Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

1979

1/2, 201 Kesbewa - Kindelpitiya - Bandaragama Road, Boralesgamuwa

  • Closed right now


1979 is a restaurant in Boralesgamuwa that does some good Chinese fare with a Lankan twist.



අහම්බෙන් ගොඩවුණේ. අන්තිමට මුලු රෙස්ටුරන්ට් එකම රොක් කරලනෙ ඇවිල්ල තියෙන්නෙ. 

වැඩේ කියන්නෙ ඒක දන්නෙත් පහුවෙනිද.

ඕං... වැදිච්ච වැදිල්ල.

ඇත්තටම ඕකෙ පුරෝගාමිය වුණේ අපේ ලන්ත්‍රා. ඒකා තමයි හැන්දෑව ලබද්දි ම බියර් එකක් ගහමු කියල විසබීජෙ දැම්මෙ කට්ටියට. දාලා... “මං දන්න තැනක් තියෙනව බං. එතන මරු” කියකිය හෙන ටෝක්සුත් දුන්න. එතනින් පස්සෙ ඉතින් අපේවුණුත්... මද කිපිල වගේ. 

“ඒ යමං යමං බං, පරක්කු වෙනව. ආයෙ පස්සෙ සීට් නෑ කියල අඬන්න එපා ඈ...”

බැරිම තැන ඔන්න යාළු වීල් එකක් දාගෙන ට්‍රැෆික් එකේ ම පටන්ගත්ත අදාළ ස්ථානයට යන්න. ඒ ගිහින් දෙයියනේ කියල ගොඩවුණා විතරයි, මතක!

“හාපෝ, ආයෙ නම් කතාකරන්න එපා හොඳේ. හතර මායිමේ පස් පාගන්නෑ. ඇයි යකෝ ලැජ්ජාව...” මම නෙවෙයි, අපේ වෙන එකෙක් කිව්වෙ, පහුවෙනිද.

හැබැයි ඉතින් ඒකා කිව්ව වගේ තමයි, මටත් යන්න තියා හිතන්නවත් හිතක් තිබ්බෙ නෑ. ඇයි යාළු මොනව කරල ඇවිල්ලද කියල කවුද දන්නෙ. ඒත් කර්මය කියන්නේ... අපේම වෙන සෙට් එකක් එක්ක ඊට සති දෙක තුනකට පස්සෙ මට ආයෙත් යන්නවුණානෙ එහේ. බෑ කියන්න බැරි කමට ඕං... ගියපු ගමන් ගොඩවුණෙත් එළිමහන් වේදිකා කෑල්ලට. ඒකෙත් මුල්ලටම වෙලා දන්නෙ නෑ වගේ හිටියෙ. ඊටත් වේටර් කෙනෙක්ට එහෙමත් කතා, කළා නොකළා ගාණයි. බොල ඕන මගුලක් ඕඩර් කරහල්ල කියල සද්ද නැතුව හිටිය. ඒකත් අර ඉස්සරහින් වැව එහෙම පේන නිසා හොඳයි. එතකොට ඒ පැත්ත බලාගෙන නිකම් පරිසරය රස විඳිනව වගේ හිටිය හැකිනෙ.

කොහොමහරි ඕඩරේ දාලා විනාඩි දහයකට විතර පස්සෙ ඔන්න ආවා කෑම ටික මේසෙට. චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 640) එකයි, පෝර්ක් ස්ටු (රු. 860) එකයි, බ්ලැක් පෝර්ක් (රු. 860) කරියයි, හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 860) එකයි. ඊට පස්සෙත් ඉතින් හැංගිලා හිටියොත් පාඩුයිනෙ. දඩිබිඩියට පිඟානක් අරගෙන බෙදාගත්ත හැම එකෙන්ම ටික ටික. බෙදාගෙන... ආයෙත් වැව පැත්ත හැරිල, ලෑස්තිය දෙසාබෑමට!

යාළු, කාපු පළවෙනි කටම පෝර්ක් ස්ටු කෑල්ලක්? ආයෙ දිව පිනා ගිහින්, රස නහර පිස්සු පීකුදු වෙලා ගියේ හොඳේ. ඇත්තටම සුප්ප ස්ටු එක. කිරි වගේම අමු මිරිස්, ගම්මිරිස්, මාලු මිරිස්, තක්කාලි, රම්පෙ කරපිංච අඩුමකුඩුම සියල්ලම දාලා. ඒ විතරක් නෙවෙයි තෙල් කෑලිත් එහෙන් මෙහෙන් තියෙන්න දිග තීරු පෝර්ක් කෑලිත් සෑහෙන්න දාලා. හැබැයි ඉතින් අර එකම අවුල තිබ්බෙ හොදි ගතිය පොඩ්ඩක් මදි එක තමයි. ඇත්තටම ඒකත් තිබ්බ නම්... පංකාදු පහයි ඈ.

වැඩේ කියන්නෙ පෝර්ක් එක එහෙමවුණාට චිකන් රයිස් එක එහෙම නෑ. ඒකෙ ටිකක් බොරුව. ෆ්‍රයිඩ් චිකන් තමයි දාලා තිබ්බෙ, පොඩි පොඩි කෑලිවලට කපල. ඒත් ඒ හැටියටම නෑ. ඇත්තම කිව්වොත් ඒකෙ බතේ රසෙත් මොකක්දෝ අවුලක්. මං හිතන්නෙ හාල හරි නෑ. අර කැරට්, ලීක්ස්, බිත්තරත් අඩුමකුඩුම ටික තොගේ හැටියට වැටන්න දාලා තිබ්බ නිසා මිසක් නැත්නම් පජාතයි. බාග වෙලාවට ඒවා ඒ හැටි දාලා තියෙන්නෙත් මස් අඩුව නොතේරෙන්නද මන්දා.

කොහොමහරි ඒකට හොට් බටර් කට්ල්ෆිෂ් එක තිබ්බ කඳුලු පනින්න. සැහ්, අන්න කට්ල්ෆිෂ් ඈ... තනි දැල්ලවම තීරු කපල, දවලට බැදල තියෙනව ලුණු, බටර් පදමට හොඳ හැටි තියෙනව දැවටුමක. ඒකත් අලුත්ම වගේ තෙල් නිසා රසත් නියමෙට ම තියෙනව. අනික හදල ඉවර වෙලා ඒකට ලුණු, කෑලි මිරිස්, අමු මිරිස්, ලූනු කොළ අඩුමකුඩුමත් දාලනෙ. ඉතින් බයිට් එකට එහෙම... කියාපුම!

ඔය අතරට පොඩියට දාගත්තු බ්ලැක් පෝර්ක් එකෙනුත් කෑල්ලක් දෙකක් මම රස බැලුව. අනේද කියන්න යාළු, පෝර්කවලට ආස නිසාමද මන්දා බ්ලැක් පෝර්ක් එකත් මට මාරම රහයි කියන්නකො. ඇත්තටම ඒකෙ ඒ හැටි දෙයක් තිබ්බෙත් නෑ. හැබැයි ලුණු ඇඹුල්, මිරිස් තුනපහ, මස්කරි පදම ඉඟුරු සුදුළූණු, රම්පෙ කරපිංච ටික නම් නූලටම තිබ්බ. ඒත් එකක්, ඒක... බ්ලැක් පෝර්ක් කිව්වට හරියටම ගත්තොත් රස තිබ්බෙ පෝර්ක් කරි මට්ටමේ. හැබැයි හොඳට හින්දල. වෙන දෙයක් නෙවෙයි, ඒක කද්දි මට මතක්වුණේම... පෝරණු පාන් ගෙඩියක් තිබ්බ නම් කියල.

ඇත්තටම එහෙම හිතුණෙත්, වෙන දෙයක් නිසා නෙවෙයි. අර සිද්ධියත් එක්ක ආයෙ කවදා මෙතනට කවදා එයිද කියල දන්නෙ නැති නිසා. කොහොමවුණත්... එකක් කියන්න ඕන. හිතේ හැටියට බීලා ජෝගි දානව නම්, අන්න තැන් ඈ... ආයෙ කෑමෙන් බීමෙන්, සේවාවෙන්, සිංදුවලින්, විව් එකෙන් කොටින්ම කිසි දෙයකින් අඩුවක් නෑනෙ අප්ප!


TIP

Try the HBC.

Address

1/2, 201 Kesbewa - Kindelpitiya - Bandaragama Road, Boralesgamuwa

Contacts

Facebook Facebook

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment