැවසීය.

ත්‍රීරෝද රථයෙන් බැස ගත් මමත් මගේ මිතුරාත් ආරම්භයෙහි විශාල ගඩොල් කැට අලලා සැකසූ වනගත රාවණා මංපෙතෙහි පාගමන ඇරඹුවෙමු. අඩි දෙකක්වත් ඉදිරියට යන්නට ඉඩ ලැබුණේ නැත. ‘‘ඒ අර මොකක්ද බං?’’ ඉදිරියෙන් ගමනෙහි යෙදුණු මගේ මිතුරා ඇසීය. අඩි පාරෙන් මදක් ඔබ්බට වන්නට පිහිටා තිබූ තරමක් අලංකාර කුටි දෙකකි. එදෙසට ගිය මම එහි ඇතුලතට නෙත් යොමා බැලුවෙමි. ‘‘යකෝ ටොයිලට් එකක් නෙ! අයියෝ යමං යමං’’ මම මිතුරා හට පැවසීමි.

අඩ හෝරාවකට ආසන්න කාලයක් අපි අඩි පාර ඔස්සේ ඉදිරියට ගමන් කළෙමු. තැනක මඩ ගොහොරුද තැනක අඩි පාර හරස් කොට ඇද වැටුණු විශාල කඳන්ද විය. අඩි පහක් හයක් පමණ දුරට මං පෙත වසා ගනිමින් වැඩී තිබූ ඉතා අලංකාර මල් වර්ග සහ පැළෑටි වර්ග ගමනෙහි විඩාව නිරන්තරයෙන් සංසිඳුවන්නට විය. ‘‘ඒ පොඩ්ඩක් ඉදපං. මේ මොකාගෙද?’’ මිතුරා තරමක් බිමට නැමී භූමිය පරික්ෂා කරන අයුරු මා දුටුවෙමි. තරමක් ලංව බැලූ කළ එය ගෝනකුගේ කුර ලකුණක් බව මා වටහා ගත්තෙමි. ‘‘ගෝනෙක්ගෙ බං. ඌ කැලෙන් එලියට ගිහිල්ලා තියෙන්නේ’’ එතැනින් නික්මුණු අප හට මීටර් 200ක පමණ දුරක් යද්දී ගෝනා බිම හෙළු මළපහ ද හමු විණි.

මිනිත්තු 40කට ආසන්න වේලාවක් පා ගමනෙහි යෙදුන අප එක්තරා තැනි තලාවකට පැමිණියෙමු. නමුත් එතැනින් එහාට වූ අඩි පාර අප හට හමුවුණු හෙයින් මද වේලාවක් හිඳිමින් අවට පරිසරය රස විඳි අප යළිත් ගමන ඇරඹුවෙමු. වනය පීරමින් පැමිණි ගමනෙහි එක්වරම දිස් වන්නට වූයේ තරමක් උස්වූ ලෝහ කණුවකි. ‘‘අපි ඇවිල්ල බං’’ මිතුරා සතුටින් ඉපිලෙන්නට විය. අප දෙදෙනාම කණුව දෙසට දිව ගියෙමු. එතැනින් අඩිපාර අවසානය. අංශ 270කට අධික පරාසයක් පුරා වූ දර්ශන පථයෙහි මුළුමනින්ම අඩංගු වූයේ රමණීය මධ්‍යම කඳු පන්තීන් විය. මම සුපුරුදු පරිදි කැමරාවද රැගෙන කණු මුදුනට නැග ගත්තේ මතක සටහන් එකතු කර ගැනීම පිණිසය. සතර දෙසින්ම දිස්වෙන වළාකුළුවලින් වැසී ගිය කඳු මුදුන් අතරේ මා සිත ඩැහැ ගත්තේ කඳු පන්ති කිහිපයකට එපිටින් වූ තැනිතලා තෘණ භූමියකි. කණුවෙන් බැස තෘණ භූමිය මත අඩ හෝරාවකට ආසන්න කාලයක් වැතිර හිඳ විඩා හැරි අප ආපසු ගමනට සූදානම් වූයේ තරමක් ඝන මීදුම් වලාවන් ඒ වන විට අප පැමිණි අඩිපාර තරමක් දුරට වසාගෙන තිබූ හෙයිනි.

කර මළු කර දාගත් අප තරමක් වේගයෙන් පය තබමින් පල්ලම ඔස්සේ දිව යන්නට වීමු. මිනිත්තු 40 කට ආසන්න කාලයකදී මීදුමෙන් වැසී ගිය අඩි පාර ඔස්සේ අප පිවිසුම වෙත පැමිණෙද්දී තී‍්‍රරෝද රථ රියදුරු මිතුරා සිටියේ සුව නින්දකය. ‘‘මචං යමං වැස්සක් එන්න යන්නෙ!’’. අප රාවණා මං පෙතට සමු දෙමින් ආපසු නවාතැන්පළ බලා ඇදෙන්නට වීමු.

See 1 Comment