Artwork for Kingsbury Feb 2017 New

4/5

Adisham Bungalow (Haputale)

  • St. Benedicts Monastry, Adisham, Haputhale.

සොබා දහමෙහි අපූර්වත්වයත් එහි ආශ්වාදයත් කුඩා කල සිටම මැනවින් දත් තෝමස් කඳු කරය පීරා මුහුදු මට්ටමේ සිට අඩි 5000කට ආසන්න උසකින් පිහිටි හපුතලේ, තංගමලේ ප්‍රදේශයෙන් උස් කඳු ගැටයක් මත වන තරමක් විශාල තැනිතලා භූමියක් සොයා ගත්තේය.


'වළා තීරයෙන් එහා...' ගී පෙළ මා හට මිමිණෙන්නට විය. බෙරගල අහසට හිමිදිරියේම දෙවියන් වැඩලාවත් ද? කඳු පෙළට එපිටින් එබිකම් කරන හිරුගේ කුළුඳුල් රශ්මි කදම්භයන්ගෙන් වර්ණවත් වූ වළා පවුර එතරම්ම මනස්කාන්තය.

මාගේ ගමනාන්තය වූයේ කොළඹ සිට කිලෝමීටර 185කට ආසන්න දුරකින් වන හපුතලේ නගරයයි. පසුව මා හපුතලේ - බොරලන්ද මාර්ගයෙහි හපුතලේ සිට කිලෝමීටර 4කට ආසන්න දුරකින් තංගමලේ වනෝද්‍යානය තුල පිහිටා ඇති ඇඩිශම් බංගලාව සොයා ගියෙමි. උදෑසනින්ම පැමිණියද බංගලාව වෙත පිවිසීමට අවසර ඇත්තේ උදෑසන 9න් පසුවය. සවස 4 වන විට නැරඹීම් කාලය අවසන් වේ. එ් හැරත් එය නැරඹීමට සති අන්ත දිනයන් හිදී හෝ රජයේ නිවාඩු දිනයන් හිදී පැමිණිය යුතු වීමත් තරමක් කණගාටුදායක කරුණකි.

1869 වර්ෂයේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙහි තෝමස් ලිස්ටර් විලර්ස් නමින් බිලිඳකු උපන්නේය. කුඩා කල කෙලි ලොලෙන් ගත කල ඔහු ශර්බෝර්න් පාසලෙන් අධ්‍යාපනය හදාරා පසුව සිරිලකට පැමිණීමට තීරණය කරනුයේ පුහුණු තේ වගා කරුවකු වශයෙනි. තම ප්‍රථම රැකියාව සඳහා බොගවන්තලාව වතු යායට පැමිණෙන තෝමස් තම අත වූ පවුම් 5ක වැනි සුළු මුදලකින් ඇරඹි මෙරට ජීවිතය සාර්ථකව ගොඩනගා ගනුයේ බොගවන්තලාවෙන් ඉවත්ව බ්‍රසීලයට ගොස් ගත කල වෘත්තීමය වසර 4ට පසුවය. එම කාල වකවානුව තුල තේ වගාව මැනවින් හදාරන තෝමස් 1900 වර්ෂයේදී යළිත් මෙරටට පැමිණෙනුයේ දික් ඔය වතු යාය ආරම්භ කරමිනි. 1905 දී ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමෙහි නව වෘත්තීය දිවියක් අරඹන ඔහු 1928 වන විට එහි සභාපතීත්වයට පත්වෙමින් තම නොමඳ උත්සාහයෙහි රන් අස්වනු නෙලා ගනී.

ඒ වන විට දියුණුවෙහි හිනි පෙත්තට පැමිණ සිටි තෝමස් සිරිලකට බොහෝ ඇළුම් කරමින් මෙහිම විසීමට ස්ථානයක් සෙවූවේය. සොබා දහමෙහි අපූර්වත්වයත් එහි ආශ්වාදයත් කුඩා කල සිටම මැනවින් දත් තෝමස් කඳු කරය පීරා මුහුදු මට්ටමේ සිට අඩි 5000කට ආසන්න උසකින් පිහිටි හපුතලේ, තංගමලේ ප්‍රදේශයෙන් උස් කඳු ගැටයක් මත වන තරමක් විශාල තැනිතලා භූමියක් සොයා ගනී. ඒ වන විට යහමින් අතමිට සරුව තිබූ බැවින් තමන් කුඩා කල සිට අසීමිතව ආදරය කල කෙන්ට් ප්‍රාන්තයෙහි වූ ලීඩ්ස් මාලිගාවෙහි අනුරුවක් තම වාසය සඳහා ඉදිකිරීමට සිතන තෝමස් 1929 වසරේදී එහි වැඩ කටයුතු ආරම්භ කරයි.

