Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

ඩයිනිං අවුට්! ඇත්තට ම මේ ලෝකෙට රෙස්ටොරන්ට්ස් මොකටද?

අවන්හලක් කියන්නෙ කෑමබීමවලට ම නෙවෙයි.

Posted by

කොරෝනා අපිට අහිමි කරපු දේවල් අතර උඩින් ම තියන දෙයක්, ඩයිනිං අවුට්. නැත්තං එළියට ගිහින් කෑම කන එක.

‘ඕක මොකද්ද, කන්න එළියට යන්න බැරි නං ගෙදරින් ගෙනත් කනවා, සිම්පල් නේ’ කියල සමහරුන්ට හිතෙයි.

‘මොනව වුණත් ගෙදරින් කන කෑම වගේ කොහෙද ඔය කඩවල්වලින් කන ජරාව’ කියල තව සමහරුන්ට හිතෙයි.

‘ඇයි ඔය ඕන තරං ෆුඩ් ඩිලිවරි සර්විසස් තියෙන්නේ, ගිහින් කන්න බැරි නං ගෙන්නගෙන කන එක නෙ තියෙන්නේ’ කියල කට්ටියක් හිතයි.

‘වසංගතේ හින්දවත් කඩචෝරු කෑම නවත්තගන්න ලැබෙන එක ම කොච්චර දෙයක් ද’ කියල තව කට්ටියක් හිතයි.

ඒත් කොරෝනා පහ වෙලා ගිය කාලෙක ලෝකේ කලින් තිබුණටත් වඩා රෙස්ටොරන්ට්ස් ඕපන් වෙන එකයි, ඒවා අපි හිතනවටත් වඩා වේගෙන් පිරිලා ඉතිරිලා යන එකයි නවත්තන්න කාටවත් පුළුවන් වෙන්නෙ නෑ. කවුරු අකැමැති වුණත් ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය.

ගෙදරින් ගෙනත් කනවට වඩා, අපි ඉන්න තැනට ම කොහෙන් හරි කෑම ඩිලිවර් කරගෙන කනවටත් වඩා, රෙස්ටොරන්ට් එකකට ගිහින් වාඩි වෙලා කන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි? අඳුරන්නෙ නැති මිනිස්සු ගොඩක් මැද්දෙ වාඩි වෙලා, අඳුරන්නෙ නැති කෑමබීම කන්න බොන්න, මිනිස්සු මේ තරම් සල්ලි වියදම් කරන්න කැමති ඇයි?

ගෙදර කෑම

අපි දවසේ තුන් වේලට ම තියා එක වේලක්වත් පිටින් කන්න පුරුදු වුණු සංස්කෘතියක් තියන රටක් නෙවෙයි. අපි පුරුදු වෙලා ඉන්නෙ ගෙදර කෑමට. ඉස්කෝලෙ ගියත්, ටියුෂන් ගියත්, කැම්පස් ගියත්, ඔෆිස් ගියත් අපි පුරුදු වෙලා ඉන්නෙ ගෙදරින් කෑම ගෙනියන්න. ඒ විතරක් නං මදෑ. බොහෝ වෙලාවට ට්‍රිප් එකක් ගියත් යන්නෙ ගෙදරින් උයාගෙන පිහගෙන. අපේ රටේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් එකකින් කන්න යන්නෙ උපන්දිනයක්, ඇනිවසරියක් සමරනව වගේ විශේෂ අවස්ථාවකදි තමයි. ඒ ඇරෙන්න පොඩි චේන්ජ් එකකට ‘අද දවල්ට එළියෙන් කමු’ කියල තීරණය කරන පවුල් සෑහෙන අඩුයි.

‘ගෙදර කෑම විතරයි සෞඛ්‍ය සම්පන්න’ කියල නිර්මාණය වෙලා තියන මනස්ගාතය, මේ ගෙදරින් ම කන පුරුද්දට ලොකු හේතුවක්. ඇත්ත. හුඟක් කඩ කෑමවල සෞඛ්‍යයට අහිතකර දේවල් අන්තර්ගත වෙනවා තමයි. හැබැයි ඉතින් අපි මේ කතා කරන්නෙ පාර අයිනේ තියන කොත්තු රයිස් කඩ ගැන නෙවෙයි නේ. අපි කියන්නෙ සෞඛ්‍යයට අහිතකර නොවෙන, හොඳ පිරිසිදු කෑම වේලක් සපයන, පිළිගැනීමක් තියන රෙස්ටොරන්ට් ගැන.

