Artwork for pat pat lk temp top banner 1
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

උඩුදුම්බර බැද්දේ අළුත් අවුරුදු! හීනටි හාලෙ බතයි වල් ඌරුමස් තක්කාලි හින්දුමයි..

නාගෙන එහෙම්ම, එතනට ආපු රා වඩියෙනුත් උගුරු…

Posted by

උඩගල්දෙබොක්කට එපිට බෑවුම්වල දවස් 2, 3ක් තිස්සෙම කරක් ගහලා, හසලක පැත්තට පල්ලම් බහින දාට කලින්දා..

මරේ මාමාට සමුදෙන්න අපි කොහොමත් ලාස්ට් නයිට් පාර්ටියක් දානවනෙ. ඒකට ඔ්න කරන.. සැර ජාති, අඩුම කුඩුමත් කල්තියාම අරගෙනයි ගියේ. කොහොමහරී.. ඒ ආරංචියට මාමාත්, එයාගෙ පැත්තෙන් අපිට පාර්ටියක් ලෑස්ති කරලා.

රෙස්ට් කරන දවස නිසා අපි උදෙන්ම ගඟට බැහැලා හොඳහැටි නාගත්තා. නාගෙන එහෙම්ම, එතනට ආපු රා වඩියෙනුත් උගුරු දෙක තුනක්.. උගුර කට සීතල වෙලා යන්න හලාගෙන, ඇලවුනා එපිට ගල් තලාවෙන්. ඒ ඇලවෙලා ඉතින් ගිණියමත් රත්වීගෙන එනකොටයි නැගිටල ආපහු වාඩියට ගියේ. වැඩේ වුනේ ඒ ගිහිල්ලත්.. හොඳවැයින් ලහිපිට දෙකක් රෝල් කරලා, ඇදලා.. බඹර පදමෙ!

මුලපිරුවා කියන්නකො පොඩි සංගීතයකට.

ඉතින් ඒකෙන් මේකෙන් කාටවත් වෙලාව යනව දැනුනෙත් නෑ. ඇත්තටම බඩගින්නක් ආවෙත් නෑ. උදේ 11ට විතර ගිලපු බඩ ඉරිඟු රොටියි, කොල්ලු මිරිස් මාලුවයි නිසා.. හාන් කවිසියක් නෑ, එක පෙලට ලහිපට රවුමයි රා කට්ටෙන් රවුමයි. මගෙ හිතේ.. හවස 3, 4 වෙනකම්ම?

කොහොමහරි වැඩේ දරුණු වුනේ අපේ සැඳෑ සාදයට අවශ්‍ය අඩුම කුඩුමත් අරගෙන මාමාගෙ මල්ලි වාඩියට සේන්දු වුනාට පස්සෙ.

දැන් ඔක්කොම 4යි. මැද්දෙ පොඩියට අටවපු ගිණි මැලයක් තියෙනව ඇඳිරි වැටෙද්දි පත්තු කරගන්න. ම්.. ඒ අතරට.. හෙමි හෙමිහිට.. ලොකු කෙහෙල් කොල ටිකක් එලුණා අපේ ඉස්සරහට. එලිලා ඔන්න තඩි පන් වට්ටියක් අනික් පැත්ත ගැහුනා මැද්දෙන්ම. ගහල උස්සල ගත්තත් හරි සුවඳ?

හප්පේ.. මම බැලුවා සේර අඩුම, කුඩුම දාලා හදපු බාස්මතියක්වත්ද කියලා. සත්තයි කට ඇරිලා තිබුනෙ මගේ හොඳේ.. ‘හෑක්’ ගෑවෙන්න!

“පුතා.. හීනටි ඔ්ං. රා වතුරෙන්ම තම්බලා. කාලා බලන්නකෝ..”

යාලුවටයි මටයි වෙරි හිඳිලා. එච්චරවෙලා හතර දිග්බාගයක තිබ්බෙ නැති බඩගින්නකුත් කොහෙන්දෝ ඇවිල්ලා. ඊටත් බතට එපිටින් ලොකු බන්දේසියක දාගෙන ඇවිල්ල ටික ටික වටේට බෙදුන මස් කරියනෙ. තනි මිරිස්, තුනපහ පාට තමයි. හැබැයි සුවඳ? 

“ම්.. කන්නෙ නැතිවෙන්න නං බෑ ආයුබෝවන්ට. වල් ඌරා..”

“ඒ…

පොඩි මාමා, මාර ඩයට් එකක්නෙ ලෑස්ති කරලා තියෙන්නෙ. හප්පේ.. මෙදා පාර අවුරුද්ද නං ලොවෙත් අමතක වෙන්නෙ නෑ. ඉන්න ඉන්න මං ගේන්නම් ජාතිය” 

අඩියට දෙකට බංකුවෙන් නැගිටපු මම විදුලි වේගයෙන් ගිහින් අරගෙන ආවෙ බෝතල් 2ක. අරගෙන ඇවිල්ලා..

පොල් කටු 3කින් තමයි වැඩේ ගියේ. සැන්ඩියට ගඟෙන්ම ගත්ත සීතල වතුර.

“ඒක නෙවෙයි මාමා. කියන්නකො මේ බතයි, මස් එකයි හැදෙන්නෙ කොහොමද කියලා”

“ආ.. පුතා..

මේකෙ ඒ හැටි දෙයක් නෑ. මේ හීනටියෙ නම් සුවඳ ඔය රායි පොල් වතුරයි එක්ක වතුර දාලා තම්බපු නිසා. හැරත් ඒකට සේර, කරපිංචා ටිකකුත් දැම්මා මං හිතන්නෙ නැන්දා.

හැබැයි ඌරුමස් එක නම්..

හිහ්.. 

පුතා මේ ඔක්කොම මස් ගිනි අඟුරෙ දාලා පුච්චපුවා. ඊට පස්සෙ කරවෙච්ච පොත්ත මන්නෙන් හූරලා මන්න මිටෙන්ම ගහලා, තලලා මෙලෙක් කරනවා. මෙලෙක් කරලා තමයි හෝදලා, ඇතිලියට දාලා අතගාන්නෙ.. ගොරකා, සුදුළූණු, ඉඟුරු, සේරමුල්, නයිමිරිස්, දෙහි, අබ, උලුහාල් ඇඹරුමක් එක්ක. අතගාලා වරු බාගයක් විතර අල්ලල්න ඇරලා.. මිරිස්, ගම්මිරිස්, බැදපු තුනපහ, රතු මිරිස් දාලා වතුරෙන් බොර, වෙන නොවෙන ගානට හින්දලා බානවා. බාලා හැබැයි උණු උණුවෙම කෙහෙල් කොලේට බෙදන්න ඔ්න. එතකොට තමයි මේ සුවඳ අල්ලන්නෙ,

හ්ම්...”

Leave a comment