Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Ambul Thiyal

295, High Level Road, Nugegoda


Ambul Thiyal is a small streetside restaurant down High level road, and does good rice and curry for an affordable price tag.



හරියට මාන කොකා වගේ.

දවස් ගාණක් මාන බැලුව කියන්නකො, වෙලාවක් කලාවක් අල්ලල නුගේගොඩ ඇඹුල් තියල් එකට ගොඩ වෙන්න. ඇයි අප්පේ, අපේ කට්ටිය ඒකෙන් කාලා බීලා කෑමවල රස කියද්දි කොහොම ඉවසන්නද දෙයියනේ.

වෙලාවට ඔන්න පහුගිය සෙනසුරාදා එකෙක් දෙන්නෙක් කල්තියාම අපේ දිහාට ගැළපුණා. හැන්දෑවට පොඩි අඩියක් එහෙමත් ගහන දවසනෙ. ඉතින් බොතලේට සෙට් වෙන්න කලින් මම කට්ටියට දැම්ම අයිඩියා එක, බඩ පැලෙන්න දවල්ට කාලම රෑ වෙලා පොඩි අඩියක් ගහමු කියල. ඊට පස්සෙ ඉඳපු සෙට් එක අරගෙන මම බස් එකේම ඇද්ද නුගේගොඩට. එ් වෙද්දි දවල් 12.30ට විතර ඇති. උණු උණුවෙ බත් කන්න කියාපු වෙලාවනෙ.

පන්නිපිටියෙන් 138ට නැගපු අපි නුගේගොඩ පාලම ළඟ හෝල්ට් එකට කලින් හෝල්ට් එකෙන් බැහැගත්තෙ අව්වෙ ඇවිද ඇවිද කට්ට කන්න ඕන නැති නිසා. අනික අපි ඒ කිට්ටුවට යද්දිම වගේ බර සෙට් එකක් කඩේ ඇතුළට යනවත් දැක්කනෙ. ආයෙ ඉතින් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු කරගන්න ඕන නැති නිසා කට්ටිය අඩියට දෙකට කඩේ ඇතුළෙ.

හප්පේ… සෙනඟ!

“ඒ… මචං බල බල ඉන්න බෑ. සෙනිකව අන්න අතනින් වාඩිවෙයන්. එක එක්කෙනා ගිහිල්ල බෙදාගමු” මැද්දට වෙන්න තිබුණ මේසෙක යාළුවො ටික වාඩිකරපු මම සෙනිකව බුෆේ එක ළඟට ගියා. කිව්වට විශ්වාස කරන්න යාළු, සෙනඟ මේ ගානින් යනව මදෑ. මැටි ඇතිලිවල දාපු එළවළු මාළු ටික දැක්කාම හිටගෙනම කටට කෙළ උනනව. ඔන්න ඉස්සෙල්ලම ලොකු ඇතිලි දෙකක රතු බතුයි සුදු බතුයි. ඊට පස්සෙ චිකන්, පෝර්ක්, මාළු ඇඹුල් තියල්. ඊටත් පස්සෙ පොලොස්, කිරිකොස්, බණ්ඩක්ක තෙල්දාලා, කෙහෙල්මුව තෙල් දාලා, කරවල තෙල්දාලා, බෝංචි, පරිප්පු, පලා මැල්ලුම්, පතෝල සම්බෝල, කොස් මැල්ලුම් යකඩෝ… මෙන්න එතනින් එහාට ආයෙ ඉස්සො, දැල්ලො, බැදපු මාළු, සොසේජස්. ඒ විතරක් නෙවෙයි පැත්තකට වෙන්න තියෙන ෂෝ කේස් එකක ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් එහෙමත්.

“සර්… සර්!”

“ඈ...?”

“සර්ට මොනවද?”

“ආ… මම නේ. මට සුදුබත් පෝර්ක් එකක් (රු. 250) දාන්න. මේ... බැදපු මාළුවෙකුත් (රු. 100) දාන්න..” කෑම ටික දැකල ඔළුව විකාර වෙලානෙ හිටියෙ. ඉතින් සේවක මිත්‍රය නෙළුම් කොලේ අතට ගන්නකම් දැක්කෙ නෑ.

“සර් එළවළු?”

“එළවලු… පොළොසුයි, පරිප්පුයි, කෙහෙල්මුව තෙල්දාලයි, ඇඹරැල්ලයි දාන්න”

සුවඳ ගගහ පන් වට්ටියෙ, නෙළුම් කොලේට බෙදුණු බත් එක මම අතට ගත්තෙ පුදුම ආසාවකින්. අරගෙන ගිහින් මේසෙට වාඩි වෙන්න කලින් වතුර වීදුරුවකුත් කිට්ටු කරගත්ත. මොකද කන්න පටන් ගත්තාම හිතේ හැටියට කන්න තියෙන්න එපැයි. වැඩේ කියන්නෙ ඔය අතරට අනිත් යාළුවො දෙන්නත් පෝලිම් පැනගෙන ගිහින්ද කොහෙද බත් බෙදාගෙන. එක්කෙනෙක් මාළු ඇඹුල් තියල් (රු. 200). අනිත් එක්කෙනා ඉස්සොයි (රු. 250) දැල්ලොයි (රු. 250) දෙකම.

උණු උණු බත් ටිකක් එක්ක මම මුලින්ම අනාගත්තෙ පෝර්කුයි පරිප්පුයි. ෂප්පේ… කියල වැඩක් නෑ ආ… ටොපේ ටොප් පෝර්ක් එක. හැබැයි බ්ලැක් පෝර්ක් නෙවෙයි. නෝර්මල් මස් හදන විදියට හදල තියෙන්නෙ. වැඩි හරියක්ම හොද්ද තමයි රස. හොඳ පදමට මිරිස් තුනපහ දාලා. බත් එකට ලොකු තෙල් කෑලි 2ක් 3ක් බෙදිල තිබ්බට පෝර්ක් එකේ මස් කෑලි ටික නම් මරේ මරු. කිව්වට විශ්වාස කරන්න යාළු පෝර්ක් එකට දෙවනි නෑ කියන්නකො බැදපු මාළු කූරිය. අනිවාර්යයෙන්ම අළුත් මාළු අලුත් තෙලේ බැදල. අවාසනාව කියන්නෙ මෙයාලගෙ පොලොස් එක නම් සෑහෙන්න සවුත්තුයි. කණගාටුවෙන් වුණත් කියන්න ඕන එ්කෙ තනිකරම පහේ විතරයි. කිරි රහක් ගෑවිලාවත් නෑ. හැබැයි ලා ඇඹුල් ගතියක් තියෙන්න හදපු ඇඹරැල්ලා මාළුව නම් සුපිරි. මට මතක් වුණේම “පෝරණු පාන් ගෙඩියක් තිබ්බ නම්” කියල. කෙහෙල්මුව තෙල්දාපු එකත් හොඳ රහට තිබ්බ. විශේෂයෙන්ම මෙයාලගෙ මිරිස් කද්දි එහෙම නම් පරිස්සමට. ආයෙ සැරයි කියන්නේ… කඳුළු පනින්න තියෙනව.

ඔය අතරට මම යාළුවගෙ බත් එකට අත දාලා ඇඹුල් තියල් මාළු කෑල්ලකුත් රස බැලුවා. හ්ම්ම්… හොඳයි. හැබැයි මදි. ඇත්තටම ඊට වැඩිය රසට ඇඹුල් තියල් හදන්න පුළුවන්. අර පොලොස් එකේ වගේම ඇඹුල් තියල් එකෙත් බැදපු තුනපහ රස විතරයි. ගොරක, සුදු ලූණු ඇඹරුම අමතක වෙලාද මන්දා. අනික ඒක හිඳිලා තියෙනවත් මදි. ඇඹුල් තියල් වුණාම ඉතින් හොඳ ඝනේට බොර ටික තියෙන්න එපැයි නේ.

හැබැයි අන්න ඒකට ඉස්සො, දැල්ලො ටික. පංකාදු පහයි කියන්නේ… මතක් වෙද්දිත් කටට කෙළ උනනව. ඒකට නම් ආයෙ ලෝබ නැතුව කිරි දාලා තියෙනව. අනික ගම්මිරිස් සැරත් ගානට. හරියට ඉස්සො ඉස්ටු දාලා වගේ. දැල්ලො එහෙමත් ලොකු රවුම් කපල. රස කර කර කද්දි ඉතින් කටට දෙකට බඩු ඉවර වෙනවනෙ. කොහොම වුණත් ඒ ඉස්සො හරි දැල්ලො හරි කරියක් එක්ක ඉඳිආප්ප ටිකක්, පාන් ගෙඩියක් කන්න තිබුණ නම් තමයි සුපිරිම.

ඒ හැරුණාම ඉතින් මෙයාලගෙ කොළ මැල්ලුම එහෙමත් නියමෙටම තියෙනව. මට හිතෙන්නෙ කලවම් මැල්ලුමක් වෙන්න ඕන. පොල්, ලූණු එහෙමත් හොඳ හැටි දාල නිසා රස ඩබල්. ආ… ඒක නෙවෙයි, මෙයාලගෙ කිරිකොස් එක! පංකාදු පහයි ඈ… ඒක විතරක් කන්න පුළුවන් ඉස්මුරුත්තාව එනකම්ම. ඒ තරමට රසයි. වැඩිය ඕන නෑ කිරිකොස් කාපු අපේ යාළුව අන්තිමට පොඩි එකෙක් වගේ ඇඟිලිත් ලෙව කෑව කියන්නකො. හ්ම්ම්… ආයෙ ඉතින් මතක හිටින රහක් තිබ්බෙ කරවල තෙල් දාපු එකේ. හැබැයි ඒකෙත් එක හරි හමන් කරවල කෑල්ලක් සෙට් වුණේ නෑ. ඔක්කොම පොඩි කෑලි. ඒ වුණාට රස නම් ටොප්!

‘ඇඹුල් තියල්’ රයිස් ඇන්ඩ් කරි ගැන ඒ ඇතිනෙ. කටට, රහට, සැරට බඩ පැලෙන්න බත් කෑවට පස්සෙ තලු මර මර රස බලන්න මෙයාල ළඟ රස වෑහෙන වටලප්පමුත් තියෙනව. හැබැයි ඒව ඉක්මනට ඉවර වෙන නිසා කල්තියා යන්න වෙනව. කොහොම වුණත් ඇඹුල් තියල් එකෙන් බත් කෑවට පස්සෙ නම්… ඩෙසටුත් ඕනම නෑ ඉතින්. මොකද කට ගාවටම පිරිලනේ...

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment