Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Bombay Borough (One Galle Face)

1A, 02 Centre Rd, Colombo


Sri Lanka's first Bombay Borough.



One Galle Face කියන්නේ ලංකාවේ තියෙන ලොකුම, සහ ආකර්ෂණීය ම ෂොපින් මෝල් එක කිව්වොත් නිවැරදියි. ඉතින් මේකේ තියෙන රෙස්ටෝරන්ට් සෙට් එකත් බොහොම යුනික්. දැකලා පුරුදු මුහුණු කීපයක් නැතුවම නෙවෙයි, හැබැයි බහුතරය අලුත් ඒවා. ඒ වගේ ම ගොඩක් ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල්  ෆ්‍රැන්චයිස් කීපයකුත් තියෙනවා. අපි මේ කතා කරන්න යන Bombay Borough එකත් ඒ වගේ ෆ්‍රැන්චයිස් එකක්. ඉන්දියාවේ තමයි එයාලගේ මුල් ගම් බිම් තියෙන්නේ.

ඉන්දියාව කියන්නේ ප්‍රාන්ත ගාණක් තියෙන ලොකු රටක්නේ. ඉතින් වෙනස් ප්‍රාන්තවල, වෙනස් නගරවල හැදෙන්නේ වෙනස්ම විදියේ කෑම. පාවිච්චි කරන්නෙත් වෙනස් විදියේ අඩුමකුඩුම. නිකන් හිතන්නකෝ බිරියානි ම ජාති කීයක් තියෙනවද? 

Bombay Borough එකේ විශේෂත්වය තමයි මෙන්න මේ වගේ ඉන්දියාවේ එක එක පැතිවලින් හොයාගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා කෑම හදන එක. ලඛෝරාවල යෙලෝ චිලීස්, මලබාර්වල ටෙලිචේරි පෙපර්, අම්රිට්සර්වල ආම් පපාඩ්, සහ නාගලන්ඩ්වල භූට් ජෝලොකියා වගේ ජාති ගොඩක් මෙයාලගේ කෑමවලට යොදා ගැනෙනවා. 

හැබැයි ඉතින් පට්ට ම ගණන්. අහගන්නකෝ විස්තරේ.

කෑම

Bombay Borough එකේ මෙනුව හරියට ඉන්දියාවේ සිතියම් ගයිඩ් එකක් වගේ. රටේ නොයෙකුත් දිසාවල්වල, නගරවල දකින්න ලැබෙන කෑම බීම ජාති තොගයකින් මේක සමන්විතයි.

අපි වැඩේ පටන්ගත්තේ Aanardana Tikka Paneer (රු. 1100) එකෙන්. මේක ස්පයිසස් ගොඩක් දාලා මැරිනෙට් කරලා යසට ග්‍රිල් කරපු පනීර් එකක්. මේකට පාවිච්චි කරලා තියෙන විශේෂ කුළුබඩු වර්ගය වෙන්නේ Anardana, හෙවත් දකුණු හිමාලය ප්‍රදේශයේ උත්තරාන්චල්වල හැදෙන දෙළුම්වල ඇටවලින් හදන ස්පයිස් එකක්. 

ඉස්තරම්ම කොලිටියේ පනීර් යොදලා තිබුණු නිසා මේකේ ක්‍රීමි ගතිය සෑහෙන්න ඉහළින් තිබුණා. ඒ වගේ ම රසත් ඉස්තරම්. ග්‍රීන් චට්නී ටිකකුත් තවරගත්තම තවත් මරු. 

ඊටපස්සේ අපි රස බැලුවේ Mutton Dum Biriyani (රු. 1850). Potli Masala කියන bouquet garni ජාතිය දාලා තමයි මේක හදන්නේ. Bouquet garni කියන්නේ කුළුබඩු, හර්බ්ස් ජාති පුරවපු පොඩි රෙදි පොට්ටනියක්. උයනකොට කරියට දාලා, ලිපෙන් බාන්න කිට්ටු කරලා අයින් කරනවා. අන්න ඒ මසාලා එකට එකට පින් සිද්ධ වෙන්න මේ බිරියානි බත පංකාදු පහට තිබුණා. බත අස්සේ ගිලිලා තිබුණු ලෑබ්ම් කෑලි ටික ඊටත් වැඩිය රසයි. නියම ගානට ඉවිලා නිසා හෙන ම සොෆ්ට්, ලේයර්ස් වගේ කැඩිලා යන්නේ. ඒකටත් ස්පයිසස් හොඳ ගානට වැටිලා.

Chicken Tikka Butter Masala (රු. 1450) එකේ හොද්දේ රහ දැනගන්න චිකන් කෑල්ලක් කෑවත් ඇති. මොකද ඒ තරමට මේකට දාපු කුළුබඩු සහ Punjabi Makhani sauce එකේ රස චිකන්වලට උරාගෙන. ටික්කා ස්ටයිල් එකට ග්‍රිල් කරලා උයපු මේ චිකන් කෑලි ටික බොහොම සොෆ්ට්. හොද්දේ හරි ම ක්‍රීමි කොලිටි එකක් තිබුණා. ස්පයිසි, ස්වීට් සහ ටැඟී අතට බර රසක් තමයි තිබුණේ.

අපි මේ චිකන් හොද්දත් එක්ක කන්න ගත්තේ Chur Chur Paratha (රු. 295) එකයි, Amritsari Potato Kulcha (රු. 295). රොටි දෙක නම් සෑහෙන්න පොඩි. හැබැයි රස නියමයි. ඔය රතු පාටට හුරුව තියෙන්නේ Chur Chur Paratha. නෝමල් කේරල ස්ටයිල් පරාතා එකට පොඩි ස්පයිසි ට්විස්ට් එකක් දීලා. Amritsari Potato Kulcha එක ඊට වැඩිය මරු. අර අපි ගෙදර හදනවා වගේ අල තෙල් දාපු මිශ්‍රණයකින් තමයි මේකේ මැද පුරවලා තිබුණේ.

අපේ ඩෙසර්ට් එක වුණේ Anglo-Indian Bread Pudding (රු. 950) එක. යහමින් කස්ටර්ඩ් වත් කරලා හදපු මේ පාන් පුඩිම මාර ම රහයි. කිරි රහ හොඳට ම දැනුනා. මදි පාඩුවට දාගන්න තව කෝප්පයක් පිරෙන්න කස්ටර්ඩ් දෙනවනේ. අනික දෙන්නෙක්ට බෙදාගන්න ඇති.

බීම

Bombay Borough එකේ ඇල්කොහොලික් වගේ ම ඒවා නැති බීම වර්ග තියෙනවා. අපි ට්‍රයි කළේ කොක්ටේල් දෙකක් - Jamun Bazaar (රු. 1300) එකයි, Chowpatty Beach Lolly (රු. 1200). 

Jamun Bazaar එකේ තිබුණේ ජින් සහ Kala Khatta කියන බ්ලැක්බෙරි ජාතියකින් හදන ස්වීට් සහ ඇඹුල් රස තියෙන ෂර්බට් එකක්. ඒ වගේ ම Himalayan Pink Salt පොඩ්ඩකුත් දාලා. පළතුරු රසට බර කොක්ටේල්වලට කැමති අයට තමයි මේක ගැලපෙන්නේ.

හැබැයි අපි ආසාවෙන් ම බිව්වේ Chowpatty Beach Lolly එක. මේක අපට හුරුපුරුදු මාගරීටා එකකට දොඩම් රස පොප්සිකල් එකක් ඔබ්බලා හදන බීමක්. පොප්සිකල් එක දියවෙලා එන දොඩම් රස මාගරීටා එකට එකතු වෙද්දී මාර ම රසයි. ඒ වගේ ම මාගරීටා එකේ ටෙකීලාවල දැවටිලා එද්දී පොප්සිකල් එකටත් නියම රසක් එනවා.

තැන සහ සේවාව

මෙතැන හයි-එන්ඩ් ටයිප් එකටයි, කැෂුවල් ටයිප් එකටයි දෙකටම මැච් වෙන්න හදපු වාතාවරණයක්‌ සහ ඉන්ටීරියර් එකක් තමයි තියෙන්නේ. බොහොම ලස්සන බල්බ්වලින් හැඩ කරලා, පුංචි පුංචි පෝච්චි තැනින් තැනින් තියලා, ඉන්දියාවේ නොයෙක් පළාත්වල කෑම ජාති ගැන බිත්තිවල ලියලා, හරි ම හැඩයි. මේ ලස්සන තවත් වැඩි වෙන්නේ රෙස්ටෝරන්ට් එක මැද තියෙන බාර් කවුන්ටර් එකෙන්. මොකද ඒකත් botanist-inspired බාර් එකක්නේ. ඒ නිසා මුළු රෙස්ටෝරන්ට් එකේ ම තිබුණේ කොළ පාටට බර, ඒත් බොහොම ආලෝකමත් ඉන්ටීරියර් එකක්.

සර්විස් එකත් ගොඩක් හොඳයි. අපි ආව ගමන් අපේ අතට මෙනුව ලැබුණා. මාගලක් වගේ මෙනුවක් නිසා ගන්නේ මොනවද කියලා හිතාගන්න බැරි නම්, මේකේ ස්ටාෆ් එකේ අය ඒ වෙනුවෙන් උදව් වෙන්නත් සැදී පැහැදී ඉන්නවා.

අවසාන වශයෙන් 

ඉන්දියාවේ රීජනල් කුකින්වල යුනික් හරස්කඩක් තමයි මේ Bombay Borough එකෙන් දැකගන්න ලැබෙන්නේ. ඒ නිසා කොළඹ තියෙන ගොඩක් ඉන්දියන් රෙස්ටෝරන්ට්වලට වැඩිය මෙතැන විශේෂයි. හැබැයි කලින් කිව්වත් වගේ ගණන් හිලව් නම් බොහොම සැරයි. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment