No.101, Galle Road, Colombo 06
Open until 10:00 AM
An average food joint at Wellawatte that serves Biriyani, Shawarma, Submarine and the likes for a reasonable price.
හප්පච්චියේ! දුකේ බෑ අප්පා. දෙහිවල අල්-බයිට් එක වහලා කියන්නකෝ. ඔය සිද්ධිය වෙලා දැන් ටික කාලයක් වෙනවලු. ඒ වුණාට ආරංචිය ලැබුණේ මීට සති කීපෙකට කලින්. ඒ දවස්වල ඔතන තිබුණු රුපියල් හයසීයේ චිකන් මුර්තබා එකක් ගත්තා කියන්නේ හයදෙනෙක්ට බඩ පුරවගන්න පුළුවන්නේ.
ඔය අනං මනං හිතහිත බස් එකේ ගිය මට මීටර් වුණානේ මාර වැඩක්. මෙන්න අල්-බයිට් කියලා බෝඩ් ලෑල්ලක් ගහපු රෙස්ටෝරන්ට් එකක් තියෙනවා වැල්ලවත්තේ. ඉතින් සති අන්තයක් අල්ලලා අපිත් ගියා මෙතැනට. අවාසනාවට වගේ මේක අර දෙහිවල එකේ බ්‍රාන්ච් එකක් නෙවෙයි. මුර්තබාත් නැහැ. හැබැයි ඒකයි කියලා බඩගින්නේ හැරිලා එන්නයැ. ඒ නිසා අපි මේකේ අනිත් කෑම බීමවල රස බැලුවා.
මේ අල්-බයිට් එක ගාලු පාරේ අද්දර ම තියෙන තැනක්. හරියට ම කිව්වොත් දෙවැනි චැපල් ලේන් එකට හැරෙන තැනම වගේ. ඇතුළේ වැඩිය ඉඩකඩක් නම් නැහැ. අමාරුවෙන් හත් අටදෙනෙක්ට ඉඳගන්න පුළුවන්. හැබැයි ටේක්-අවේ ඔප්ෂන් එකත් තියෙනවනේ. ඒ නිසා ශේප්.
බර්ගර්, සබ්මැරීන්, ශවර්මා, බිරියානි, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමවලින් හැදුණු මෙනුවක් අල්-බයිට් එකේ තියෙනවා. බීම විදියට තියෙන්නේ ෆ්‍රෙෂ් ජූස්.
අපි ඕවා අතරින් ගත්තේ බීෆ් සබ්මැරීන් (රු.300), චිකන් ශවර්මා (රු. 250), සහ බිරියානි (රු.250). තව ඕඩර් කළා අන්නාසි ජූස් (රු.180) එකකුයි, ලයිම් ජූස් (රු.120) එකකුයි.
බීෆ් සබ් එක හොඳයි. රෝස්ට් කරපු බීෆ්වලින් පුරවපු මේ සබ් එක සෑහෙන්න ස්පයිසි. බන් එකත් ගොඩක් සොෆ්ට්. දෙපැත්ත ටෝස්ට් කරලත් එක්කනේ තිබුණේ. ඒ නිසා පොඩි ක්‍රන්චි ගතියකුත් තිබුණා.
චිකන් ශවර්මා එකත් වරදක් නැහැ. ශවර්මා බ්‍රෙඩ් එක නම් නියමෙට ම තිබුණා. හැබැයි ඇතුළේ පිරවුමට මයෝනිස් අඩුවෙන් දැම්මා නම් තමයි හොඳ. ඒ වගේ ම ඒකෙ තිබුණු රෝස්ට් චිකන්වල පොඩ්ඩක් තෙල් ගතිය වැඩියි. කොහොම වුණත් මේක කාලා නම් බඩ පුරවගන්න හිතන්න එපා හොඳේ. මොකද මේ ශවර්මා එක සයිස් එකෙන් පොඩියිනේ.
බිරියානි එක නම් ඔය ගෙදර හදන එකක් වගේ. ඇත්තම කිව්වොත් දර ලිපක හදපු එකක වගේ සුවඳක් තියෙන්නේ. ඔරිජිනල් බිරියානි රසක් නම් මේකේ නැහැ. හැබැයි අවුලකුත් නැහැ. ඕනේ කරන අඩුමකුඩුම සේරම දාලා තිබුණට, පොඩ්ඩක් ඒවායේ බැලන්ස් නැති ගතියක් තියෙනවා කියලයි අපට හිතුණේ. සාමාන්‍ය බිරියානි එකක වගේ ම තඩි චිකන් කෑල්ලකුයි, බිත්තරෙකුයි, රයිතා ටිකකුයි මේ පිඟානේ තිබුණා.
ඇඹුල් රසට වඩා සීනි රස හොයන කෙනෙක්ට මේ ලයිම් ජූස් එක හරියන්නේ නැහැ. මොකද මේකේ සීනි හොඳට ම අඩුයි. හැබැයි කට කපලා යන තරමේ ඇඹුල් ගතියක් නැති නිසා බීගෙන යන්න පුළුවන්.
ෂහ්! අන්නාසි ජූස් මෙච්චර රසට හදන්න පුළුවන් කියලා අපි දැන් නේ දන්නේ! අල්-බයිට් එකේ අන්නාසි ජූස් එක පට්ට රිෆ්රෙෂින්. හොඳට ඉදුණු අන්නාසිවලින් හදන මේ ජූස් එකට, අන්නාසිවල තියෙන ළා ඇඹුල් රසින් එන්නේ මරු කික් එකක්.
මෙතැන ගොඩක් ප්‍රසිද්ධ ටේක්-අවේවලට. අපි මෙතැන ඉඳපු පැය භාගෙටත් කට්ටිය හත් අටදෙනෙක් ආවා. හැබැයි කට්ටිය කොච්චර හිටියත් අවුලක් නෑ, අල්-බයිට් එකේ සර්විස් එක නම් හරි ම ෆාස්ට්. රෙස්ටෝරන්ට් එකේ අයිතිකාර මහත්මයත් අරහෙට මෙහෙට දුවලා පැනලා කෑම බීම ටික වරද්දන්නෙ නැතුව මේසෙට එවන්න වැඩ කටයුතු සලස්වලා දෙනවා.
අපේ මුළු බිල ආවේ රු.1100ක්. ගත්ත කෑම තොගේ හැටියට ඒ ගාණට සෑහෙන්න වටිනවා. වැල්ලවත්ත පැත්තෙන් යන වෙලාවක අතේ තියෙන පොඩි ගාණට බඩ පුරවගන්න ඕනේ නම්, පොඩ්ඩක් අල්-බයිට් එකට ගොඩවෙලා යන්නකෝ.
Open until 10:00 AM
Cuisine
Dish Types
Biriyani Burgers Submarines Shawarma Fruit Juice
Ratings Breakdown
Delete Comment