Artwork for Sampath Top - April 2018 (2)

4/5

Bambarakanda Falls (Kalupahana)

Weerakoon Village, Kalupahana


ඇත්තටම මේක තනි දවසක සංචාරයක්. බඹරකන්ද දිය ඇල්ල විතරක් නෙවෙයි ලංකා ඇල්ල ඇතුළු ඝන කැළේ හැංගිලා තියෙන තවත් දිය ඇලි දෙක තුනකම සුන්දරත්වය අත්විඳින්න මේ සංචාරයෙදි පුළුවන් වෙනව.



ලංකාවෙ උසම දිය ඇල්ල ? 'බඹරකන්ද'.

පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් හරි උත්තරේ ලැබෙනවා නිසැකයි. ඒත් බඹර කන්ද දිය ඇල්ලෙ සුන්දරත්වය අත් විඳින්න ගිහින් තියෙන්නෙ අපි අතරින් කීයෙන් කීදෙනාද?

ඇත්තටම මේක තනි දවසක සංචාරයක්. බඹරකන්ද දිය ඇල්ල විතරක් නෙවෙයි ලංකා ඇල්ල ඇතුළු ඝන කැළේ හැංගිලා තියෙන තවත් දිය ඇලි දෙක තුනකම සුන්දරත්වය අත්විඳින්න මේ සංචාරයෙදි පුළුවන් වෙනව. කොළඹ - බදුල්ල, A4 ප්‍රධාන මාර්ගයේ කොළඹ ඉඳන් කිලෝමීටර 172කට ආසන්න දුරකින් තමයි කළුපහන මංසන්ධිය පිහිටල තියෙන්නෙ. 99 බස් රථයකට ගොඩවෙලා හරි පෞද්ගලික වාහනයකින් හරි මේ ගමන යනව නම් පැය හතරක්, හතරහමාරක් විතර යාවි. බස් එකේ යන අයට නම් කළු පහන හන්දියෙන් බැහැල මීටර 200ක විතර දුරක් බදුල්ල පැත්තට ගියාම තමයි වම් අත පැත්තෙ තියෙන බඹරකන්ද දිය ඇල්ලෙ පිවිසුම් මාර්ගය හමුවෙන්නෙ. මේ මාර්ගය ඔහිය නගරය දක්වාම පිහිටල තිබුනත් බස්රථ ධාවනයක් නම් පේන්න නෑ. ඉතින් පෞද්ගලික වාහනයක ගමන් කරන කෙනෙක්ට දිය ඇල්ල පාමුලට කෙලින්ම යන්න පුළුවන් වුනත් අනිත් අයට නම් ඉතිරි කිලෝමීටර පහක විතර දුර යන්න වෙන්නෙ පයින්. එහෙමත් නැත්නම් රු. 300ක වගේ මුදලකට කුලී ත්‍රී රෝද රථයක් ගන්න වෙනවා.

කොහොම වුනත් වීරකෝන් ගම මැදින් තියෙන මේ දුර පයින් ගමන් කරන එක නම් හරිම අපූරු අත්දැකීමක්. මොකද ලංකාවට ආවේණික අඳුරු නිල් මැසිමාරා වගේ කුරුළු විශේෂ විශාල ප්‍රමාණයකුත් Bird Wing, Tree Nymph, Jewel Four Ring, Black Flat වගේ සමනල විශේෂ විශාල ප්‍රමාණයකුත් දැක ගන්න පුළුවන් වෙන නිසා. ඒ විතරක් නෙවෙයි හිමිදිරි උදයෙම මේ ගමන පටන් ගත්තොත් කුළුඳුල් හිරු කිරණින් දිදුලන හපුතලේ, බඹරගල කඳු පන්තියෙත් වැලිහේන කඳු පන්තියෙත් රමණීයත්වය අත්විඳින්නත් පුළුවන්. අළුයම මීදුමෙන් වැහිල ගියපු මේ කඳු පන්තිවල හිරු උදාවත් එක්ක මතුවෙන හරිත වර්ණයත් නාස් පුඩු අගට දැනෙන මිහිකත සුවඳත් ඒ අත්දැකීමෙ රසවත් බවට එකතු කරන්නෙ අපූරු ආශ්වාදයක්.

ගමනෙ අවසාන කිලෝමීටරයෙදි විතර තමයි දිය ඇල්ල පේන්න පටන් ගන්නෙ. පාගමනක් නම් විඩාව නිවාගන්න රොටියක් කාලා තේ කහට උගුරක් බොන්නත් ඕන තරම් කඩ මග දිගට හමුවෙන නිසා බයක් සැකක් නැතුව ගමන යන්න පුළුවන්. දිය ඇල්ල පිවිසුමෙන් රු. 20ක වගේ ඇතුල් වීමේ ගාස්තුවක් අය කරන්නෙ අවට පරිසරයෙ නඩත්තු කිරීම් කටයුතු වලට. එතැනින් පටන් ගන්න පාගමන ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වගේ ගස් වලින් පිරුණු කැලයක් මැද්දෙන් වැටුණු අඩි පාරක තමයි පිහිටල තියෙන්නෙ. ඒත් අවාසනාවට අවසානයෙදි පිවිසෙන්න වෙන්නෙ පයිනස් කැලේකට. ගල් අල්ලල හදල තියෙන පඩි පෙල දිගේ මීටර 100ක විතර දුරක් ගියාම ඒ රමණීය, ධැවැන්ත දිය ඇල්ල පාමුලට ලඟා වෙන්න පුළුවන්.

වේලි ඔයේ දිය දහරින් පෝෂණය වෙන බඹරකන්ද දිය ඇල්ලෙ උස අඩි 863ක්. මීටර වලින් ගත්තොත් මීටර 263ක්. බඹරකන්ද ඇල්ල ලංකාවෙ උසම දිය ඇල්ල වගේම ලෝකයේ 299වැනි දිය ඇල්ල. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1110ක් ඒ කියන්නෙ අඩි 3642ක් විතර උසක පිහිටල තියෙන මේ දිය ඇල්ලට උඩින් පිහිටල තියෙන්නෙ උඩුමේරිය වතු යාය. හෝර්ටන් තැන්නෙන් පටන් ගන්න වලවේ ගඟ ඔහිය නිම්නය හරහා ගලාගෙන එද්දි බෙදෙන අතු ගංගාවක් තමයි වේලි ඔය කියන්නෙ. සොබාදහමෙ අපූර්වත්වය කියන්නෙ බඹරකන්ද දිය ඇල්ල හැඩ කරමින් කඩා හැලෙන මේ වේලි ඔය කළුපහන නිම්නය පහු කරන ගමන් ආයෙත් වලවේ ගඟට එකතු වෙනව.

බඹරකන්ද ඇල්ල පාමුල තටාකය වතුර ටිකක් නාගන්න කියාපු තැනක්. හැබැයි දිය පහර කෙලින්ම කඩා හැලෙන ගල් කුළු ලඟට යන්න එපා. එතන සෑහෙන්න ගැඹුරුයි වගේම වේගයෙන් වැටෙන දිය දහර නිසා නිරන්තරයෙන් පවතින දිය සුලිත් බහුලයි. බැලූ බැල්මට පේන්නෙ නැති වුනාට අවදානමක් ගන්න ඕන නෑනෙ. ගොඩක් ආරක්ෂිතව දියේ ගිලෙමින් සීතල, පිරිසිදු වතුර ටිකක් නාගන්න ඊට ටිකක් මෙපිට ඉඳන් පුළුවන්. දිය ඇල්ලෙ සුන්දරත්වය අත් විඳල හොඳට නා කියා ගත්තට පස්සෙ හදිස්සියට ආපහු යන්න හදන්න එපා. නගින්න දිය ඇල්ල උඩට.

දිය ඇල්ල පාමුල ඉඳන් මීටර 10ක් විතර ආපහු එද්දි පයිනස් කැලේ මැද්දෙන් ආපු ගල් අල්ලපු අඩි පාරෙන් දකුණු පැත්තෙ පොඩි ලී කොටයක 'ලංකා ඇල්ල' කියල ගහපු පුවරුවක් තියෙයි. එතනින් පයිනස් කැලේ මැද්දට පිවිසුනාම මැකී නොමැකී ගිය අඩි පාරක් හමුවෙනව. කන්දෙ ආනතියත් එක්ක වම් පැත්තට පිහිටල තියෙන මේ අඩි පාර දිගේ ඉස්සරහට ගියාම ගොඩවෙන්නෙ බඹර කන්ද දිය ඇල්ලෙන් මීටර 200ක් විතර දුරින් තියෙන ඒ කන්දෙම අවසානයකට. එතන පිහිටල තියෙන්නෙ පුංචි කඳු ගැටයකින් පටන් ගන්න බඹරකන්ද මුදුනත පිවිසුම. ඒ කඳු ගැටයට ගොඩ වෙන්න පොඩි අඩි පාරක් තිබුණට පයිනස් කැලේ මැද හරියට යනකොට නම් අඩි පාර නැතුව යනව. එත් කඳු බෑවුමට ගොඩක්ම ලං වෙන්නෙ නැතුව සමාන්තරව ගියාම ඇල්ල මුදුනට පිවිසෙන්න පුළුවන්.

පා ගමන අතර තුර ලස්සන වගේම ගොඩක්ම අවදානම් තැනකුත් හමුවෙනව. ඒ තමයි දිය ඇල්ලට මෙපිටින් පිහිටල තියෙන පුංචි කඳු තුඩුව. එතනට ගොඩවෙන අඩි පාරෙ පළල අඩි 5ක් වත් නෑ. දෙපැත්තෙන්ම හෙල. බොහොම ප්‍රවේසමෙන් මේ අවදානම් අඩි 10ක විතර දුර ගියාම අයිනෙම තියෙන ගල් තුඩුවෙ වාඩි වෙලා ලස්සන ඡායාරූපයකුත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. බඹර කන්ද දිය ඇල්ලෙ පුළුල් පැති පෙනුමක් වගේම හිරු එළියෙන් පැහැපත් වෙලා හරිත වර්ණයෙන් දිදුලන කළු පහන ගම්මානයත්, නිම්නයත් හරිම ලස්සනට දැක ගන්නත් පුළුවන්.

ඇල්ල මුදුනට ගොඩ වුනාම ඔයාල හීනෙකින් වත් හිතපු නැති දෙයක් තමයි දකින්න ලැබෙන්නෙ. දිය ඇල්ලක් උඩ දිය ඇල්ලක්. වැඩේ කියෙන්නෙ ඒක උඩ තව දිය ඇල්ලක්. හරිම අපූරුයි. හැබැයි දෙවැනි, තුන්වැනි දිය ඇලි උඩ නම් ලොකුවට ඉන්න තරම් ඉඩක් නෑ. කඳවුරක් බැඳගෙන රැයක් ගත කරන්න ඉඩ තියෙන්නෙ බඹර කන්ද ඇල්ල උඩ ගල් තලාවට මෙපිට බිමේ. උඩින් තියෙන ඇලි දෙකට ගොඩ වෙන්න තියෙන්නෙත් පයිනස් කැලේ මැදින් කන්ද දිගේ ඉස්සරහට ගිහින්. අඩි පාරවල් නෑ කියල බය වෙන්න එපා. තුන් වෙනි දිය ඇල්ලෙත් සුන්දරත්වය වින්දට පස්සෙ ඒ විදියට දිගටම ඉස්සරහට ගිහින් ඔහිය - කළුපහන ප්‍රධාන පාරට ගොඩ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආපු පාරෙම ආපහු එන්නත් පුළුවන්.

මේ මුළු ගමනටම යන්නෙ පැය 3ක 4ක කාලයක් නිසා උදෙන්ම ගමන පටන් ගත්තු කෙනෙක්ට තව පැය ගාණක් ඉතුරුයි. ඒ පැය ගාණට තව දිය ඇලි දෙක තුනක්ම තියෙනව බලන්න ඒ නිසා, බඹරකන්දට නගින දෙවනි කඳු ගැටය ලඟට වෙනකම් බැහැල ඔහොම ඉන්න. ලංකා ඇල්ලයි තව දිය ඇලි දෙකකුයි බලන්න යන විදිය ලබන සතියෙ කියන්නම්.

 


TIP

Go for night camping.

Artwork for Sampath Content Sep generic

Address

Weerakoon Village, Kalupahana

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment