Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

Bin Sultan

127, Sri Saranankara Road, Dehiwala


Your average restaurant for middle eastern cuisine.



ග්‍රෑන්ඩ් පාස් පැත්තේ යන ගමන් අරාබි රසට කෑම වේලක් කන්න හිතුණොත්, යන්න ඕනේ කොහෙටද කියලා කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැමෝම දන්නවා ඒකට හොඳම තැන බින් සුල්තාන් අවන්හල කියලා. හැබැයි මේ රස දැන් දෙහිවල පැත්තෙනුත් හොයාගන්න පුළුවන් කියන ආරංචිය අපට ලැබුණේ සති දෙක තුනකට උඩදී. ඒ හා හා පුරා කියල විවෘත කරපු බින් සුල්තාන් දෙහිවල ශාඛාවෙන්.

තැන

කළුබෝවිල සරණංකර පාරේ සුමනදිසි බේකරිය පහු කරලා ටිකක් ඉස්සරහට යද්දි හමුවෙන බින් සුල්තාන් අවන්හල ලේසියෙන්ම ඔයාලට මග හැරෙන්න පුළුවන් ගොඩනැගිල්ලක්. තට්ටු දෙකක ගෙදරක් වගේ තැනක්, ටිකක් එහෙට මෙහෙට කරලා තමයි මේක හදලා තියෙන්නේ. ලොකුවට බෝඩ් එකක් ගහලා තිබුණත් කඩවල් පෙළක් එක්ක තියෙන නිසා එක පාරටම හොයාගන්න අමාරුයි. ඒ නිසා සුමනදිසි බේකරිය පහුවුණ ගමන් පාරේ දකුණු පැත්ත සැලකිල්ලෙන් බලාගෙන ආවා නම් හරි.

කෑම බීම

අපි බින්  සුල්තාන් එකට ගොඩ වුණේ මේක විවෘත කරලා හරියටම දවස් තුනකින්. දවල් කෑමකට තමයි අපි මේ පැත්තට ඇදුනේ. විවෘත කරලා සතියක්වත් නැති නිසාදෝ හෝ මුළු අවන්හලටම හිටියේ අපි විතරයි.

සුප්, සැලඩ් වගේම තව කෑම වර්ග කිහිපයක්ම starters විදියට මෙයාලගේ මෙනු එකේ තියෙනවා. බර්ගර්, සැන්විච්, ශවර්මා, නූඩ්ල්ස්, නාන්, කෙබාබ් වගේ කෑම වර්ගත් මේ මෙනු එකේ දැකගන්න පුළුවන්. බීම ජාති විදියට තියෙන්නේ  මිල්ක්ෂේක්, පළතුරු ජූස් සහ මොක්ටේල් වර්ග කිහිපයක්.

අපි starter එක විදියට ඕඩර් කළේ චිකන් වින්ග්ස් (රු.400) පිඟානක්. ක්‍රිස්පි ගතියට හදපු චිකන් වින්ග්ස් හයක් උඩින් හීනියට කපපු සලාද කොළ ඉහලා, හැඩ කරලා තමයි මේක පිළිගැන්වෙන්නේ. ඒකටම හරියන්න හොඳ චිලී සෝස් එකකුත් ලැබෙනවා. උණු උණුවෙන්ම තිබුණු නිසා කන්න පුළුවන් වුණත්, මේවයින් එච්චර රසක් නම් අපට තේරුණේ නැහැ. ඇත්තම කිව්වොත්, අඩුම කුඩුම මුකුත් නොදා, නිකන්ම බේක් කරපු චිකන් වින්ග්ස් කනවා වගේ හැඟීමක් තමයි අපට දැනුනේ.

ටිකක් ලොකු බඩගින්නක හිටපු නිසා සැන්විච් එකකුත් ඕඩර් කරන්න අපි හිතුවා. අපි තෝරාගත්තේ ක්ලබ් ඩුබායි සැන්විච් (රු.450) එක. මේ සැන්විච් එක තට්ටු හතරකින් හැදුණු එකක්. පහලම ලේයර් එකේ තිබුණේ හොඳ රස චිකන් පැටී එකක්. මැද ලේයර් එක හැදිලා තිබුනේ රට ළූණු, සලාද කොළ, තක්කාලි සහ ගම්මිරිස් එකතු කරපු මිශ්‍රණයකින්. බීෆ් එක්ක හරි හරියට පෑහුණු රසම රස චීස් ලේයර් එකක් තමයි උඩින්ම තිබුනේ. චිකන්, චීස්, බීෆ් එකට එකතු වුණු මේ සැන්විච් එකෙන් එන්නේ දිව පිනවන රසක්.

අපි ඕඩර් කරපු චිකන් බුරියානි (රු.400) එක නම්, දෙන්නෙක්ට කන්න වුණත් ඇතියි කියලා හිතෙන තරමට ලොකුයි. බත් එකටම හරියන සයිස් එකේ ලොකු චිකන් කෑල්ලකුත්, ළූණු වලින් හදපු බැදුමකුත්, මුදවපු කිරි වල ඔබ්බවපු බොහොම සැර රස අමු මිරිස් සලාදයකුත් මේ බුරියානි එකට ලැබෙනවා.

බත් එකේ කියන්න තරම් විශේෂයක් නැතත්, මේ චිකන් එක නම් පංකාදු පහයි කියලා අනිවාර්යෙන්ම කියන්න ඕනේ.

බීම විදියට අපි තෝරාගත්තේ චොකලට් මිල්ක්ෂේක් (රු.200) එක. එච්චර උකු ගතියක් මේකේ තිබුනේ නැහැ. ඒත් සීනි ගානට දාලා, චොකලට් ගතියත් තිබුණු නිසා, මේකෙන් හොඳ රසක් අපට දැනුණා.

මේ ටික කෑව බිව්වට පස්සෙ පස්සේ නම් හුනුසාල් ඇටයක ඉඩක් වත් අපේ බඩේ තිබුනේ නැහැ.. ඒත් අවන්හලේ මැනේජර් මහත්තයත් හොඳයි කියලා කිව්වා නිසා අපි හිතුවා මහලේබියා (රු.250) කියලා හැඳින්වෙන, අරාබිකරයේ බොහොම ප්‍රසිද්ධ පුඩින් වර්ගය කාලා බලන්න.

කිරි, සීනි, විපින්ග් ක්‍රීම් වගේ දේවල් වලින් මේ පුඩින් එක හදන බව තමයි අපට දැනගන්න ලැබුනේ. බැහැයි කියලා ගත්තට මොකද අපි මේක කෑවේ හරිම ආසාවෙන්. කස්ටර්ඩ් රස ප්‍රිය කරන ඕනෙම කෙනෙක්ට සැකයක් නැතුව රස විඳින්න පුළුවන් අතුරුපසක් තමයි මේක.  

සර්විස් එක

බින් සුල්තාන් සර්විස් එකේ අපි දැකපු ලොකුම අඩුව තමයි වැඩ කරන සමහර අය මේ මෙනු එකේ තියෙන කෑම වර්ග වල අන්තර්ගතය හෝ, ඒ කෑම වර්ග ඒ වෙලාවට ගන්න පුළුවන්ද බැරිද කියන වග නොදැන ඉඳපු එක. ඒත් අපි මෙතනට ගොඩ වුණේ මේක විවෘත කරලා දවස් තුනකින් වගේ නිසා මේ ගැන ලොකු දෝෂාරෝපණයක් එල්ල කරන්නත් බැහැ. කොහොම නමුත් කාලෙත් එක්ක ඒ අඩුපාඩුකම් මඟ ඇරෙයි කියලා අපි හිතනවා.

අවසාන වශයෙන්

නාන්, කෙබාබ්, ශවර්මා, බර්ගර්ස් වගේ දේවල් ගන්න පුළුවන් හවස හයෙන් පස්සේ බව තමයි අපට බින් සුල්තාන් අවන්හලේ මැනේජර් මහත්තයා කිව්වේ. මේ තියෙන හැම කෑම වර්ගයක්ම සීයට සීයක් ඔරිජිනල් අරාබි කෑම විදියට කියන්න අමාරු වුණත්, ඒ පැත්තට නෑකම් කියන ගමන් ලංකාවේ තාලෙට හදන වගක් තමයි අපට තේරුනේ. හැබැයි ඒවායේ හොඳ රසක් තිබුණු බව කියන්නම ඕන.

ඔයාලත් කළුබෝවිල පැත්තේ එහෙම යන වෙලාවක නිකමට බින් සුල්තාන් එකට ගොඩවෙලා බලන්නකෝ. සාක්කු පිරෙන්න සල්ලි නොතිබුණත්, බඩ පිරෙන්න කෑම වේලක් කන්න පුළුවන් තැනක් තමයි මේක. එහෙම ගිය වෙලාවක ඔයාලගේ අත්දැකීමත් අපට කියන්න අමතක කරන්න එපා හොඳද.

 


TIP

Naan, Shawarma, Kebab and Burgers are available only after 5.30 pm.

Address

127, Sri Saranankara Road, Dehiwala

Directions

Located on Saranankara Road, few meters ahead of Sumanadisi Bakers.

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment