Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Awanhala Restaurant (Bentota)

Warahena Bentota, Bentota, Sri Lanka.


වෙරළට ළං වෙන්න හදල තියෙන බාර් එකයි ඒක වටේට තියෙන පොල් අතු හට් ටිකයි නම් ඉර බැහැගෙන යන වෙලාවක නිවිහැනහිල්ලෙ බියර් උගුරක් තොල ගාන්න නියමයි.



අළුත් අවුරුදු නිවාඩුවට ගමේ ගියපු අයියයි මායි තේ වතු වල ඇවිදලා, ඇලේ දොලේ නාලා, කඳු නැගල, බඩ ගිනි වෙලා ගෙදර ගියාම ආච්චි හදල දෙන රතු හාලේ බතුයි එළවළු ව්‍යංජන දෙකයි එක්ක බඩ පැලෙන්න බත් කෑවෙ පුදුම සන්තෝසෙකින්. මතක් වෙද්දිත් කටට කෙල උනනවා. ආච්චිට සමු දෙන්න නම් දුකයි තමයි. ඒත් සඳුදා රාජකාරි වැඩ වලට යන්න තියෙන නිසා කොළඹ එන්නත් ඕන. ඉතින් අයියයි මායි සෙනසුරාදා උදෙන්ම ගාල්ලෙන් පිටත් වෙලා ගාලු පාර දිගේ කොළඹට එන්න හිතුවෙ අපේ ළමා කාලයෙ මතකයන් ගොන්නකුත් අළුත් කරගෙන.

පාන්දරින්ම පිටත් වුන නිසා උදේ 10,11 වෙද්දි අපි දෙන්නට හොඳටම බඩ ගිනියි. තැන් තැන් වල නවත්ත නවත්ත වෙරළෙ හැඩ බල බල ආපු නිසා දන්නෙම නැතුව වෙලාවත් ගිහින්. ඉඳුරුව පහු කරල බෙන්තොට කිට්ටුවට එද්දි එක පාරටම අයියගෙ වාහනේ නතර වුනේ මුහුද පැත්තට මුහුණලා තියෙන අවන්හලක් ලඟ.

''මෙතන කෑම හොඳයි බන්. හැබැයි ටිකක් ගණන්. සුද්දන්ට තමා තියෙන්නෙ'' අයිය වාහනෙන් බහින ගමන් මට කිව්ව.

''අවුලක් නෑ. හැමදාම කන්නෑනෙ. අද කමු සන්තෝසෙටත් එක්ක'' අයියට උත්තර දුන්නු මම අවන්හලේ පඩිපෙල බැහැගෙන ඇතුලට ගියා.

හරිම ලස්සන තැනක්. මුහුදෙ රළ බිඳෙන සද්දෙ නැත්නම් හරිම නිස්කලංකයි. ලොකු වැටකෙයියා ගාලක් සුද්ද කරල තමයි අවන්හලේ භෝජනාගාර ටික හදල තියෙන්නෙ. වෙරළට ළං වෙන්න හදල තියෙන බාර් එකයි ඒක වටේට තියෙන පොල් අතු හට් ටිකයි නම් ඉර බැහැගෙන යන වෙලාවක නිවිහැනහිල්ලෙ බියර් උගුරක් තොල ගාන්න නියමයි. මුළු මනින්ම එළිමහන් අවන්හලක් නිසා කැෂියර් එකක් කියල වෙනමම නෑ. මුළුතැන්ගෙයි ඉස්සරහ විවෘත වෙලා තියෙන දිග කවුළුවෙන් තමයි කෑම ඇණවුම් කරන්න තියෙන්නෙ.

අපි අවන්හලට ආවෙ උදේටත් නැති දවල්ටත් නැති වෙලාවක නිසා ඒ වෙලාවෙ ගන්න තිබුනෙ ෆ්‍රයිඩ් රයිස් විතරයි. අයියයි මායි ඉඳපු බඩ ගින්නෙ හැටියට රයිස් එකක් නම් ගේමක් නෑ. කෝකටත් කියල අවන්හලේ මෙනුවත් බලලම තමයි අපි Mixed seafood fried rice එකකුයි (රු. 530) Mixed meat fried rice එකකුයි (රු. 480) ඇණවුම් කලේ. මෙනුව බලද්දි තමයි අපිට තේරුණේ අනිත් කෑම ජාති තිබ්බත් අපිට කන්න ටිකක් අමාරුයි කියල. මොකද ගාණ සෑහෙන්න සැරයි. හැබැයි සේවක මිත්‍රයා නම් 'මේ අවන්හලේ කෑම තියෙන්නෙ සුද්දන්ට හරියන ගණන් වලට' කියල කලින්ම කියලයි තිබ්බෙ. හිතන්නකො Rice and curry එකක් රු. 1000න් එහා පැත්තෙ. කකුළුවො 4ක් රු. 4000ක් විතර. දුක කියන්නෙ අයිස්ක්‍රීම් බෝල 3ක් රු. 300කටත් වැඩියි. ඇයි පොඩි බියර් කෑන් එකක් රු. 400ක්ලු. අපරාදෙ කියන්න බෑ රු. 1000ට අඩුවෙන් ගන්න තිබ්බෙ ෆ්‍රයිඩ් රයිසුයි කොත්තුයි විතරයි.

මෙනුව බැලිල්ල පැත්තකට දාපු අපි දෙන්න ගින්දරින් වට වෙච්ච තාච්චියක අපි ඉල්ලපු රයිස් දෙක හැදෙන අපූරුව බලන් හිටියෙ හරිම ආසාවෙන්. 'ෆ්‍රයිඩ්' කියන වචනෙටම හරියන්න රයිස් එක හැදෙද්දි මුළු වටපිටාවම සුවඳයි. 'ශ්‍රී ලංකන් චයිනීස්' ක්‍රමයට හැදෙන රයිස්වලට අපි කොහොමත් කැමතියිනෙ.

ඇණවුම් කරල විනාඩි 10ක් යන්නත් කලින් මේසෙට ආපු රයිස් දෙක බැලූ බැල්මට එච්චර ලස්සන නැති වුනාට සුවඳින් නම් උපරිමයි. බල බල ඉන්න දෙයක් නෑ. අයියා සී ෆුඩ් රයිස් එකට වැඩේ දෙන්න පටන් ගන්න අතරෙ මම චිලී පේස්ට් ටිකකුත් එකතු කරගෙනම මික්ස් මීට් එක රස බලන්න පටන් ගත්තා. පිස්සු හැදෙන රසක්නෙ තියෙන්නෙ. සම්බා හාලේ බතෙන් හදපු මෙච්චර රස ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවමද කොහෙද. 'අවන්හල රෙස්ට්' එකේ කෑම වල පිට ඔපේ නැති වුනාට රස නම් ටොපේ ටොප්. තෙල් ගතිය සෑහෙන්න අඩුවට තමයි රයිස් එක හදල තිබුණෙ. හීනියට ලියපු කැරට්, ළූණු කොළ අතරට කංකුං ටිකකුත් එකතු කරලා. සැර ගතිය ටිකක් අඩු වුනාට රසම රස චිලී පේස්ට් එකෙන් නියම ගාණට සැර හදා ගන්න පුළුවන්නෙ.

රයිස් එකේ සුවිශේෂීම දේ තමයි එකතු කරල තිබුණ මස් කෑලි ප්‍රමාණයයි ඒව හදල තිබුණ විදියයි. ස්වාභාවික රස උපරිමෙන්ම තියෙන්න ලුණු ඇඹුල් විතරක් දාලා පදම් කරලා තම්බපු මස් ගිණි දැල්ලට අල්ලලා ලාවට ෆ්‍රයි කරල තිබුණෙ කටට කෙළ උනන රසක් එන්න. පිච්චුණ පාට නැති වෙන්නත් පිච්චුණ රස ඉතිරි වෙන්නත් කොහොම හදලද මන්දා. සාමාන්‍යෙයන් මෙයාලගෙ මික්ස් මීට් එකට හරක් මසුත් දානවලු. ඒත් මම කන්නෙ නැති නිසා ඒවෙනුවටත් කුකුල් මසුයි ඌරු මසුයි වලින් දාගත්තා. කොටු හැඩේට අඟලෙ අඟලෙ වගේ කෑලි වලට කපපු මස් කෑලි තොගේ කාලා ඉවර කරගන්න බැරි වුනු මම අන්තිමට කකුල් දෙක ලඟ දැවටි දැවටි ඉඳපු පූසටත් කෑලි දෙක තුනක් දුන්නා. හිතා ගන්නකො එක බත් කට කට මස් කෑලි දෙක ගාණෙ විතර තිබුණ කියල. ඇත්තම කියන්නම් යාළුවනේ මෙච්චර මස් දාලා හදපු රයිස් එකක් මම කෑවමයි.

අයියගෙ සී ෆුඩ් රයිස් එකේ තිබුණ ඉස්සසො, දැල්ලො, මාළු කෑලි ටිකත් එමම තමයි. හැබැයි ඉතින් අයියගෙ පිඟානෙ නම් එක බත් ඇටයක් නෑ ඉතුරු වෙලා. වෙලාවට මම කල් තියාම ඉස්සෙක් දැල්ලෙක් ඉල්ලගෙන රස බැලුවෙ. මික්ස් මීට් එකේ මස් කෑලි ෆ්‍රයි කරපු විදියටම තමයි ඒ ඉස්සො දැල්ලො ටිකත් හදල තිබුණෙ. හැබැයි මික්ස් මීට් එකට වඩා සී ෆුඩ් එක නම් රසයි. ඉස්සො, දැල්ලො වල මතු පිට විතරක් ෆ්‍රයි කරලා ගත්තාම එන රස නම් කියල නිම කරන්න බෑ. ඒ විදියට ෆ්‍රයි කරපු ඉස්සෙක්ගෙ සෝස් ටිකකුත් ගෑවිලාම හැපෙන කොට... ආයෙ සුපිරිම තමයි.

උගුර ලඟට එනකම් ෆ්‍රයිඩ් රයිස් දෙක කාපු අයියයි මල්ලියි සීතල වතුර වීදුරුවකුත් බොන ගමන්ම පහුගිය දවස් දෙකේ ලබපු සුන්දර අත් දැකීම් ගැන පොඩි කතාවකට වැටුණෙ වට පිටාවෙ තිබුණ නිදහස් බව නිසාමයි. කතා බහ අතරෙ ආයෙත් වෙරළ පැත්තට ඇවිදන් ගියපු අපි දෙන්න ටික වෙලාවක් වැටකෙයිය ගාලක් ලඟ ඉඳගෙන ඉඳල ආපහු එන්න ලෑස්ති වුනේ ඈතින් එන වැහි වලාවෙන් බේරෙන්නත් ඕන නිසා.

බෙන්තර Awanhala restaurant එකේ තියෙන නිස්කලංක ගතියයි වෙරළ තීරයේ තියෙන ලස්සනයි නිසා විදේශිකයො නම් ගොඩක් දෙනා මෙතනට එන්න පුරුදු වෙලා තියෙනව. ලාංකියො නම් ගොඩක්ම සුළු පිරිසක් තමයි මෙතනට එන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි. කෑම වල ගාණ සෑහෙන්න වැඩි නිසා. කොහොම වුනත් අතමිට ටිකක් සරු උදවියට නම් බෙන්තොට 'අවන්හල රෙස්ට්' කියන්නෙ රසම රස මුහුදු ආහාර ටිකක් නිදහසේ රස බලන්න පුළුවන් නියමම තැනක්.


TIP

Try Mixed seafood fried rice.

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment