Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

3/5

Ananda Hotel & Bakery (Borella)

No. 184/9, Ward place, Colombo 07.


ෂහ්, ටොප් එකට තියෙනවා. මිරිස් හොද්දෙ නමටම හරියන්න හොඳ ගාණට සැර. ඒ විතරක්ද බැදපු තුන පහ ටිකකුත් පදමට එකතු කරලා. පරිප්පු හොද්ද නම් ගෙදර හැදුව වගේ රසයි.



ටිකක් රෑ වෙනකම් රාජකාරි වැඩ වල යෙදෙන කට්ටිය තමයි දන්නෙ හවස 6,7 වෙද්දි එන උහුල ගන්න බැරි බඩගින්න ගැන. ඒ බඩගින්න බිස්කට් එකකින් බනිස් ගෙඩියකින් පිරිමහන්න බෑ. කටට රසට බඩට හොඳට දැනෙන දෙයක් කන්නම ඕන.

උදේ ඉඳන් හදලත් ඊයෙ දාන්න තිබුණ ලිපිය හදල ඉවර කරද්දි හවස 7 විතර වුන නිසා මම ඔෆිස් එකෙන් එළියට බහින කොටත් රෑ 8ට කිට්ටුයි. වැඩේ ගැනම හිත හිත ඉඳපු මට එළියට බැස්සාම තමයි තේරුණේ මම ඉඳල තියෙන්නෙ ලොකු බඩගින්නක කියලා. අතෙත් ලොකු ගාණක් තිබුනෙ නැති නිසා බොරැල්ලට ගිහිල්ලම මොනවහරි බඩට දාගන්නව කියල හිතපු මම ගාලු පාරෙන් 154කට ගොඩවුනේ බොරැල්ලෙන් බහිනකම් ඉවසිල්ලක් නැතුව.

154 බස් නැවතුම ලඟම තියෙන උපවංශ හෝටලෙයි ආරිය භවන් එකෙයි සෙනඟ පිරිලා. පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් ගියපු මට ඊලඟට හමුවුනේ බොරැල්ලෙ උමං මාර්ග පිවිසුමට ටිකක් කලින් වම් පැත්තෙ පහල කඩ පේලියෙ තියෙන ආනන්ද භවන් එක. ඒකත් තෝසෙ කඩයක්නෙ. හැබැයි ආනන්ද භවන් එකට ඇතුල් වෙන තැනට වම් පැත්තෙන් තියෙනව තව ආනන්ද හොටෙල් කියල කඩයකුත්. ඒක නම් ලංකන් ස්ටයිල් රයිස් කඩයක් වගේ. හැඩ වැඩ ඕන නෑ. මම ගියා කෙලින්ම කඩේ ඇතුලට. සෙනඟින් නම් අඩුවක් නෑ වගේ. පොඩි කඩේ වුනාට වැඩ හොඳයි වගේ. රයිස්, කොත්තු වගේ කෑම ජාතිත් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනව.

වාතාවරණය

පොදුවේ ගත්තාම ලොකු ලස්සනක් පිළිවෙලක් නැති වුනාට වෙන වෙනම ගත්තාම බිත්ති වල එල්ලලා තිබුණ සම්භාව්‍ය චිත්‍ර දෙක තුනයි සිවිලිම් කැටයමුයි නම් හරිම අපූරුයි. කුස්සිය තියෙන්නෙ කඩේ පිටිපස්ස පැත්තෙ වගේ. ඒ වුනාට කැෂියර් එකයි, කෑම ජාති ටිකයි, කරි ජාති ටිකයි නම් ඉස්සරහ පේන්නම තියෙනවා. සෙනඟ ටිකක් ඉඳපු නිසාද කොහෙද සේවකයෙක් මගේ මේසෙ ලඟට එන්න විනාඩි 5ක් 10ක් ගියාට මම ඉල්ලපු කෑම ටික එන්න නම් එච්චර වෙලා ගියේ නෑ.

ආහාර සහ සේවාව

අපි කාටත් හුරු පුරුදු කෑම වේලක්නෙ පරාටා හරි බිත්තර රොටි හරි කපල කලවම් හොදි දාලා මේසෙට එන කෑම වේල. බිත්තර රොටි දාන්න පොඩ්ඩක් වෙලා යනව කිව්ව නිසා තමයි මම පරාටා 3ක් කපලා පරිප්පු හොදියි මිරිස් හොදියි ටිකක් කලවමේ දාලා ගේන්න කිව්වෙ. මිරිස් හොදි කිව්වාම ගොඩක් වෙලාවට එකතු වෙන්නෙ මාළු නැත්නම් කුකුල් මස් හොදි තමයි. වැඩි හොඳටද කොහෙද සේවක මිත්‍රයා මගේ පරාටා පිඟානට සාම්බාරු හොදි පොඩ්ඩකුත් දාලා. තද බඩගින්නෙ ඉඳපු මම රොටි පිඟානෙ හැඩ බලන එක නවත්තලා රස බලන්න පටන් ගත්තා.

පලවෙනි රොටි කෑල්ල කටට ලං වෙද්දි ඒකෙන් ආපු සුවඳටම කෙල ගිලෙනවා. ෂහ්, ටොප් එකට තියෙනවා. මිරිස් හොද්දෙ නමටම හරියන්න හොඳ ගාණට සැර. ඒ විතරක්ද බැදපු තුන පහ ටිකකුත් පදමට එකතු කරලා. පරිප්පු හොද්ද නම් ගෙදර හැදුව වගේ රසයි. ඒත් පරිප්පු හොද්දෙ රස තදින්ම දැනෙන්නෙ නැත්තෙ සාම්බාරු හොද්ද ඊට වඩා රස නිසා. එළවළු කෑලි නම් මගේ පිඟානට වැටිලා තිබුණෙ නැති වුනාට පොඩි උකු ගතියකුත් එක්ක එන සාම්බාරු හොද්දෙ රස මිරිස් හොද්දත් එක්ක හරි හරියට ගැලපෙනවා. සැර ගතියත් ලාවට තියෙන සාම්බාරු හොද්දෙන් එන මිශ්‍ර එළවළු රස නම් පරාටා කන්න කියාපු රසක්. පොඩි ප්‍රශ්නෙකට කියලා තිබුණෙ පරාටා රොටි ටික උණුවෙන් තිබුන නැති එක තමයි. එහෙමයි කියල හැබැයි පිඟානෙ පරාටා ඉතුරු වුනේ නම් නෑ.

පරාටා තුන ගිලල ඉවර වෙද්දි බඩ ගින්න කොහේ ගියාද නෑ. මේ ගැම්මටම කිරි තේ එකකුත් බිව්ව නම් හොඳයි කියල හිතපු මම සේවක මිත්‍රයාට කතා කරලා කිරි තේ එකකුයි බිලයි දෙකම ගෙන්න ගත්තා. කටේ සැර ගතිය කැපෙන්නම හදපු කිරි තේකක් මේක. රස නම් පංකාදු පහයි. මම හිතන්නෙ ටින් කිරි වලින් හරි නැවුම් එළ කිරි වලින් හරි තමයි තේ එක හදල තියෙන්නෙ. නැත්නම් හොඳ උකු ගතියකුයි හොඳ රසකුයි දෙකම ගන්න අමාරුයි.

අනුමිතිය

රුපියල් 100කට මෙහෙම කෑමක් කන්න නම් ඉතින් ඉඳලා හිටලා හරි මේවගේ කඩවල් වලට ගොඩ වෙන්න ඕන. අනික අපිට හරියන රසට හිතේ හැටියට කන්න පුළුවන්නෙ. පවුලේ උදවියකට වගේ නම් ආනන්ද හොටෙල් එක එච්චර ගැලපෙන්නෙ නැති වුනාට කොල්ලො සෙට් එකකට නම් කියාපු තැනක් තමයි.


TIP

Try any kind of breakfast

Address

No. 184/9, Ward place, Colombo 07.

Directions

On left hand side of Ananda Bawan.

Contacts

Report Inaccuracy
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment