Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

5/5

Backpackers Paradise

Ella


Awesome Boho campsite with a warm welcome, superb view and lot of things to do at a very less price



ඇඳිරි වැටුණු ඇල්ල වැහිපොදෙන් සීතල වෙලා... මීදුමක් එක්ක එන මන්දාරමකුත් හෙමින් සැරේ පාත්වෙන්නයි මානබලන්නෙ. ඒ අතරට, තොරතෝංචියක් නැති අවන්හල්වල සිංදු පදමාලා... එක පිට එක, එක පේළියට! යාළුවයි මායිත් මධුවිතෙන් සුර ලෝකයට ඔන්න මෙන්න හිටියෙ. හැරත් අපිට මග දි මුණගැහුණෙ දකුණු අප්‍රිකානු සංචාරක යුවලක්. එයාලත් අපේ පදමට ම නොවුණට ඒ කිට්ටුවට ම වගේ ඇවිල්ල. ඒ නිසාමයි මං හිතන්නෙ වචනෙන් දෙකෙන් අපි හොඳ මිත්‍රයො බවටත් පත්වුණේ. කොහොම කොහොම හරි ඒකෙන් අන්තිමට, එයාලගෙ ආරාධනාවෙන් අපි බියර් බොනව, අපේ ආරාධනාවෙන් එයාලා බියර් බොනව. ඒ රටේ, එයාලගෙ පෞද්ගලික විස්තර අපිට කියනව. අපිත්... ඇර නොතිය හොඳ ඉංග්‍රීසියෙන්...

ඔය විදියට ඉතින් හෝරා දෙක තුන ගියා කාටවත් දැනුණෙ නෑ. කොටින්ම කියතොත් ඩේවිඩ්ගෙ වයිෆ්ට තමයි ෆෝන් එක අරගෙන බලන්න හරි මතක්වුණේ.

‘11යි’

එයාලට යන්න වෙලාව හරි මගෙ හිතේ. අනික අපි වගේ නෙවෙයිනෙ, ආපු ගමනෙ උපරිම ප්‍රයෝජන ගන්න එයාලා පහුවෙනිදත් උදෙන් ම නැගිටල ඇවිදින්න යන්න ඕනනෙ. 

එක වගේ හදවත්වල ලෙන්ගතුකම කියන්නෙ යාළු... ලෝකෙ කොහේ හිටියත් බොක්කට ම සෙට්වෙනව. එයාලටත් දුකයි සමුගන්න, අපිටත් දුකයි සමුදෙන්න. අන්තිමට ඒක බදාගෙන, සුබපතල ඈතට යනකම් පාරට බැහැල බලාගෙන ඉන්න තරම් සංවේදී වෙච්ච වෙන්වීමක් වුණා.

“හ්.. ම…’ හරාගෙන් ලොකු හුස්මක් පහළට.

“මාර මිනිස්සු නේ බං. ආශ්‍රය කරන්නත් සතුටුයි අවංකයෙන් ම ඒ වගේ මිනිස්සු”

ඉතින්…

ඊටපස්සේ... අපේ ගමනවුණේ මීටර 100ක වගේ ළඟකට යෑමක්. ඉන්ටනෙට් එකෙන් බලල, ආස හිතිල, දෑහින් දැකගන්නකම් ඉවසිල්ලක් නැතුව ඉඳපු තැනක්. වැඩේ කියන්නෙ ඒ කුතුහලය දෙගුණ තෙගුණ වුණානෙ අතුරු පාරට හැරිච්ච තැන ඉඳන් ම පේන්න ගත්ත ලයිට් එළි නිසා. ඉතින් මහන්සි නොබල දෙන්න ඔන්න අඩියට දෙකට එතනට.

කිට්ටු කරල බැලින්නම්නෙ!

ලී කණු, අතු රිකිලි, උණ ගස්, ලණු, ලන්තෑරුම්... එතකොට ඩ්‍රීම් කැචර්ස් හරි හරියට දාලා හැඩකරපු ලස්සන පිවිසුමක්. කොටින්ම කියතොත් බොහීමියන් ලෝකයකට ආවා වගේ. ඊටත් ඇතුළ් වෙද්දි ම හමුවෙන පොඩි මිදුලෙ තිබ්බ ගිනිමැල රවුමත්..

‘ෂැහ්! අපරාදෙ එදා වැස්සෙ’ කියල හිතුන හදවතින් ම.

පුංචි මිදුලට උඩින් වම්පැත්තට වෙන්න තිබ්බෙ ලීවලින් හදපු ලොකු විවෘත කොටේජ් එකක්. මගෙ හිතේ භෝජනාගාරය වෙන්න ඕන. කොහොමහරි එතන යාළුවො හතරදෙනෙක් හිටිය කැරම් ගගහ. ඒ... ඉඳපු අයගෙන් එක්කෙනෙක් තමයි, අපේ කටහඬටද කොහෙද, දඩිබිඩියට පහළට ආවෙ.

“අයියා, අර... බුකින්ග්…?”

“ඔව් ඔව් මල්ලි. ඒ අපි තමයි”

“ආනේ... මං හිතුව එන එකක් නැතිවෙයිදවත් කියල. ඇයි ඉතින් වැස්සනේ... එන්න අයිය. මම ටෙන්ට් එක ලෑස්ති කරල තියෙන්නෙ. ඔයාලා... බඩුටික ඇතුළෙන් තියල, වොෂ් දානවනම් එහෙමයි…

තේකක් හදන්නද?”

“එපා එපා මල්ලි. දැන් තේ එපා. අපි හොඳ පදමෙ ඉන්නෙ. ඔහොම්මම වොෂ් දාලා නිදාගන්නම්”

යාළුවට වචනෙ දීලා…

අනික් පැත්ත හැරෙන්න හම්බවුණේ නෑ යාළු. මේං අපේ එකා ඇතුළෙ. මාත් ඉතින් බෑග් එක මුල්ලෙන් තියල ඔන්න දැම්ම ඔලුව ඇතුළට. 

“හප්පට.. මේ බාලදක්ෂ ටෙන්ට්නෙ බං. මේවා සුපිරි ඈ... සීතලක් එන්නෙත් නෑ ලේසියකට. ඒ ඉඩත් තියෙනෝ බං හොඳ හැටියට”

“අඩේ සිරාවටම ඈ... උබ ටෙන්ට් එකක් කියද්දි මම හිතුවෙ අර අපේ බැක්පැකින් ටෙන්ට් වගේවත්ද දන්නෑ කියල.

මෙහ්... ඒවයින් වැඩක් නෑ. මම නිදි. උබ ඕන මගුලක් කරගෙන ඇවිත් ඇලවෙයන්”

හොඳ ඝනකමට තිබ්බ බ්ලැන්කට් එක ඇතුළට, යාළුව එක තප්පරේට. හැරත් තඩි මෙට්ටෙත් එක්කනෙ.....

පුරුද්ද කියන්නෙත් මහ අමුතුම දෙයක් අප්ප. ඊටත්... ඉර එළියක් මතුවෙද්දිම ඇහරෙනව කියන්නෙ? ඒක ඊට වඩා මහ අමුතු දෙයක්!

ටෙන්ට් එකේ දොර ඇරපු ගමන් ඉස්සරහට පේන පොඩි තේ වතු කෑල්ලෙ එක කුරුලු විමනායයි. වැස්ස නිසා කොළ ම කොළ පාටට වටපිටාවත් හරිම ලස්සනයි. සත්තකින් ම කියනව නම් එළියට බැහැල අනිවාර්යයනේ ම බලන්න ඕනමයි.

ඒ නිසාමයි...

මම පැය බාගයක් විතර යනකම් හිටියෙ වටපිටාවෙ ඇවිද ඇවිදමයි. ඒ අතරට ලොකුවට, සරලව හදාපු වැසිකිළි නානකාරම පැත්තෙත් ගිහිල්ල මූණකට හෝදගෙන එහෙමත් ආවා. ඇවිල්ලා... මල්ලි දුන්න රස තේකත් බීලා, කම්මැලිකම යන්නත් එක්ක එයාගෙ පුංචි බලුපැටව් දෙන්නව ළඟට ගත්ත හුරතල් කරන්න.

බෝලගෙඩි වගේ... සීතලට, පිම්බිලා…

කලින් යන්න කියල හිතාගෙන හිටියට.. ඒ වටපිටාවත් එක්කයි, අපූරු කෑම්පින්ග්, බොහේමියන් සෞන්දර්යයත් එක්කයි... ඒක කෙරුනෙ නෑ. යාළුව මේ තැන පටන් ගත්ත විස්තර, ආගිය තොරතුරු, සියල්ල කතාකර කර ඉඳලයි එළියට බැස්සෙ. ම්… දහයත් පහු වගේ?

ඒ බැස්සත් ඉතින් ඇල්ලට නම් සමුදෙන්න හිතක් නෑ අප්ප. ඇයි ඉතින් අවුරුදු කීයක මතකයන්ද…

‘කමක් නෑ. ළඟදිම ආයෙත් එනව’ හිත කොනේ පුංචි බොරුවක් මං ම තියාගෙන.. හෙමින් සැරේ අඩිය දෙක ඉස්සරහට..!


TIP

Just try one night and...

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment