Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

චීස් කොත්තු කමුද? රු. 500ට අඩුවෙන් සුපිරිම චීස් කොත්තු දාන කඩවල් 7ක්

හැබැයි ඉතින් චීස් කොත්තුවලට කොච්චර කැමති වුනත්…

Posted by

චීස් කොත්තු කිව්වාම ඉතින් කවුද අකමැති? බැදපු ලොකු මස් කෑලි, පොඩියට කපල දාන ලීක්ස්, තක්කාලි, ළූණු ටික. එතකොට රස පදම එන්න ගාණට වැටන මිරිස්, ලුණු ඇඹුල් ටික. කොහොමද තැටිය උඩ දුම් දාදා තාලෙට කැපෙන කොත්තුවට චීස් කෑලි තුන හතරකුත් වැටිල මේසෙට එනකොට?

හැබැයි ඉතින් චීස් කොත්තුවලට කොච්චර කැමති වුනත් වැඩක් නෑ හරි හමන් චීස් කොත්තුවක් කන්න තැනක් දන්නෙ නැත්නම්. එහෙනම් දැනගන්නකො පොකට් එකේ ගාණට හරියන්න කොළඹ පැත්තෙන් බඩ කට පිරෙන්න චීස් කොත්තු පාරක් කන්න පුළුවන් තැන් ටිකක් ගැන.

1. Hotel de Pilawoos

කොල්ලුපිටියෙයි, බම්බලපිටියෙයි තියෙන පිලාවූස් දෙක ගැන නම් චීස් කොත්තු ගැන හොයන කියන, රස බලන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනත් නෑ. චීස් කොත්තු, ශ්‍රී ලංකන් චයිනීස් කඩ සම්ප්‍රදායට ආපු දවස්වලම තමයි පිලාවූස් එකේ චීස් කොත්තු දාන්න පටන් ගත්තෙ. තැටියෙ කර වෙන එළවළු කොත්තුවට ලොකු බැදපු චිකන් කෑල්ලක් දාලා දෙකට තුනට කැපෙන්න ගහල අන්තිමට එකතු කරන චීස් කෑලි තුන හතර මෙලෙක් වේගෙන එද්දි පිඟානට වැටෙන පිලාවූස් එකේ චීස් කොත්තුව රසයෙන් නම් අනූනයි. රු. 400ක් විතර තමයි වෙන්නෙත්. හැබැයි කොච්චර බඩගිනි වුනත් තනියෙන් නම් කාලා ඉවර කරන්න ටිකක් අමාරුයි.

2. Chop Chop Kottu

බොරැල්ල කාසල් පාරෙ තියෙන චොප් චොප් කොත්තු එකෙත් තියෙනව පට්ටම චීස් කොත්තුවක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි ඔයාගෙ චීස් කොත්තුව චිකන් හැරුණාම සී ෆුඩ් වලිනුත් ගන්න පුළුවන් එක. අඩු නැතිව රම්පෙ, කරපිංච, සුදු ළූණු ටිකයි මිරිස්, ලුණු ඇඹල් ටිකයි එකතු වෙලා හැදෙන චොප් චොප් එකේ කොත්තුවට දාන චීස් ප්‍රමාණය නම් නියමම ගාණ කියල කියන්න පුළුවන්. මොකද මෙයාලා, මෙයාලගෙ චීස් කොත්තුවට කිරි රස වැඩි කරන්න කියල කිරි එකතු කරන්නෙ නෑ. චීස් කෑලි තුන හතරෙන් තමයි චීස් කොත්තුවෙ රස පදම ගන්නෙ. ඇත්තටම මම නම් පිලා එකේ චීස් කොත්තුවට වඩා චොප් චොප් එකේ කොත්තුවට ආසයි. රුපියල් හාර පන්සීයක් වුනාට පාඩුවක් නෑ.

3. Mr. Kottu

මිස්ට කොත්තු කියන්නෙත් කෝට්ටෙ පැත්තෙන් සුපිරිම චීස් කොත්තුවක් කන්න කියාපු තැනක් තමයි. හැබැයි ඉතින් හවස් ජාමෙට තමයි මිස්ට කොත්තු එකට යන්න ඕන. ඔයාට කැමති මස් ජාතියක් දාලා කැමති ප්‍රමාණයක් චීස් දාලා කොටින්ම කියනවනම් ඔයාගෙ චීස් කොත්තුව ඔයාට ඕන විදියට හදා ගන්න පුළුවන්. රස පදමට චීස් දාලා හැදෙන කොත්තුව ටිකක් වැඩිපුර සැරට දාලා ගත්තාම තමයි ඇඟිලි ලෙව කකා කන්න පුළුවන් ගාණට එන්නෙ. ඔයාට ඕන නම් බැදපු චිකන් පළුව වෙනුවට සී ෆුඩ් වුනත් දාලා ගන්න පුළුවන්. රුපියල් තුන් හාරසීයකට මිස්ටර් කොත්තුගෙ චීස් කොත්තුව මාරම වටිනව.

