Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

BreadTalk (Park Street)

No 33, Park Street, Colombo 02


BreadTalk has been doing well since its inception despite all the "its-expensive!" cries, but anything for a posh pastry, right?



එදා ඉරිදා දවසක්. යාළුවෙක් එනකම් පාක් ස්ට්‍රීට් එකේ කැරකිකැරකි ඉඳපු මට ආවේ පට්ට ම බඩගින්නක්. ඉස්කෝලේ යන දවස්වල මේ කිට්ටුව තිබුණු “බ්‍රෙඩ්ටෝක්” එක වන්දනා මාන කරපු හැටි මට මතක් වුණේ ඔය එක්කමයි. කෑමයි, වෙලාවයි දෙකම කන්න ඕනේ නිසා මං මේ පැත්තට ගියා.

මෙන්න බොලේ ඉස්සර තිබුණු බ්‍රෙඩ්ටෝක් බිල්ඩිම වහලා දාලා. මගේ පපුව හූස් ගෑවේ බඩගින්නටද, දුකටද කියලා ෂුවර් නැහැ.

“අංකල් දැන් බ්‍රෙඩ්ටෝක් එක මෙතන නැද්ද?” මං ඒ හරියේ ඉඳපු පොලිස් මාමා කෙනෙක්ගෙන් ඇහුවා.

“අහ් ඒක තියෙන්නේ ඔය බිල්ඩිම පිටිපස්සෙමයි”

බැලින්නම් කතාව ඇත්ත. මේක වෙලා තියෙන්නේ අද ඊයේ නම් නෙවෙයි. දැන් මාස හතර පහක ඉඳන් පාක් ස්ට්‍රීට් බ්‍රෙඩ්ටෝක් එක තියෙන්නේ පරණ ගොඩනැගිල්ල පිටිපස්සේ ම හදපු අලුත් තැනක.

වාතාවරණය

අලුත් බ්‍රෙඩ්ටෝක් එක පරණ එකටත් වඩා හොඳයි වගේ. ගොඩක් ඉඩකඩ තියෙනවා. සෑහෙන්න පිරිසිදුයි වගේ ම පිළිවෙළයි. සෑහෙන්න නිස්කලංක ගතියක් දැකගන්න පුළුවන්.

එකඑක ජාතියේ කෑම වර්ග පුරවපු ෂෝ කේස් තැනින් තැනින් තියලා තියෙනවා. මේවයේ නැවුම් බව ගැන කිසි සැකයක් තියාගන්න ඕනේ නැහැ. මොකද අලුතෙන් කෑම හැදෙන හැටි මේක ඇතුළේ තියෙන බේකරියෙන් ම දැකගන්න පුළුවන්.

කෑම බීම

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. තැනින් තැන තියෙන ෂෝ කේස්වලින්, තමන්ට ඕනේ කෑම වර්ග ටික ට්‍රේ එකකට දාගෙන, කවුන්ටරෙන් බිල් කරගත්තම හරි. බීම වර්ග ඕනේ නම්, ඒකත් කවුන්ටරෙන් ඉල්ලගන්න ඕනේ. මාත් ඉතින් ට්‍රේ එකක් අරගෙන වැඩේට සෙට් වුණා.

“පීසා බන්” (රු.180) එකකුයි, “ස්ප්‍රින්ග් ඉන් ද සිටි” (රු.180) එකකුයි අරගත්ත මම, කවුන්ටරෙන් බිල දාගත්තේ අයිස් මයිලෝ (රු.240) එකකුත් ඉල්ලන ගමන්. ඔය අතරේ තමයි මගේ යාලුවත් මෙතනට කඩාගෙන පාත් වුණේ. මගේ කෑම ට්‍රේ එක දැක්ක ම මිනිහටත් ආව කොහෙවත් නොතිබුණු බඩගින්නක්. ඕක කෙළවරක් නොකරොත් මටත් විසුමක් නැතිවෙන නිසා මං “චිකන් ෆ්ලොස්” (රු.200) එකකුයි, “බ්ලුබෙරි ඩැනිෂ්” (රු.185) එකකුයි ට්‍රේ එකට දාගත්තා.

රොටියක් වගේ තැටියක් හැඩේට තියෙන පීසා එක බනිසක් වුණොත් කොයි වගේ තියෙයිද? ඒ අත්දැකීම ගන්න නම් බ්‍රෙඩ්ටෝක් එකේ පීසා බන් එකක් කාලා බලන්න ම ඕනේ. මේක උඩින් තියෙන්නේ පීසා එකක වගේ නියම චීසි ගතියට තියෙන තට්ටුවක්. යන්තමට සෝස් එහෙමත් දාලා තියෙනවා. බනිසත් සෑහෙන මෘදුයි. නියම රසයි.

මූණ පුරා ම ගාගෙන කැන්ඩි ෆ්ලොස් කාපු අතීතයක් ඔයාට තියෙනවද? මේ චිකන් ෆ්ලොස්වල පෙනුමත් ඒ වගේ. රසය, පාට විතරයි වෙනස්. කර කරපු ස්පයිසි චිකන්වල රස සහ සුවඳ මේකේ තියෙනවා. මේ බනිස් එකත් ගොඩක් හොඳයි.

ස්ප්‍රින්ග් ඉන් ද සිටි කියන්නේ සෑහෙන්න වැඩ කිඩ දාපු කෑමක්. වටේ තියෙන්නේ අර පීසා බන් එකේ වගේ චීස් ගතියට තියෙන ලේයරයක්. ගොඩක් ගනකමට හදලා තියෙන මේ චීස් තට්ටුවෙන් තද චීස් රසක් දැනුණා. ඇතුල් පැත්ත සම්පූර්ණයෙන් ම පුරවල තිබුණේ චිකන් ෆ්ලොස්වලින්. චීස් එක්ක චිකන් ෆ්ලොස් ටික එකට හැපෙද්දී දැනෙන රස කියන්න වචන නැහැ. ඒ තරම් සුපිරි.

බ්ලූබෙරි චීස්කේක් කන්න කැමති උදවියට නියමෙට ම හරියන කෑමක් තමයි මේ බ්‍රෙඩ්ටෝක් එකේ බ්ලුබෙරි ඩැනිෂ් එක. කන කටක් ගානේ ඇහෙන ලා කරස් සද්දේ, මේකේ නැවුම් බව පෙන්වන සලකුණක්. බැලූ බැල්මට හිතෙන්නේ මේකේ මැද පුරවලා තියෙන්නේ බ්ලූබෙරිවලින් විතරයි කියලා. ඒ වුණාට ඇතුළේ පොඩි කරපු චීස් කේක්නුත් දාලා තිබුණා.

අයිස් මයිලෝ එකත් පට්ට රසයි. මොකද නිකන් ම කූල් කරපු මයිලෝ නෙවෙයි මේ. උඩින් චොකලට් සිරප් එකකුත් වත් කරලයි දුන්නේ. ඒ නිසා චොකලට් රස තවත් හොඳට දැනුණා. සීනිත් ගානට. මේක නම් අපි දෙන්නා බිව්වේ තරගෙට වගේ.

සර්විස් එක

කලින් කිව්වා වගේ ම, මෙතන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. හැබැයි බිල දානකන් වැඩිවෙලා ඉන්න ඕනේ නැහැ. කොච්චර දිග පෝලිමක් වුණත් එයාලා පට් පට් ගාලා ඒ වැඩේ කරලා දෙනවා.

අවසාන වශයෙන්

බ්‍රෙඩ්ටෝක්  කියන්නේ ලංකාවේ සාමාන්‍ය බේකරි රැල්ලට හැමවෙලේම අලුත් දෙයක් එකතු කරන්න බලන බේකරියක්. ඕනේ ම බේකරියක හැමදාම දකින්න ලැබෙන රෝල්, පැටිස්වලින් මිදිලා අලුත් විදියට කෑම හදන්න මේ කට්ටිය උපන් හපන්නු. පෙනුම විතරක් නෙවෙයි, මේවයේ රසත් සෑහෙන්න හොඳයි.අනික ගෙවන මිලට ඉස්තරම්ම වටිනකාමක් ඇති කෑම බීම මෙතනින් ලැබෙනවනේ.


TIP

Have their Chicken Floss or end your life. Jokes, just have their floss.

Address

No 33, Park Street, Colombo 02

Directions

Head down Park Street and pass Park Street Mews and Crown. BreadTalk is at the confusing roundabout to your right. Turn into the car park and head all the way down.

Contacts

Website Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pasta Cakes Pizza Short Eats Coffee

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
5
User Reviews
See 9 Comments