එලෙසින් ඇරඹ 1931 වර්ශයේදී නිමවූ ඇඩිෂම් බංගලාව නෙත් සිත් ඇද ගන්නා සුන්දරත්වයකින් පරිපූර්ණ අගනා නිර්මාණයක් බැව් මා හට පිළිබිඹූ වූයේ කාල වර්ණයෙන් යුත් වහලයට ඉහලින් මෝදු වන හිරුගේ රෂ්මි කදම්භයන් බංගලාවෙහි විසල් උද්‍යානය කල එළි කරමින් විත් මාගේ දෙනතට වටුණු පසුවය. එය අක්කර දහයකට ආසන්න වපසරියකින් යුත් භූමියකි. බංගලාව පිහිටනුයේ භූමියෙහි වම් පසට වන්නටය. ඉතිරිය උද්‍යානයයි. නොයෙක් විද තුරු ලතාවන්ගෙන්ද අලංකාර පුෂ්පයන් ගෙන්ද පිරී ගිය උද්‍යානයෙහි පළතුරුත් එළවළුත් නොඅඩුව වගා කොට ඇත. උද්‍යාන කෙලවරේ බැම්ම උඩට නැගි මා හට ඈතින් දිස් වූයේ වළාකුළු වලින් වැසී ගිය මුදුනින් හෙබි තොටුපළ කන්දත් පිදුරුතලාගල කන්දත්ය. හොඳින් හිරු පායන දිනයන් හිදී මෙම ස්ථානයට නමුණුකුල කන්දත් උඩු පුස්සැල්ලාව කඳු පන්තියත් දියතලාව හමුදා කඳවුරත් ආදී පුළුල් පරාසයක් ඉතා රමණිය අයුරින් දිස් වන බැව්ද වැඩි දුර තොරතුරු විමසූ මා හට දැනගන්නට ලැබිණි.

ඇඩිෂම් බංගලාව, ටියුඩෝ සහ ජැකබියන් විලාසිතාවන්ගේ එකතුවක්ව මුළුමනින්ම කළු ගලින් නිම වූවකි. බුරුම තේක්ක ලීයෙන් නිමැවුනු උස ජනේල සහ උළුවහු ඊට කදිම නිදසුන් වේ. අඩියක් පමණ දිගැති අඩි භාගයක් පමණ උසත් පළලත් ඇති කළු ගල් කුට්ටි එකිනෙක මත තබමින් සිමෙන්තියකින් බැඳ ඇති බිත්ති වල ශක්තිමත් භාවය ඉහල නැංවීමෙහි ක්‍රමවේදයක් වශයෙන් සිමෙන්ති යෙදීමට පෙර එම තැන් වලට විශාල පරාල ඇණ යොදා ඇත. වහලය, කළු තෙල්හි ගිල්වා පදම් කල අඩියේ අඩි භාගයේ පමණ වූ බුරුම තේක්ක ලෑලි වලින් සෑදූ අතිශය විශිෂ්ඨ නිර්මාණයකි. පැරිස් බදාමයෙන් කපරාරු කල සිවිලිමත් එහි මුළු හැඩ ගැන්වූ රටාවනුත් ඉතා අලංකාරය.

බංගලාවෙහි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වත්ම පිවිසෙනුයේ පහත මාලයෙහි ප්‍රථම ආලින්දයටයි. තෝමස් විසින් එංගලන්තයෙන් ගෙන්වූ බුමුතුරුණුත් සුව පහසු සෝපාවනුත් කළු ගලින් නිමවූ ඉතා අලංකාර විදුලි බුබුළු ආවරණ සහිත විශාල විදුලි බුබුළු කට්ටලයකුත් මෙහි දක්නට ඇත. ශීත දේශගුණයන්හිදී නිවස තුල උෂ්ණත්වය කළමණාකරනය කර ගැනීම සඳහා සැකසූ උඳුනක්ද ආලින්දයෙහි වෙයි. බංගලාවෙහි වහලයේ සවි කොට ඇති අවර පෙති මගින් පහතට ඇද ගන්නා සීත සුලං උඳුන මගින් රත් කොට ගෙතුල මුදා හැරීමේ ක්‍රම වේදය නම් නිතැතින්ම අපූරුය. බිත්තියෙහි එල්ලා ඇති, ඩේවිඩ් පේන්ටර් අති දක්ෂ චිත්‍ර නිර්මාණ ශිල්පියා විසින් ඇඳි තෝමස්ගේ සජීවී සිතුවම ක්ෂණයකින් මා සිත ඈත අතීතය වෙත ගෙන ගියේය.

බංගලාවෙහි සුවිශේෂීම ස්ථානයක් ලෙසින් දෙවැනි ආලින්දය හැඳින්විය හැකිය. එය පළමු වැන්නට වඩා ප්‍රමාණයෙන් විශාල නමුත් එලෙසින්ම සුව පහසුව සැලසූ ස්ථානයකි. එහි විශේෂත්වය වනුයේ තෝමස් විසින් පරිශීලනය කල පොත් පතින් පිරී ගිය අල්මාරි 3ත් ඒ මත තබා ඇති ඔහුගේ නෑ පරපුරේ සිතුවමුත්ය. අතිශය පරිණත චිත්‍ර ශෛලියකින් හෙබි මෙම සිතුවම් නිමව ඇත්තේ තෝමස්ගේ පළමු බිරින්දෑ අතිනි. සැබවින්ම දුර සිට බැලූ කල්හි එම සිතුවම් දිස්වනුයේ ඡායාරූප ලෙසින් බැව් මා නිසැකවම සඳහන් කල යුතුය.

