5/5

Bombay Chaiwala

418, R. A. De Mel Mawatha, Astoria Apartment, Ground Floor, Colombo 03


A little tea hut down Duplication Road, Bombay Chaiwala does superb chai and snacks.


අපි මීට සතියකට දෙකකට උඩදි රිවීව් කරපු කලම්බෝ චායිවාලා එකයි, චායිවාලා කලම්බෝ එකයි ඕගොල්ලන්ට මතක ඇති. ඊයේ පෙරේද දවසක රෑ ජාමෙක ඩුප්ලිකේෂන් පාර දිගේ ගමනක් යන වෙලාවක අපිට තව චායිවාලා එකක් හම්බුණා. මේක බොම්බේ චායිවාලා. චායි කියල දැක්ක ගමන් අපේ ගමනේ වේගේ බාල වුණේ ඉබේටම වගේ. තරමක සෙනඟකුත් වට වෙලා හිටිය නිසා අපිත් ඉතින් කිට්ටු කරලා බැලුවා.

තැන

ඕගොල්ලන්ට මතක ඇති අපි කිව්වා කලම්බෝ චායිවාලා එක ටී රූම් එකක්, චායිවාලා කලම්බෝ එක ටුක් එකක් කියල. මේ පාර අපි ගිය බොම්බේ චායිවාලා එක පුංචි හට් එකක්. ඩුප්ලිකේෂන් පාරේ තියන ඇස්ටෝරියා ටවර් එක ඉස්සරහ තමයි හට් එක ගහල තියෙන්නේ. ඇස්ටෝරියා ටවර් එකේ තියන Lakcha සිලෝන් ටී ෂොප් එකට තමයි මේක අයිති. රෑට ලයිට් එහෙම දාල එළිය කරලා කට්ටිය පිරිලා ඉන්න නිසා හොයාගන්න කිසිම අමාරුවක් නෑ.

තේ සහ ස්නැක්ස්

මසාලා චායි, කාඩමම් චායි, ලයිම් ප්ලේන්ටී, ඉඟුරු ප්ලේන්ටී සහ ග්‍රීන්ටී විත් ලයිම් තමයි මෙතන තියන තේ වර්ග ටික. අපි ගත්තා මසාලා චායි එකයි (රු. 80), කාඩමම් චායි එකයි (රු. 80), ලයිම් ප්ලේන්ටී එකයි (රු. 60), ඉඟුරු ප්ලේන්ටී එකයි (රු. 60). 

උණු උණුවේ ආපු තේ ටික දැක්කම තිබහත් වැඩි වුණා. මසාලා චායි එක හෙනම ස්පයිසි. උගුරට හොඳට දැනෙන සැර ගතියක් එක්ක කහට රස තිතට ගැලපිලා. සීනි එහෙමත් ගාණට. තේ එක උකුවට තිබුණා.

තද කරදමුංගු රස කැටි වුණ කාඩමම් චායි එකත් සුපිරි. හැබැයි ටිකක් පැණි රසයි. සීනි වැඩියෙන් තේ බොන්න කැමති අයට කියාපු තේ එකක්.

මසාලා චායි එක ඇරුණම මට නං වැඩිපුර ම හිත ගියෙ ලයිම් ප්ලේන්ටියට. ලොකු වෙනසක් නෑ, සාමාන්‍ය ප්ලේන්ටියට ම පුංචි දෙහි කෑල්ලක් දාලා. ඒත් ඒකෙන් තේ එකේ රසට මාර වෙනසක් එකතු වෙලා. අතරින් පතර දිවට දැනෙන ඇඹුල් රහ ප්ලේන්ටියට අමුතු ම කික් එකක් එකතු කළා.

මේ ඉඟුරු ප්ලේන්ටිය. මේක මාර ස්ට්‍රෝං. සීනි දාල තිබුණෙ අඩුවෙන්. ඒ නිසා ම කහට රසට මික්ස් වෙලා සැර ඉඟුරු රහ තදට ම දැනුණා. තිබහට වගේ ම මහන්සි නිවෙන්නත් මරු.

ස්නැක්ස් විදිහට මෙතන තියනවා පෑන්කේක් (රු. 50), බේබි රස්ක් (රු. 50) සහ සිනමන් රෝල් (රු. 120). පෑන්කේක් එක හරිම සොෆ්ට්. ඇතුළට දාල තියන පොල් පැණි ටිකත් මාර රසයි. තේවලට තකට තක ගැළපෙනවා.

බේබි රස්ක් එක කරස් ගාල හැපෙන ක්‍රිස්පි ගතියට තිබුණා. තේ එකේ පොඟවල කන්නත් පුළුවන් ඕන නං. හැබැයි රහ ම ස්නැක් එක තමා සිනමන් රෝල් එක. මේක හරිම ෆ්‍රෙෂ්. කටටත් සොෆ්ට්. කුරුඳු රහයි, ඒකට ම මිශ්‍ර වුණ පැණි රහයි නිසා මේක තේවලට නියමෙට ගැළපෙන ස්නැක් එකක් වෙලා තිබුණා. 

සර්විස් එක

මේගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. කොච්චර සෙනඟ ආවත් එන හැමෝම එක්ක සුහදව කතාබහ කරලා සේවාව සපයනවා. තේ හදල දෙන්න වැඩි වෙලාවක් ගන්නෙත් නෑ. 

අවසන් වශයෙන්

රාමසාන් කාලේ නිසා මේගොල්ලො මේ දවස්වල ඕපන් කරන්නෙ හැන්දෑවේ හයට විතර. රාමසාන් කාලේ පහු වුණාම හවස හතරහමාරේ විතර ඉඳන් ඕපන් කරන්න හිතන් ඉන්නවා ලු. කොහොමත් පාන්දර එකහමාර විතර වෙනකන් විවෘතව තියනවා. ඉතින් යන එන ගමනක හැන්දෑවේ තේ තිබහ නිවාගන්න මේ පැත්තට කිට්ටු කරලා බැලුවට පාඩු නෑ.

Address

418, R. A. De Mel Mawatha, Astoria Apartment, Ground Floor, Colombo 03

Contacts

Instagram E-Mail

Open until 01:30 AM

Cuisine

North Indian South Indian

Price Range

Less than 200

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Ambience Rating
5


Latest