Box-O-Noodles කියන්නේ නූඩ්ල්ස්වලට ම වෙන් වුණු තැනක්. නා නා ප්‍රකාර නම් වලින්, විවිධ ස්ටයිල් කීපයකට ම මේ කට්ටිය නූඩ්ල්ස් හදනවා. ඩයින්-ඉන්, ඩිලිවරි වගේ ම ටේක්-අවේත් තියෙන නිසා, ඔය ඉඳලා හිටලා එන නූඩ්ල්ස් බඩගින්න යවාගන්න මේක හොඳ ම තැනක්.
තැන

මේක තියෙන්නේ නාවල ඇවෙනියු එකට හැරිච්ච ගමන් වම් පැත්තේ. ගෙදරක ම කොටසක් විදියට තමයි මේ රෙස්ටෝරන්ට් එක කරගෙන යන්නේ. ගාර්ඩන් එකේ තමයි වාඩි වෙන්න ඉඩකඩ හදලා තියෙන්නේ. තණකොළ බිස්ස උඩ තියපු පුටු මේස ටිකයි, වටපිටාවේ තියෙන ගස් කොළන් ටිකයි නිසා, හරි ම සීනික් ගතියක් එකක් මෙතැනට ඇවිල්ල තියෙනවා.
කෑම බීම
නූඩ්ල්ස් වර්ග හැරුණා ම, මේ කට්ටියගේ මෙනුවේ බත් වර්ගත් කීපයක් ම දැකගන්න ඇහැකි. හැබැයි ස්පෙෂල්ටි එක නූඩ්ල්ස්නේ. ඒ නිසා අපි ඕඩර් කළා ඒවයින් ජාති තුනක් ම.

Kiss of the Dragon (රු. 600) කියන්නේ ටොම් යම් සෝස් එකක උයපු පැඩ් තායි නූඩ්ල්ස් එකක්. මේකට සීෆුඩ්, චිකන් එහෙමත් ඇති පදමට එක්කාසු කරලා තිබුණා. හැබැයි ඉතින් ටොම් යම් සීසනින් එක හොඳටෝ ම වැඩියි. කොටින් ම කිව්වොත් කටේ තියන්න බැරි තරමට සේර රසයි.

බ්ලැක් බෙල්ට් (රු. 500) තමයි මේ කට්ටියගේ නූඩ්ල්ස් මෙනුවේ තියෙන එක ම වෙජිටේරියන් ඔප්ෂන් එක. හප්පේ! වෙජිටේරියන් කියලා නෑ මහත්තයෝ මේක පංකාදු පහයි. මේ නූඩ්ල්ස් එකේ සීසනින් එක බොහොම ලයිට්. සෝස් එකත් ස්වීට් සෝයි සෝස් විතරයි. ක්‍රිස්පි ගතියට හැපෙන ගෝල්ඩන් ෆ්‍රයිඩ් ටෝෆු සහ මෂ්රූම් මේකේ අඩුවක් පාඩුවක් නැතුව තිබුණා.

අපි Tuk Tuk කියන නූඩ්ල්ස් එක ගත්තේ ටේක්-අවේ ඕඩර් එකක් විදියට. ඒක නිසා තමයි මේ විදියේ නීට් කාඩ්බෝඩ් නූඩ්ල්ස් බොක්ස් එකක පැක් කරලා තියෙන්නේ.

මේකත් මාර ම සිරා. ස්වීට් චිලි සෝස් එකක උයපු චිකන්, ඉස්සෝ යහමින් දාපු මේ පැඩ් තායි නූඩ්ල්ස් එක කාලා ඉවර කරන්න අපට විනාඩි දහයක් යන්නේ නැතුව ඇති.
සර්විස් එක

සර්විස් එකෙත් කියන්න තරම් වරදක් නැහැ. අපේ කෑම ටික මේසෙට ආවේ විනාඩි 10ක් වගේ කාලයක් ඇතුළත.
අවසාන වශයෙන්

මේ නූඩ්ල්ස් පෝෂන් සේරම සිංගල් සර්වින්ග් විදියට දුන්නත්, දෙන්නෙක්ට ශේප් එකේ බඩ පුරවගන්න පුළුවන් තරමට ඇති. මස්, මාළුවලට ලෝබකමක් කරලත් නැති නිසා, හොඳ රසට කන්න ඇහැකි.
5/5
Sutharman Paskaran
Their Pad Thai was great. Best one in the town.