ඒ හැරුණු කොට තෝමස් භාවිතා කල බඩු බාහිරාදියෙන් පිරී ගිය විසල් අල්මාරියක්ද පහත මාලයෙහි කෙලවරේ වෙයි. ඒ අතුරින් බොහෝමයක් පිඟන් භාණ්ඩත් ගුවන් විදුලි යන්ත්‍ර, ඔරලෝසු වැනි දෑත් සහ බංගලාවෙහි බිත්ති මත එල්ලා ඇති සැරසිලිත් එංගලන්තයෙන් ගෙන්වා ගත් ඒවාය. ශාන්ත බෙනඩික් වරුනගේ තාසාරාමයට පිවිසීමට ඇත්තේ මෙම ආලින්ද වලිනි. නමුදු සාමාන්‍ය නරඹන්නෙකුට ඒවාට පිවිසීමට අවසර නැත. කාමර රාශියකින් සමන් විත මෙම බංගලාවෙහි නිල් කාමරය හෙවත් නිල් වර්ණයෙන් වර්ණ ගැන්වූ කාමරයත් අශ්වයකුගේ පාදයක හැඩයට නිමැවුණු කාමරයත් තෝමස් ඉතා ඇළුම් කල කාමර වේ.

බංගලාවෙහි තවත් සුවිෂේශී ස්ථානයක් වනුයේ බොයිලේරු කාමයරයයි. එය ඉහල තාක්ෂණකින් හෙබි ජල සැපයුම් ක්‍රමවේදයක ප්‍රධාන අංගයකි. කඳු මුදුනේ ජල උල්පත් මගින් උනන ජලය වානේ නල මාර්ග ඔස්සේ මෙම කාමරයට පැමිණෙන අතර ඉන් පසුව බොයිලේරුව මගින් ඒවා රත් කොට බංගලාව පුරා බෙදා හැරේ.

මේ අයුරිනුත් තව බොහෝමයක් සැඟවුණු දෑ ඇතිවත් නිමැවුනු මෙම අතිවිශිෂ්ඨ නිර්මාණයෙහි සුව පහසුව විඳිමට තෝමස් හා අතිනත බැඳ ගත් ඇය නමින් ඊව්ලින් හෝප් වෝකර් විය. විලර්ස් පවුලෙහි සතුට ගිලිහී යන්නේ 1917 දීය. ඒ හමුදා සේවයෙහි යෙදී සිටි ඔවුනගේ වැඩිමහල් පුත් හෙන්රි ප්‍රථම ලෝක යුද්ධයෙන් මියයා‍ම හේතු කොට ගෙනය. සිත්හි වූ දුක් කාන්සි නිසාවෙන්දෝ වැඩි කාලයක් යාමට මත්තෙන් ඊව්ලින්ද මිය ගියාය. 1949 වර්ෂයේ තම උපන් ගමට යන තෝමස් 1955දී තම බාල පුතු දෙවන ලෝක යුද්ධයෙන් මිය යන විටත් තෝමස්, මාර්ජෝරි ග්ලෙන්කෝරා කේට් සමඟ දෙවැනි විවාහ ගිවිස ගෙන හමාරය. ඒ වන විටත් තෝමස් තම සුන්දර මතකයන් ගොන්න අතහැර ගොස්ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමටත් සුළු සේවකයිනට සති පඩි ලබා දීමත් ඇතුළු නොයෙක් විද කම්කරු අයිතීන් සුරැකීමටත් උරදුන් තෝමස් විලර්ස් මහත්මා 1959 දෙසැම්බර් මස 21 වැනි දින තම උපන් ගමේදී අවසන් සුසුම් හෙළුවේ මෙරට විසූ විදේශික විද්වතුනගේ නාමයන් අතරට රනින් දිදුලන නාමයක් එක් කරමිනි.

තොමස් මහත්මා 1950 වර්ශයේදී පෙරලා තම ජන්ම භූමිය වෙත යාමට මත්තෙන් මෙම බංගලාව විමලා විජේවර්ධන මැතිණිය හට විකුණනු ලැබූවද පසු කාලීනව ඈ එය ශාන්ත බෙනඩික් සාන්තුවරුනට පූජා කරනු ලබයි. එතැන් සිට මේ දක්වා තෝමස්ගේ ඇඩිශමය ශාන්ත බෙනඩික්වරුනගේ තාපසාරාමයක්ව එහි යනෙන කොයි කාටත් පාහේ නිරන්තරයෙන් ශාන්තිය පතුරයි.

TIP

Go on weekends.

Address

St. Benedicts Monastry, Adisham, Haputhale.

Directions

4 Km from Haputhale on Haputhale - Boralanda road.

Contacts

E-Mail E-Mail Website

Report Issue

Closed right now

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comments