Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Alumka Caterers (Thalawathugoda)

244/2, Pannipitiya Road, Thalawathugoda


ඇලුම්කා කේටර්ස් එකේ කෑමවල තියෙන විශේෂත්වය තමයි ගෙවන මුදලට ලැබෙන කෑම ප‍්‍රමාණයේ විශාලත්වය. ලොකු බඩගින්නක හිටියත් ඒක කාලා ඉවර කරන්න නම් ටිකක් අමාරුයි.



දවස තිස්සේ රාජකාරී කටයුතුවල යෙදිලා ඉන්න ඔයාලා හවස් වෙද්දි හොඳටම මහන්සි වෙලා තමයි කාර්යාලයෙන් එළියට බහින්නේ. ඉතිං ඒ වෙලාවට එන බඩගින්නට මොනවා හරි පොඩි දෙයක් බඩට දාගෙන ගෙදර යන්න සමහර අය පුරුදු වෙලා හිටියට ගොඩක් අය තමන්ගේ යාළුවෙක් එක්ක හරි පෙම්වතිය එක්ක හරි හොඳ අවන්හලකට ගිහින් රෑ කෑම වේල රස විඳිනවා. ඒ අතරෙ තවත් පිරිසක් ඉන්නවා නිවි හැනහිල්ලෙ ගෙදර ගිහිල්ලා ඇඟ පත හෝදගෙන රෑ කෑම වේල ගන්න කැමති අය. අන්න ඒ වගේ අයට නියමෙට ගැලපෙන තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.

ඇලුම්කා කේටර්ස් තියෙන්නෙ තලවතුගොඩ හංදියෙන් මීටර් පනහක් විතර පැලවත්ත පැත්තට වෙන්න. හරියටම සම්පත් බැංකුවට යාබදව. ප‍්‍රධාන පාර අයිනෙ තියෙන නිසා දුර තියාම මේ අවන්හල හඳුනන ගන්න පුළුවනි. මම හොයාගත්ත විදියට නම් ඇලුම්කා කේටර්ස් කිව්වාම තලවතුගොඩ පැත්තෙ ගොඩක් අය හොඳට දන්නවා. අවාසනාවට වගේ ඇලුම්කා කේටර්ස් එකටත් වාහන නවත්වන අංගනයක් නම් නෑ. ඇතුල් වෙන තැනම දිග ෂෝ කේස් එකක එයාලටම ආවේණික කුකුල් මස් රොටි වගේ කෑම වර්ගත් අල ව්‍යංජන, කුකුල්මස් ව්‍යංජන, පොල් සම්බෝල වගේ අපි දන්නා කියන කෑම වර්ගත් බර්ගර්, පේස්ට්‍රි වගේ කෙටි ආහාර වර්ගත් ඉට්ලි, වඩේ වගේ ඉන්දියානු ආහාර වර්ගත් දාලා තියෙනවා. ෂෝ කේස් එකේ මැද්දට වෙන්න තමයි කැෂියර් එක තියෙන්නෙ. ඊට පිටි පස්සෙන් ටිකක් උඩට වෙන්න එයාලා ළග තියෙන කෑම මෙනුව ගණන් එක්කම දාලා තියෙන නිසා අතේ තියෙන ගාණට හරියන කෑම එකක් තෝර ගන්න හරිම ලේසියි.

ඉතිං යාළුවනේ ඊයේ හවස වැඩ ඇරිලා ගෙදර යන අතරේ මටත් හිතුනා හොඳ කෑම ටිකක් ගෙනිහින් ගෙදර අයත් එක්ක බෙදාගෙන කන්න. ඒ නිසාම තලවතුගොඩ හංදියෙන් බැහැපු මම ඇලුම්කා කේටර්ස් එක ළඟට ගියා. ඒ යද්දි දහ දෙනෙක් විතර කෑම ඇණවුම් කරන පෝලිමේ ඉන්නවා. තවත් හය හත් දෙනෙක් ඇණවුම් කරපු කෑම ලැබෙන කම් බලාගෙන ඉන්නවා. හ්ම්.... ටිකක් වෙලා යයි වගේ. කමක් නෑ පෝලිමේ ඉඳලා කෑම අරගෙනම යනවා කියලා හිතපු මම හිමිහිට පෝලිමේ පිටි පස්සට එකතු වුණා. පෝලිමේ ඉන්න ගමන් මම කේටරින් එක ඇතුලෙ වෙන දේවල් ටික තමයි බලාගෙන හිටියෙ. කැෂියර් එකේ ඉඳපු මිත‍්‍රයා විතරක් නෙමෙයි මුළුතැන් ගෙයි ඉන්න කෝකියනුත් අනිත් සේවක මිත‍්‍රයනුත් හරි හරියට වැඩ. ඇයි ඉතිං හැමෝම ඉල්ලන කෑම වර්ග ටික උපරිම ප‍්‍රමිතියකින් පුළුවන් තරම් ඉක්මණට දෙන්න ඕනිනෙ. විනාඩි පහක් විතර යනකොට මගේ වාරේ ආවා. කල් තියාම මෙනුව බලලා හිතේ තියා ගත්ත මුහුදු ආහාර නාසිගුරාං (රු. 490) එකයි කුකුල් මස් ෆ‍්‍රයිඩ් නූඩ්ල්ස් (රු. 270) එකයි බැදපු කුකුල් මස් කෑලි (1ක් රු. 120) දෙකයි මම ඉක්මණට ඇණවුම් කලා. ඊට පස්සේ ඉතිං කෑම ටික හැදෙන කම් ටිකක් පැත්තකට වෙලා මම ආයෙත් බලන් හිටියේ ඇලුම්කා කේටර්ස් එකේ වැඩ වෙන විදිය. කැෂියර් එකේ පිටිපස්සේ තියෙන මුළුතැන්ගෙය ඉස්සහරට වීදුරු දාලා හදලා තියෙන නිසා කෑම උයන විදිය හොඳට පේනවා. ෆ‍්‍රයිඩ් රයිස් දාන කෝකියාගේ මුණ පේන්නේ ගිණි දැල් මැද්දෙන්. මෙතන නම් ඇත්තටම 'ෆ‍්‍රයිඩ්' කියන වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම ෆ්‍රයිඩ් රයිස් හදන පාටයි. අනෙක් පැත්තෙන් ඇහෙන කොත්තු ගහන සද්‍දෙ නම් නියම තාලෙට තියෙනවා.

තලවතුගොඩ ඇලුම්කා කේටර්ස් එකේ ලාංකීය, චීන, මොංගෝලියානු, ඉන්දියානු වගේම බටහිර ආහාර වර්ගත් බටහිර අතුරුපස වර්ගත් ගොඩක් තියෙනවා. දවල් ආහාර වේලට රසම රස බත් සහ ව්‍යංජන එකක් වුනත් මෙතනින් මිලදී ගන්න පුළුවන්. විනාඩි පහලවක් විතර යනකොට තමයි මම ඇණවුම් කරපු කෑම ටික ලැහැස්ති වෙලා තිබුණේ. ඇලුම්කා කේටර්ස් එක අවන්හලක් නොවෙන නිසා එතන භෝජනාගාරයක් නෑ. කෑම අරගෙන ගිහිල්ලා තමයි කන්න තියෙන්නේ. ඉතිං කෑම ටික අතට ගත්ත මම ඒවායේ සුවඳට නිසා ආපු බඩගින්නත් බොහොම අමාරුවෙන් ඉවසගෙන ගෙදරට ආවා. ගෙදර ආපු ගමන් පිඟන් දෙකක් අරගෙන කෑම ටික තියලා ෆොටෝ දෙක තුනකුත් ගහලා මම වැඩේ දෙන්න පටන් ගත්තා.

ෆ‍්‍රයිඩ් නූඩ්ල්ස් වලට මම ටිකක් වැඩිපුර කැමති නිසා ඉස්සෙල්ලාම ඒකෙන් ටිකක් මගේ පිඟානට දාගත්තා. ඒකටම ඇවිල්ලා තිබුණ ඩෙවල් කුකුල් මස් කෑල්ලෙනුත් කෑල්ලක් කඩලා පිඟානෙන් තියා ගත්ත මම නූඩ්ල්ස් එකේ පැත්තකට වෙන්න තිබුණ එළවළු චොප්සි ටිකකුයි චිලි පේස්ට් ටිකකුයිත් පිඟානට බෙදාගත්තා. කාපු පළවෙනි නූඩ්ල්ස් කටේන්ම මට දැනුනෙ පුදුමුකාර රසක්. තෙල් ගතිය නම් හරිම අඩුයි. ඒත් රස නම් උපරිමයි. ඩෙවල් කුකුල් මස් කෑල්ලෙත් පොඩි පැණි රසක් මැද්දෙන් එන හොඳ සැර ගතියක් තිබුණා. නූඩ්ල්ස් එකටම ආපු එළවළු චොප්සි එකෙන් දැනෙන නියම චීන ආහාර රස නිසා නූඩ්ල්ස් එක නැගලා යනවා. කැරට්, ළූණු, ළූණු කොළ එකතු කරලා හදලා තිබුණ නූඩ්ල්ස් එකෙන් ලාවට දැනෙන පිළිස්සුන රස නම් හරිම අපූරුයි. පිඟානට දාගත්ත නූඩඩ්ල්ස් ටික කටට දෙකට කාලා ඉවර කරපු මම. කෙලින්ම අත යැව්වේ මුහුදු ආහාර නාසි ගුරාං එකට.

නාසි ගුරාං බත් එකට නම් අඩු නැතිව කැරට්, ළූණු කොළ, අමු මිරිස්, බැදපු ඉස්සෝ, බැදපු මාළු වගේම බිත්තරත් එකතු කරලා තිබුණ නිසා සුවඳේ බෑ. නාසිගුරාං එකේ රස වැඩි කරගන්න වෙනමම රසම් එකකුත් තිබුණා. නාසිගුරාං බත් හැඳි දෙකක් පිඟානට දා ගත්ත මම බැදපු මාළු කැල්ලකුත් දාගෙන වෙනමම ගෙනාපු බැදපු කුකුල් මස් කෑල්ලකුත් පිඟානෙන් තියාගත්තා. ගෙදර ඉන්න නිසා හිතේ හැටියට කන්න පුළුවන්නේ. ඉතිං මම හෙමිහිට නාසිගුරාං එකේ රස බලන්න පටන් ගත්තා. ‘‘ම්ම්... නියමයි. හැබැයි තාම උණුයි’’ නාසිගුරාං එකෙන් පදමට එන කුළු බඩු රස අතරට හොඳ සැරකුත් එකතුවෙලා තිබුණා. ඒ අතරට බැදපු ඉස්සෙකුත් හැපෙන කොට දිවට දැනෙන රස නම් කියලා නිම කරන්න බෑ. නාසිගුරාං එකට රසම් ටිකක් එකතු කර ගත්තාම හැදෙන්නේ නියම ශ්‍රී ලාංකික රසක්. සැර ගතියත් ටිකක් වැඩිවෙලා, කුළු බඩු රසත් නියම පදමට එනවා. වෙනසකටත් එක්ක මම බැදපු කුකුල්මස් කෑල්ලක් රසම් එකේ ගාගෙන කාලා බැලුවා. ෂහ්... සුපිරිම රසක්නෙ කුකුල් මස් කෑල්ලෙන් එන්නෙ.

මම හැමදාම කන පුංචි ප්ලාස්ටික් පිඟානට හිතේ හැටියට එක එක විදියට කෑම වර්ග දාගෙන බඩ පැලෙනකම් කෑවා. ඇලුම්කා කේටර්ස් එකේ කෑමවල තියෙන විශේෂත්වය තමයි ගෙවන මුදලට ලැබෙන කෑම ප‍්‍රමාණයේ විශාලත්වය. ලොකු බඩගින්නක හිටියත් ඒක කාලා ඉවර කරන්න නම් ටිකක් අමාරුයි.

ඇලුම්කා අවන්හල ගොඩක්ම ප්‍රසිද්ධ ඉන්දියානු කෑම වලටයි චීන කෑම වලටයි. මම කෑම ගන්න ගියපු වෙලාවෙත් ‘පූරි’ කියන ඉන්දියානු කෑම වර්ගය ඉල්ලා ගොඩක් ඇණවුම් ආවා. ඇණවුම් කරපු කෑම ලැබෙන්න ටිකක් වෙලා ගියත් ගෙවන ගාණට ගොඩක්ම සාධාරණ රසම රස කෑම වේලක් ගෙදර ගෙනහින් නිදහසේ රස බලන්න නම් තලවතුගොඩ ඇලුමිකා කේටර්ස් එක නියම තැනක් තමයි .

 

 


TIP

Try Sea food Nasiguran

Address

244/2, Pannipitiya Road, Thalawathugoda

Directions

It's between the P & S and Sampath Bank, just before Thalawathugoda junction when travelling from Pelawatte

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments