Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

3/5

Awanhala (Navinna)

422, Highlevel road, Nawinna, Maharagama


Awanhala by Ceylon Hotel Corporation is a really popular food joint at Nawinna that dishes out Sri Lankan cuisine.



ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව (දන්න සිංහලෙන් කියනවනම් සිලෝන් හොටෙල් කෝපරේෂන්) එකෙන් කරන අවන්හල රෙස්ටෝරන්ට් එක ලංකාවේ තියෙන ෆ්රැන්චයිස් එකක්. කොල්ලුපිටිය, කුරුණෑගල, මාලබේ, හංවැල්ල ආදී වශයෙන් තැන් 8ක ම මේ රෙස්ටෝරන්ට් එකේ ශාඛා පිහිටලා තියෙනවා. ඉතින් ඔය අතරින් අද අපි යන්නේ නාවින්නේ අවන්හලට.

තැන

හයිලෙවල්  පාර දිගේ නාවින්නේ විජේරාම හන්දිය පහු කරගෙන නාවින්න රේල්වේ එක පැත්තට යද්දී තමයි මේ අවන්හල මුණගැහෙන්නේ. හරියට ම කිව්වොත් නාවින්න මෙඩිකෙයා එකට පොඩ්ඩක් මෙහා පැත්තේ.

පිට පැත්තෙන් බැලුව ම නම් මේකේ පෙනුම කොල්ලුපිටියේ තැනට වඩා සෑහෙන්න හැඩයි. හොඳට පාකින් ඉඩත් තියෙනවා. ඕනේ නම් ඇතුළේ තියෙන ලී පුටු මේසවල වාඩිවෙන්න පුළුවන්. ඒ නැත්තන් හවස් වරුවට වගේ නම් එළියේ තියෙන ගල් බංකු මේස ටිකෙත් ඉඳගන්න ඇහැකි. හැබැයි කොල්ලුපිටියේ එක වගේ ම තමයි, පිරෙන්න සෙනඟ.

කෑම බීම

කෙළින් ම අපේ ලංකාවේ රහට හදන කෑම තමයි අවන්හලේ තියෙන්නේ. දවල් කෑමට තියෙන්නේ රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස් සහ සප් රයිස්. ඔය සප් රයිස් කියන්නේ මෑතකදී වගේ හඳුන්වලා දුන්නු සොසේජස් සහ ඔම්ලට් එක්ක හදලා දෙන බතක්. අපේ සාරා කොල්ලුපිටියේ බ්‍රාන්ච් එකේදී මේක කාලා තිබුණා. අපේ කරුමෙකටද මන්දා අපි මෙතැනට යද්දී ඔය කෑම බීම සේරම ඉවරයි. ඉතුරු වෙලා තිබුණේ චිකන් රයිස් ඇන්ඩ් කරි ටිකකුයි, ෆ්‍රයිඩ් රයිසුයි. ඒකත් දෙන්න ටිකක් වෙලා යාවි කියලා කිව්වා. මොනවා කරන්නද, ඔය ජාති දෙකෙන් එකක් ගාණේ ඕඩර් කරලා අපි රෙස්ටෝරන්ට් එක කෙළවරේ තිබුණු පුටුවකට බර වුණා.

චිකන් රයිස් ඇන්ඩ් කරි (රු.250) එකට ලැබුණේ සුදු බතුයි, චිකන් කෑල්ලයි, බෝංචි, පරිප්පු, මැල්ලුම් සහ බැදපු මිරිස් කරලක්. මේ කෑම එකේ අවුලක් නැහැ. ඒත් ඔය ගාණට ම (එහෙමත් නැත්තන් ඊට වඩා අඩුවට), ඔයිටත්  වඩා රසට බත් කන්න පුළුවන් කඩවල් අපට කොළඹ අවටින් ඕනේ තරම් මුණගැහිලා තියෙනවා. ප්‍රණීත, කරිමච්, උදුම්බරා ඒ අතරින් කීපයක්. කරි වර්ගවලින් අපට හොඳට ම අල්ලලා ගියේ බෝංචි කරිය තමයි. හොඳ කිරි රසක් මේකේ තිබුණා. මැල්ලුම එහෙම ගොඩක් ෆ්‍රෙෂ්. පරිප්පු හොද්දත් ශේප්. කියන්න තරම් අමුතු රසක් නැහැ. චිකන් එකත් හොඳයි. සාමාන්‍යයෙන් ඔය ගෙදර හදන එකක් වගේ. කුළුබඩු අඩුමකුඩුම සේරම හරියට දාලා හදලා තිබුණා. ඒ මොනවා වුණත්, මුළු කෑම පිඟාන ම සීතලට තිබුණු එක නම් සෑහෙන්න ලොකු අඩුවක්.

හැබැයි අපි ගත්ත චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු.400) එක නම් උණු උණුවේ ම තමයි මේසෙට ආවේ. මොකද මේක එවෙලේමනේ දාලා දුන්නේ. අමුතුවෙන් කියලා දෙයක් නෑ ඉතින්; චිකන් කෑල්ලයි, චිලී පේස්ට් එකයි, චොප්සියයි. බත් එකේ ලොකු තෙල් ගතියක් නැහැ. හීනියට ලියපු කැරට්, ලීක්ස් දාලා තිබුණා. ගම්මිරිස් දාලා තිබුණු නිසා සීසනින් වෙච්ච ගතියක් වගේ ම, ස්පයිසි රසකුත් ආවා. හරියට පිලාවුස්වල හදන ෆ්‍රයිඩ් රයිස් එක වගේ.  චොප්සියේ තිබුණු එළවළු අලුත්. ඒ නිසා රස හොඳයි. පොඩ්ඩක් තද ගතියක් තිබුණට, චිකන් එකත් ගොඩක් රසයි.

මේ කට්ටියගේ මෙනුවේ ෆෘට් ජූස් ගැනත් දාලා තිබුණු නිසා අපි ඒ ගැනත් හොයලා බැලුවා. අවාසනාවකට වගේ ගන්න පුළුවන් වුණේ දිවුල් ජූස් (රු.160) එක විතරයි. හප්පේ! මේකේ උකු ගතිය නම් පොඩ්ඩක් වැඩියි. පුදුම අමාරුවෙන් බීගත්තෙත්. ඒත් සීනි ඒ හැටි දාලා නැති නිසා ස්වාභාවික දිවුල් රස හොඳට ම දැනුණා.  

සර්විස් එක

අවන්හලේ සර්විස් එක වරදක් නැහැ. අපි යද්දීත් මෙතැන කෑමට ආව කට්ටිය හිටියා දහපහළොස්දෙනෙක් ම. සති අන්තයක් නිසාදෝ කොහේදෝ සෙනඟ එන්නේ පෝලිමට. ඒ නිසා ස්ටාෆ් එකේ හතර පස්දෙනා කඩියෝ වගේ වැඩ. තියෙන කෑම ජාති ටික ගැන අහගන්නයි, ඕඩරේ දෙන්නයි ටිකක් වෙලා ගිය එක තමයි පොඩ්ඩක් පරහකට හිටියේ.

අවසාන වශයෙන්

නාවින්නේ අවන්හලේ දවල් කෑම කීපයක් ගැන අපේ අදහස තමයි ඔය. හැබැයි දන්නවද;රුපියල් සීයට, අපේ තාලේ උදේ කෑමක් කන්න විදියක් දැන් තියෙනවා කියලා? මේකත් අවන්හලෙන් මේ ළඟකදී හඳුන්වලා දුන්නු අලුත් වැඩක්. රොටී, රෝස්ට් පාන්, ඉඳිආප්ප, කිරිබත්, ලුණු මිරිස් වගේ සිංහල ක්‍රමේ බ්‍රෙක්ෆස්ට් දැන් අවන්හලෙන් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ ම හවස් වරුවට ගියොත් ආප්ප, පිට්ටු එහෙමත් කන්න ඇහැකි. මහරගම පැත්තෙන් යන එන වෙලාවක එහෙනම් ගිහින් බලන්නකෝ.

Address

422, Highlevel road, Nawinna, Maharagama

Contacts

Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Rice And Curry Fried Rice

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment