Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

වැක්සින් එක ගැහුවද? ඊටපස්සෙ මොකද කරන්නෙ?

එන්නත ලබාගැනීමෙන් පස්සෙ කළ යුත්තේ මොනවද?

Posted by

කොවිඩ් 19 පාලනය වෙනුවෙන් ලබා දෙන එන්නත මේ දවස්වල ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල පිහිටවපු එන්නත් මධ්‍යස්ථානවලින් ජනතාවට ලබා දෙනවා. ඔබ සමහර විට දැනටමත් එන්නත ලබාගෙන ඇති. තවත් අය එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඇති. කොහොමටත් එන්නත ලබාගැනීම තමයි මේ වසංගතය පාලනය කරන්න පුළුවන් සාර්ථක ම ක්‍රමය. විශේෂඥයන් කියන විදිහට, ඔබට කොවිඩ් 19 වැළඳුණත් රෝගය උත්සන්න නොවී තිබීමට නම් එන්නත ලබාගැනීම අවශ්‍ය වෙනවා.

එන්නත ලබාගන්න යනවා නම් සූදානම් වෙන්න ඕන විදිහ ගැන පහුගිය දවසක අපි කතා කළා. අද කියන්න ලෑස්ති වෙන්නෙ එන්නත ලබාගැනීමෙන් පස්සෙ ඔබ කළ යුත්තේ මොනවද කියන කාරණය ගැන.

සුළු අතුරු ආබාධ ඇති විය හැකියි

කොවිඩ් 19 වැක්සින් එක ලබාගැනීමෙන් පස්සේ සුළු අතුරු ආබාධ ඇති විය හැකියි. එයින් හැඟවෙන්නේ ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩ නැඟෙමින් තියන බව. ඒ අනුව වැක්සින් එක විදපු තැන රතු වීම, ඉදිමීම, එම අතේ වේදනාව හටගැනීම, වෙහෙස ගතිය, පපුවේ වේදනාව, මාංශපේශීවල වේදනාව, හිරිගඩු පිපීම, උණ ගතිය, ඔක්කාරය (Nausea) වැනි අතුරු ආබාධ හට ගත හැකියි. මේ තත්ත්වය දින 1-2 අතර පවතිනවා.

ඒත් ඇතැම් අයට එන්නත ලබාගත්තත් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවෙන්නත් පුළුවන්. එයත් සාමාන්‍ය තත්ත්වයක්. කිසි ම බාහිර ප්‍රතික්‍රියාවකින් තොරවත් ඔබේ ශරීරයට ප්‍රතිශක්තිය ගොඩනඟන්නට පුළුවන්.

පුරුදු පරිදි වැඩ කරන්න

අතුරු ආබාධ ඇති වුණොත් ඔබේ එදිනෙදා කටයුතුවලට තරමක් බාධා වෙන්න පුළුවන්. ඒත් එහෙම තත්ත්වයක් නැත්නම් වෙනදා වගේ ම සුපුරුදු දින චර්යාව ගෙවන්න. කොහොම වුණත් වැඩිපුර දියර වර්ග සහ පෝෂ්‍යදායී ආහාරවේලක් ලබාගැනීම ඉතා වැදගත්. සිරුරට අපහසුතාවක් දැනෙනවා නම් ඔබට අදාළ මාත්‍රාවෙන් පැරසිටමෝල් ගන්න පුළුවන්.

අපහසුව පහ වෙලා යන්න, සිරුරට මහන්සි වෙන කටයුතු කරන්නෙ නැතිව තරමක් විවේකයෙන් ඉන්න. දින කිහිපයක් ගත වුණාට පස්සෙත් අතුරු ආබාධ දිගට ම පවතිනවා නම්, ඔබේ වෛද්‍යවරයා මුණගැහෙන්න අවශ්‍යයි.

අත පරිස්සම් කරන්න

Image credits: achgroup.org.au

වැක්සින් එක විද්ද අත ගැන සැලකිල්ලෙන් ඉන්න. අතේ දැඩි වේදනාවක් තියනවා නම් වැක්සින් එක විද්ද තැන, තෙත් කරපු සීතල පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ අයිස්පැක් එකක් තියන්න. රතු පැහැති ස්වභාවය සහ වේදනාව පැය 24කට පස්සෙත් පහ නොවුණොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම නිර්දේශ කෙරෙනවා.

සෞඛ්‍ය පුරුදු අමතක කරන්න එපා

එන්නත විද්ද නිසා දැන් කොවිඩ් 19 හැදෙන එකක් නෑ කියල හිතලා වෙනදා අනුගමනය කරපු සෞඛ්‍ය පුරුදු මඟාරින්න එපා. මේ වැක්සින් එක කොවිඩ් 19 වැළඳීම අවම කළත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වීම පාලනය කරනවද කියන එක තාමත් හරියට ම පැහැදිලි නැති කරුණක්. පළමු එන්නත ලබාගැනීමෙන් පස්සෙත් රෝගය වැළඳීමේ අවදානමක් නැතුවා නෙමෙයි.

ඒ නිසා මීටරයක් දුරින් ඉන්න එක, මුඛ ආවරණ පළඳින එක, සෙනඟ අතරේ ගැවසෙන එක, තප්පර 20ක්වත් නිතර අත් සෝදන එක, සැනිටයිසර් පාවිච්චිය වගේ සෞඛ්‍ය පුරුදු දිගට ම පිළිපදින්න.

දෙවැනි එන්නතට ලෑස්ති වෙන්න

දැනට ලංකාවේ ලබා දෙන කොවිෂීල්ඩ්/ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ ස්පුට්නික් V කියන එන්නත් වර්ග හැම එකක ම මාත්‍රා දෙකක් තියනවා. ඒ නිසා ඔබ මින් මොන එන්නත ලබාගත්තත් එහි දෙවැනි මාත්‍රාව ලබාගන්න ඕනේ. දෙවැනි මාත්‍රාවට අදාළ දිනය තියෙන්නේ කවදට ද කියල ඔබේ එන්නත් කාඩ්පතේ සඳහන් වෙනවා. ඒ ගැන අවබෝධයෙන් ඉන්න. ඒ අනුව අදාළ දිනයේදී ක්‍රමානුකූල ව ගිහින් එන්නත ලබාගන්න එක ඉතා වැදගත්.

Leave a comment



Latest