4. GrandPila Family Restaurant

හොටෙල් ඩි පිලාවූස් එකේ චීස් කොත්තුවෙ තත්වෙ එහෙම පිටින්ම වගේ තියෙන කොල්ලුපිටියෙ පිලාවූස් ෆැමිලි රෙස්ට් එකේ ගාණෙත් කිසිම වෙනසක් නෑ. හැබැයි සමහර වෙලාවට කිරි රස ගන්න එකතු කරන කිරි නම් වැඩිපුර එකතු වෙන ගතියක් තියෙනව.

5. Nana's

ගෝල්ෆේස් වල නානාගෙ කඩ සෙට් එක චීස් කොත්තු වලට ලොකුවට ප්‍රසිද්ධියක් නැති වුනාට ඇත්තටම රස අතින් නම් සෑහෙන්න හොඳයි. රුපියල් දෙතුන්සීයකට ගන්න පුළුවන් නානගෙ චීස් කොත්තුත් ඔයාට කැමති විදියට සැර අඩු වැඩි කරල, නැත්නම් බාබකියු චිකන් හරි සී ෆුඩ් හරි දාලා ගන්න පුළුවන්. රස පදමට මෙලෙක් වුනු චීසුයි නියමෙට ගැලපෙන කැරට්, ලීක්ස් ටිකේ පාටයි  එක්ක මේසෙට එන නානාගෙ කොත්තුව දැක්කත් කටට කෙල උනන ගාණයි.

6. Hotel de Plaza

පිලාවූස් එක හැරුණාම කොල්ලුපිටිය පැත්තෙ අඩු ගාණට සුපිරිම චීස් කොත්තුවක් කන්න තියෙන්නෙ ප්ලාසා හෝටලේ තමයි. රු. 300ක් 400ක් වගේ ගාණකට අඩු නැතුව බැදපු චිකන්, මාළු මිරිස්, කැරට්, ලීක්ස් දාලා හදන ප්ලාසා හෝටලේ චීස් කොත්තුවත් එක්කෙනෙක්ට කන්න බැරි තරමට ලොකුයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ කොත්තුවෙ කිරි රස වැඩි කරන්න කිරි එකතු කරන එක තමයි. හැබැයි ඉතින් මෙලෙක් වුනු චීස් බේරි බේරි, කොත්තුව මේසෙ උඩට එද්දි නම් ඔය හැමදේම අමතක වෙනව. දඩ බඩ ගාලා ගිලලා දාන්නමයි හිත.

7. Hotel de Majestic

සුපිරිම චීස් කොත්තුවක් නොවුනට ලෝභ නැතුව බැදපු චිකන් කෑලි ටිකක් දාලා හදන චීස් කොත්තුවක් තමයි මැජෙස්ටික් හෝටලේ තියෙන්නෙ. හැබැයි සමහර වෙලාවට කිරි රස නම් ටිකක් වැඩැයි වගේ. එකම වාසියකට කියල තියෙන්නෙ සැර අඩු වැඩි කරල ඉල්ල ගන්න පුළුවන් එක තමයි. ඒ හැරුණාම කැරට්, ලීක්ස්, තක්කාලි ටිකත් ගණන් බලල දාලා වගේ. රුපියල් දෙතුන්සීයකට රස කෙසේ වෙතත් බඩ පුරවන්න ගන්න ඕන නම් බම්බලපිටියෙ මැජෙස්ටික් හෝටලේට යන්න.

මේ කඩ ටික තියෙන්නෙ කොළඹට කිට්ටුවනෙ. ඒ වුනාට මීට වඩා රස චීස් කොත්තු දාන කඩවල් ඕන තරම් තියෙන්න පුළුවන්, ඔයාලගෙ පැති වලත්. අපිත් ආසයි පොඩි ටුවර් එකක් දාන ගමන් වුනත් බඩගිනි වුන වෙලාවට තොල කට ලෙව කකා චීස් කොත්තුවක් රස බලන්න. ඒ නිසා ඔයාල දන්න චීස් කොත්තු කඩත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

See 3 Comments