එහෙම කියද්දි අමතක කරන්න බැරි තව දෙයක් තියනවා. ඒ තමයි එළියෙන් කද්දි දරන්න වෙන වියදම නිතර දැරීමේ නොහැකියාව. අර කියපු ගෙදරින් කන පුරුද්ද තව ධෛර්යමත් වෙන්න මේකත් හේතුවක්. මොකද පිරිසිදුකමින් ඉහළ, ප්‍රමාණයෙන් ලොකු, සෞඛ්‍යයට අහිතකර නොවෙන, හොඳ කෑම වේලක් කඩෙන් කනවා නම් තරමක වියදමක් දරන්න වෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. 

ඉතින් මෙකී නොකී හේතු නිසා හැමෝම පුරුද්දට තුන් වේල ම ගෙදරින් කනවා. ජීවිතෙත් ඒකාකාරී වෙනවා. කාන්තාවො වැඩි හරියක් කුස්සිය මුල්ලට දිය වෙනවා.

ඩයිනිං අවුට්

කොහොම වුණත් සතියකට වතාවක් දෙකක්වත් රෙස්ටොරන්ට් එකකින් කෑම ගැනීමේ පුරුද්දක් දියුණු සංස්කෘතීන් සහිත රටවල මිනිස්සුන්ට තියනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ එක එක විදිහේ කෑම ජාති කන එක ම නෙවෙයි. ‘කෑමට එළියට යනවා’ කියන කන්සෙප්ට් එකේ විශේෂත්වය කෑමට එහා ගිය එකක්. අපි වැඩිය සීරියස් නොහිතුවට, එළියෙන් කන එකත් වෙන ම සංස්කෘතියක්. මෙතනදි වෙන්නෙ අපි අපිට ම ට්‍රීට් කරගැනීමක්. ‘ඩයිනිං අවුට්’ කියන්නෙ නිදහස ගැන වෙන විදිහක හැඟීමක්. ඒක වෙන්නෙ මෙහෙමයි.

වටපිටාව

රෙස්ටොරන්ට් එකක් ඇතුළේ තියනවා වෙන ම වයිබ් එකක්. මුහුද අයිනේ අවන්හලක් නම් එහෙමයි, කන්දක් මුදුනේ අවන්හලක් නම් එහෙමයි, ගෙවත්තකින් වට වුණු අවන්හලක් නම් එහෙමයි, කලබල නගරයක් මැද තියන රූෆ්ටොප් අවන්හලක් නම් එහෙමයි.

එහෙම නැතත් රෙස්ටොරන්ට් එකක පිටත පෙනුම සහ ඉන්ටීරියර් ඩිසයින් එක මේ කියපු වයිබ් එකට සෑහෙන බලපානවා. කෑමවල රස බලන්න කලින්, දුටු පමණින් මිනිස්සු ආකර්ෂණය වෙන්නෙ මෙන්න මේ වටපිටාවට. ගෙදර ඉඳන් හෝ ඔෆිස් එක වගේ වෙනත් තැනක ඉඳන් කෑම කනවට වඩා, රෙස්ටොරන්ට් එකක වාඩි වෙලා කෑම කන්න මිනිස්සු කැමති වෙන්නේ, ඒකෙන් තමන්ගෙ ඒකාකාරීකමෙන් මිදිලා වෙනස් වටපිටාවක් විඳගන්නත් පුළුවන් වෙන හින්දයි.

මේ ගැන කොළඹ The Avenue අවන්හලේ ගෘහ නිර්මාණ ශිල්පියා වන සුමුදු අතුකෝරළ කියන්නේ මෙහෙම.

“අපි කෑමකට එළියට යනවා කියන්නේ ඒක අපේ ඒකාකාරී බවෙන් මිදීමක්. අපි වෙනසකට ආසයි. ඒක කෑම විතරක් ම නෙවෙයි. ඒක අත්දැකීමක්. වෙන මිනිස්සු සමග මුසු වීමක්. ටිකක් රොමැන්ටික් අත්දැකීමක්. ඒ තැනේ අභ්‍යන්තර නිර්මාණය ඉතා ම වැදගත්. අපි එහෙම තැනක් නිර්මාණය කරන්නේ එන අයට අපූරු අත්දැකීමක් දෙන්න. තමන්ව ම සෙලිබ්‍රේට් කරන්න.”

හමු වීම්

වෙනත් තැනකදි දුෂ්කර වාතාවරණයක් ඇති කරන හමු වීමක්, අවන්හලකදී පහසු කටයුත්තක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. උදාහරණයක් විදිහට ඔෆීෂියල් මීටිමක් ගමු. මේක ඔෆිස් එකේ බෝඩ් රූම් එකේදි පැවැත්වෙනවට වඩා සහමුලින් ම වෙනස් අවන්හලකදී පැවැත්වුණොත්. බෝඩ් රූම් එකේදි හැමෝට ම තියන නොසන්සුන්කම, රාජකාරිමය ගතිය රෙස්ටොරන්ට් එකකදි පහ වෙලා යනවා. ඈනුම් ඇර ඇර නිදි කිර කිර ඉන්න පිරිසක් වෙනුවට දකින්න ලැබෙන්නෙ කැමති දෙයක් කන බොන, උද්යෝගෙන් කතාබහ කරන පිරිසක්.

ඩේට් එකක් කියමුකෝ. ඒත් එහෙමයි. දෙන්නට ම දැනෙන චකිතය වෙනුවට අවන්හලක හමුවක් ගේන්නේ සුවපහසුවක්. ඉන්ටවීව් එකක්, බිස්නස් කතාබහක් වගේ දෙයක් විතරක් නෙවෙයි, බ්‍රේක් අප් එකක් වගේ අවසන් හමුවකදි වුණත්, අවන්හලක පරිසරය අපිව කම්ෆටබල් කරනවා.

තෝරා ගැනීම්

මේක කෑමෙදි විතරක් නෙවෙයි ජීවිතේදිත් වැදගත් දෙයක්. අපි කැමති දෙයක් තෝරා ගැනීමේ නිදහස. රෙස්ටොරන්ට් එකකදි අපිට ලැබෙනවා ඔප්ෂන්ස් ගොඩක්. කෑම වගේ ම බීමත්. අපි කැමති කෑම ශ්‍රී ලංකන් ද, ඉන්දියන් ද, තායි ද, චයිනීස් ද ආදී වශයෙන් අපිට කැමති රෙස්ටොරන්ට් එකක් තෝරගන්න පුළුවන්. රෙස්ටොරන්ට් එකට ගියාම මෙනු එක බලලා ඒවයිනුත් අපි කැමති ම කෑම ජාතිය වෙන් කරලා ඉල්ලගන්න පුළුවන්. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා වෙනුවට, අපි කැමති ම දේ ඇණවුම් කරලා අපිට කන්න පුළුවන්.

‘මේකිං අ චොයිස්’ කියන මේ කාරණය අපේ මානසික තත්ත්වය එක්ක සම්බන්ධයි. මූඩ් එකේ හැටියට කෑමබීම තෝරගන්න පුළුවන් වීමෙන් මිනිස්සුන්ට දැනෙන්නේ නිදහසක්. උදාහරණයක් විදිහට අපිට කෝපි බොන මූඩ් එකක් ආවම කෝපිහලකට යනවා කියල හිතමු. එතනදි කෝපි ජාති ම හත අටක් හෝ ඊටත් වඩා තියන මෙනු එකක් අපිට ලැබෙනවා. තෝරගන්න තියන වරණය ලොකුයි. අසීමිතයි.

නිදහස

මෙතනදි මං කියන්න උත්සාහ කරන්නෙ රෙස්ටොරන්ට් නිසා අපිට තියන අනිවාර්ය බැඳීම් සහ වගකීම්වලින් ලැබෙන නිදහස ගැන. ඒක වෙන්නෙ මෙහෙම.

ඔෆිස් එකට ගෙදරින් කෑම ගෙනාවම ‘ගෙදර බත් එක’ කියල අපි ඒ කෑම පාර්සලය එක්ක මානසික බැඳීමක් හදාගන්නවා. බොහෝ විට තමන්ගෙ මව හෝ බිරිඳ/ නැත්තං තමන් ම හරි, උදේ පාන්දර නැගිටලා මහන්සි වෙලා උයපු කෑම එක නිසා මේ බත් එක විසි කරන්න හිත හදාගන්න බෑ කාටවත්. ඒක සංවේදී කාරණයක්. ඒ නිසා එළියෙන් කන්න ඕනෑකම සහ පුළුවන්කම තිබුණත්, හැමෝම තමන්ගෙ ජීවිතේට මානසික වැටකඩොලු බැඳගෙන සද්ද නැතුව මේ ගෙදරින් දීපු බත් එක කනවා. උදේට උයලා බැඳලා දෙන මේ බත් එක වෙනුවෙන් අපි ජීවිතෙන් මානසික ව වගේ ම කායිකවත් කොච්චර ලොකු කොටසක් වැය කරනව ද? අපි වැඩි අවධානයක් නොදුන්නට අපේ ගෙවල්වල ඉවීමට විතරක් නාස්ති වෙන කාලය සහ ශ්‍රමය අතිවිශාලයි.

ඊළඟ දවසෙ උයන්නෙ මොනවද කියල කලින් දවසෙ ඉඳන් ම හිතන්න ඕනෙ. හදන ව්‍යංජන එකකට එකක් ගැලපෙන්න ඕනෙ. කඩෙන් ගෙනත් තියන එළවළු අපතේ නොයවා බැලන්ස් කරගන්න ඕනෙ. උදේ උයන්න රෑ ලෑස්ති වෙන්න ඕනෙ. උදේ පාන්දර නැගිටින්න ඕනෙ. ඉවිල්ලට පැයක් දෙකක් වැය කරන්න ඕනෙ. ලුණු ඇඹුල් පදම බලන්න ඕනෙ. ගෙදර ලෙඩ්ඩු ඉන්නව නං එයාලට වෙන ම තෙල් මිරිස් අඩුවෙන් කෑම හදන්න ඕනෙ. ඒ ඔක්කොම කළත් අන්තිමේ කෑමවල රස පදම පොඩ්ඩ වැරදුණ ගමන් කේස්.

කොච්චර උයන්න ආස කෙනෙක් වුණත් දිනපතා උයන්න ගියාම ඒ වැඩේ අප්පිරිය වෙනවා. බිරින්දෑවරු සැමියාගෙන් අහන්න කැමති ම වචන තුන ‘අයි ලව් යූ’ නෙවෙයි, ‘අද උයන්න එපා’ කියන එක කියල අහල ඇති නේ. අපේ අම්මලා සහ බිරින්දෑවරු මුළු ජීවිතේ ම කරලා තියෙන්නෙ උයන එක විතරයි. ‘නෑ එයාල ඒක කරන්නෙ කැමැත්තෙන්, අපිට තියන ආදරේ නිසා’ කියල හිතන කෙනෙක් ඉන්නව නම්, වහා ම අද ඉඳන් ගෙදර ඉවිල්ල එයාට බාර දෙන්න. ඉවීම මානසික වදයක් වෙන විදිහ අත්දැකීමෙන් විඳගන්න පුළුවන්.

අවසන් වශයෙන්

අවන්හලක් කියන්නෙ කෑමබීමවලට ම නෙවෙයි. ඒක මිනිස්සුන්ව නිදහස් කරන කලාපයක්. අපිව කොටු කරල තියන රාමු තරමක් ඈත් කරලා ජීවිතය පුළුල් කරන අවකාශයක්. එතනදි අපි අපිව ම වෙන විදිහකට විඳගන්නවා. ඒක කාලය හෝ මුදල් නාස්ති වීමක් විදිහට දකිනවා කියන්නෙ ටිකක් පටු ආකල්පයක්.

Leave a comment