Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Upper Ravana Falls (Ambadandegama)

Uva Province


Bambaragama falls is the mother water fall of Ravana falls. It is at the top of Ravana falls.



සිහිනෙකුදු නොසිතනවා විශ්වාසයි. දිය ඇල්ලක් වෙයි. පාමුළ නොවෙයි.

පැවසූ සැනින් සිතට නැගෙනුයේ ඉමක් කොනක් නොමැතිව කඩා හැලෙන දිය ඇල්ලක ස්වරූපයකි.

සැබවින්ම සිදුවන්නේ වෙනකකි. ඔබ අප කවුරුත් හොඳින් දන්නා කියන රාවණා ඇල්ලෙහි මුදුනත ඇල්ල නැතිනම් මව් ඇල්ල බඔරගම ඇල්ල නම් වේ. එහි පාමුලට පිවිසීමට මං පෙතක් නොමැත. මං පෙතක් ඇත්තේ ඇල්ල මුදුනතට පිවිසීමට පමණි. පාමුල ආසන්නයට හෝ පිවිසීමට කැමැත්තේ නම් එය නිතැතින්ම ජීවිතයත් මරණයත් අතර සටනකින් යුත් කඳු නැගීමක් වෙයි.

ඉදින් ඒ පිළිබඳව පැවසීම පසෙකලා රමණීය භූ ලක්ෂණයන්ගෙන් හෙබි බඹරගම ඇල්ල මුදුනත ගල් තලාවත් ගල් ගුහාවත් කුඩා දිය ඇල්ලත් ගැන පැවසීම ඉතා රසවත්ය. මන්ද යත් එය කඳවුරු තනන්නන් සඳහාම ස්වභාවධර්මය විසින් දායාද කල අපූරු බිම් කඩක් වීමයි. ඒ හැරත් පූනාගල කඳු පන්තියෙන් උපත ලැබ අඹදණ්ඩේගම ඔස්සේ ගලා එන බඹරගම ඔය, බඹරගම ඇල්ල නමට නැම්මක් ගන්නා ස්ථානයෙහි වන අපූරු භූ පිහිටීම්හි අද්භූතත්වය ඊටත් වඩා රසවත්ය.

දිය ඇල්ල දෙපසින් වන උස් ගල් කුළු අප ඩැහැ ගැනීමට මෙන් මුඛ අයා සිටිද්දී හිරු කිරණින් ජීවය ලැබූ, ගල් තලාව මත වන දිය සීරාවෙන් අප දෙසට ඇදී එන සර්පයින්දෝ විටෙක සිතේ. කුඩා දිය ඇල්ල මුදුනත විසල් රුක් කිහිපයෙහි සෙවනැල්ලද ඊට දෙවැනි නොවී රාක්ෂ වෙස් ගෙනය. ගල් පර වල හැපෙමින් එන ඔය පහරෙහි රළ බිඳෙන හඬ මේ යක්ඛ රංගනයට රිද්මය සපයයි. කුඩා දිය ඇල්ල පාමුල විසල් තටාකයක් වුවද එය ඉතා ගැඹුරු බැවින් දිය නෑම බෙහෙවින්ම අනතුරු දායකය. නමුදු ඊට මෙපිටින් වන කුඩා තටාක දෙක නම් ඊටම තැනුනු ඒවා වැනිය. බඹරගම ඇල්ලෙහි ශෛලමය මුඛය තරමක් දුරට වියලී ගොස් තිබුණද විසල් තටාකය ඔස්සේ එන ජල පහර දසත හිරිකඩ විහිදුවමින් ඉන් පිටතට පනින්නේ මනස්කාන්ත දේ දුන්නක් අවකාශයෙහි නිමවමිනි.

දිය ඇල්ලෙහි මුදුනත වන කුඩා ගල් ගුහාව අපූරු තාවකාලික නවාතැනකි. අව් වැසි වලින් ආරක්ෂාවී හතර පස් දෙනෙකුට වුවද සුවසේ විසිය හැකි වන අයුරින් පිහිටා ඇති එම ගල් ගුහාවට ඉහලින් ඉදිරියට නැමී බර වූ බෝ අතු වලින් සෙවණ වී ඇත. ගුහා භූමියෙහි ඇති පැතලි භාවය සුව පහසු රාත්‍රී නින්දකට අපූරු සයනයකි. ඒ හැරුණු කොට තරමක් පසෙකට වන්නට වන ගල් ආසනයක්ද වෙයි.

අව් රශ්මිය කෙතරම් සැඩ වුවද දහදිය බිඳුවක් හෝ නොදමන තරමට සිසිල් වාතාශ්‍රයෙහි සුපිරිසිදු භාවය නාස් පුඩු අගට දැනෙනුයේ ගතත් සිතත් ඉපිළෙන ආශ්වාදයකින් මන කළඹමිනි. සුළඟට ලෙලදෙන බෝ පත් වල සිලි සිලි හඬත් අතරින් පතර නැගෙන විහඟ නාදයත් කෙමෙන් කෙමෙන් පහව යද්දී මළ හිරු පූනාගල කඳු පාමල සැඟව ගොස්ය.

සැබවින්ම එය ගුප්ත ජනකය. රාත්‍රී අන්ධකාරය හමුවේ සිතට නැගෙන අද්භූතත්වය හෙළ යක්ඛයිනගේ විමානයක වසන්නා සේ හැඟුම් දැන වීමට සිතට වද දෙයි. ඒ කෙසේ වුවද බඹරගම ඇල්ල මුදුනත ගල් තලාව, හෙළ ඉතිහාසය නොසෙවූවකුට හෝ නොදන්නේකුට නම් සොබාදම් මාතාවට තුරුළුව පහන් කරන අපූරු රැයක නොමියෙන මතකයක් වනු නිසැකය.

පිවිසීම

ඇල්ල, වැල්ලවාය මාර්ගයෙහි ඇල්ල සිට කිලෝමීටර නවයක් පමණ ගිය තැන්හි මුණ ගැසෙන රාවණා ඇල්ලෙහි සිරි නරඹන ඔබ ඉන් පසුව වැල්ලවාය මාර්ගයෙහි කිලෝමීටර හතරකට ආසන්න දුරක පිහිටා ඇති 'අඹ' වතුයායෙහි පිවිසුම් මං සංන්ධිය වෙත පැමිණිය යුතුය. එතැන් සිට 'අඹ' නැවතුම්පළ තෙක් වනුයේ කිලෝමීටර දහයකට ආසන්න දුරකි. අඹ නැවතුම්පළෙහි පිටුපස තේ වතු යාය මධ්‍යයේ වැටී ඇති පටු අඩි පාර ඔස්සේ එහි අවසානය තෙක් ගමන් කරන ඔබ ඉදින් පිවිසෙනුයේ සාමාන්‍යය වන ගහනයක් තුලටය. නමුදු එම අඩි පාර දිගින් දිගටම ඇති බැවින් සැකයෙන් තොරව ඒ ඔස්සේම ඉදිරියට ගමන් කිරීමට ඔබට හැකි වනු ඇත.

එලෙසින් කිලෝමීටර භාගයකට ආසන්න දුරක් ගිය තැන්හි ඔබ හට බඹරගම ඔය මුණගැසේ. එතැන් සිට 'U' වංගුවක් සහිතව දකුණු පසට පිහිටා ඇති බොරළු පාර ඔස්සේ ඉවුරට සමාන්තරව ගිය පසු කිලෝමීටර භාගයකටත් අඩු දුරකදී හමුවන යකඩ පාළම ආසන්නයෙන් ඔය ඉවුරට පිවිස තවත් මීටර තුන්සියයක පමණ දුරක් ගමන් කළ යුතුය. එතැකින් මුණගැසෙන කුඩා දිය ඇල්ල පසෙකින් වන ගල් තලාව ඔස්සේ පහළට බැස ගන්නා ඔබට අපූරු වූත් ගුප්ත වූත් බඹරගම ඇල්ලෙහි මුදුනත රස පහස විඳ ගත හැකිවනු ඇත.

දේශගුණය

වසරේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාල පරාසය තුල ඇද හැලෙන නිරිත දිග මෝසම් වර්ෂාව හැරුණු කොට බඹරගම ඇල්ලෙහි සැඩ පහර වර්ධනය කරනුයේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා ඇද හැලෙන අන්තර් මෝසම් වර්ෂාවන් පමණි. කෙසේ වෙතත් සෑම වසරකම පාහේ ජනවාරි, පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාසයන් හිදී ඇතිවන වියළි කාළගුණය නිසාවෙන් බඹරගම ඇල්ලෙහි ජල පහර අවම මට්ටමක පවතී. එබැවින් වසරේ මුල් කාර්තුව තුල බඹරගම ඇල්ල මුදුනත ගල් තලාව කඳවුරු බැඳිමට ඉතාමත්ම යෝග්‍යවේ.

ජෛව විවිධත්වය

නිය දිගු මා හික් මීයා, කැළෑ හික් මීයා, රිළවා, රන් උණහපුළුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන ක්ෂීරපායී සත්ව විශේෂයන් ද

වළි කුකුළා, පොම්පදෝරු බටගොයා, ගිරා මලිත්තා, අළු කෑඳැත්තා, ලේ පිට මහ කෑරලා, රත් මූණත් කොට්ටෝරුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන පක්ෂි විශේෂයන් ද

Bird wing, Tree nymph, Tamil bush brown, Jewel four ring සහ Black flat (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන සමනළ විශේෂ 140කට ආසන්න ප්‍රමාණයක් ද

දඟර දණ්ඩා, සිවුරුහන් ලන කටුස්සා, පිනුම් කටුස්සා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන උරග විශේෂයන් ද ආදී වශයෙන් වන ජෛව විවිධත්වයක් අධ්‍යයනය කිරීමටද බඹරගම ඇල්ල අවට පරිසරය කදිම තෝතැන්නකි.


TIP

Be very careful at the top.

Address

Uva Province

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment