Open until 10:30 PM
Good place to have a little snack with an amazing lake view.
දුර බැහැර ඉඳන් ආපු යාළුවෙකුත් හිටපු නිසා දවල් කෑමට හොඳ තැනක් අල්ල වෙලා තිබුණෙ. ඒත්, වැඩේ කියන්නෙ අතේ ලොකු ගාණක් තිබ්බෙ නෑනෙ. කරන්නම දෙයක් නැති තැන තමයි විශ්විට කතා කරල ඇහුවෙ, පොඩි ගාණට බඩ පැලෙන්න කන්න පුළුවන් අළුත් ප්ලේස් එකක් තියෙනවද කියල.
“ඒ බං... මහරගම, බොරලැස්ගමුව වැව් කණ්ඩියෙ නියම කඩයක් තියෙනවය කියල නං ආරංචියි, බර්ගර් ලෑන්ඩ් කියල. හැබැයි මම ගිහින් නෑ. මොකද කරන්නෙ?”
“අවුලක් නෑ බං. මම ගිහින් බලන්නං”
විශ්වි එවපු ෆේස්බුක් ලින්ක් එකත් ටිකක් පිරික්සපු මම කඩේ කෑම කෙසේ වෙතත් ප්ලේස් එක හරි මරුනෙ කියල එතනට යන්න හිතා ගත්ත. හිතාගෙන පික්මියක් එහෙමත් දාලා හෙමිහිට ලෑස්තිවුණා.
ඒත් කොහෙද, පික්මියට නැග්ගට රුං ගාලා යන්න කියලයැ. ස්කූල් ටයිම් නිසා අම්බානක ට්රැෆික්. කොටින්ම කියනව නම් මහරගමට කිට්ටු කරන්නම පැයක් විතර ගියා. එහෙන් මෙහෙන් දාලා අමාරුවෙන් බොරලැස්ගමුවට කිට්ටු කරද්දි 3.30යි. අවංකයෙන්ම හිතට සතුටකට කියල තිබ්බෙ කඩේ ඒ හැටි සෙනඟක් හිටපු නැති එක තමයි. අනික එයාලගෙ සේවාවත් සෑහෙන්න සුහද පාටයි. මොකද ඇතුළට යද්දිම හිනාවක් දාලා, සේවක මිත්රයෙක් එහෙම ළඟට ඇවිල්ල මේසයක් පෙන්නල, වාඩි කරවල, මෙනුවකුත් අතට දුන්න. අවාසනාවට අපිට බැල්කනි එක පැත්තෙ නම් වාඩි වෙන්න වුණේ නෑ. මොකද කඩේ ඉඳපු එකම සෙට් එක කෑම කකා හිටියෙ ඒ පැත්තෙ.
කොහොම වුණත් මොකද කියල මෙනුව පෙරළපු යාළුවයි මායි ඉස්සෙල්ලම ඕඩර් කළේ ලයිම් ජූස් එකකුයි (රු. 160) මැන්ගො ජූස් එකකුයි (රු. 160). ඊට පස්සෙ බර්ගර් ලෑන්ඩ් ස්පෙෂල් රයිස් එකකුත් (රු. 1180) ගේන්න කිව්ව. වැඩේ කියන්නෙ මෙයාලගෙ නම බර්ගර් ලෑන්ඩ් වුණාට මෙනුවෙ තියෙන්නෙ බර්ගර් ජාති 4යි කියන්නකො. නමේ හැටියට බර්ගර් එකක් රස නොබලත් බෑ... කරන්නම දෙයක් නැති තැන දෙන්නම කතාවෙලා ප්රෝන්ස් සබ්මැරීන් එකක් (රු. 590) ඕඩර් කළා.
කරල ඉවරවෙලා ඉතින් පොඩි කතා බහක් දාගෙන, වැව දිහා බලාගෙන හිටිය. ඔය අතරට අපේ මේසෙත් හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප ටිකෙන් ලෑස්ති වෙලයි තිබුණෙ. උපරිම විනාඩි 10ක් යන්න ඇති… මෙන්න ඉස් ඉස්සෙල්ලාම කියල ජූස් 2 මේසෙ උඩ. ගත්ත ගමන් මම ලයිම් පොඩ්ඩක් රස බැලුව.
ෂප්පේ! ටොප් ඈ… ආයෙ කෙළින්ම ඔරිජ්නල් ලයිම් ජූස් හදන විදියට තමයි වැඩේ කරල තියෙන්නෙ. ඒ කියන්නෙ අර ලෙල්ලෙන් එන තිත්ත ගතිය එහෙම පොඩ්ඩක් එකතු කරල, සීනිත් ලාවට වගේ දාලා කූල් එකත් දැනෙන නොදැනෙන ගානට. ඇත්තටම රයිස් කොත්තු වගේ එකකට නම් කියාපු ලයිම් ජූස් එක.
කිව්වට විශ්වාස කරන්න අඹ ජූස් එක ඊටත් එහා කියන්නකො. සුපිරිම අඹ ගෙඩියක් තමයි පාවිච්චි කරල තියෙන්නෙ. අනික සීනි දාලා නෑ. වතුර වෙනුවට අයිස් කැට ටිකක් විතරක් දාලා නිසාද කොහෙද ජූස් එකත් හරි ඝනේට, රහට තියෙනව.
ඔය අතරෙ දුම් ද දා මේසෙට ආවෙ අපි ඉල්ලපු ස්පෙෂල් රයිස් එක. ඇත්තටම දැක්කාම නම් අපිට බලාගෙන ඉන්න බැරි වුණා. ජූස් 2 පැත්තකින් තියපු මායි යාළුවයි, දඩි බිඩියට රයිස් එක්ක චොප්සි බෙදා ගත්ත. මට ඉවසන්නම බැරි වුණේ ලොකු දැල්ලො කෑල්ලක් රස බලනකම්. ඇයි අප්පේ… අල්ලක් සයිස් ඇති දැල්ලා. ඒ මදිවට දවටල බැදලත් එක්ක. ගත්ත ගමන් බත් කටක් රස බලපු මම ගෑරුප්පුවට දැල්ලෙක් අරගෙන සෝස් ටිකක් ගාලා කාලා බැලුවා.
චැහ්! ඒ මොකද අප්ප ඒ… පෙනුමෙ හැටියට මම හිතුවෙ රස ඉහටත් උඩින් තියෙයි කියල. ඒත් දැල්ලගෙ හතර මායිමක නෑ කියන්නකො දැල්ලො රසක්. අර දවටපු පාන් පිටි හරි මොනවයෙ හරි රස ලාවට එනව. හැරත් ඒක ටිකක් පරණ රහක් අප්ප. මම හිතන්නෙ මෙයාල පාවිච්චි කරල තියෙන්නෙ ෆ්රීස් කරපු බඩු වෙන්න ඕන. ඒ ගැම්මටම ඉස්සෙකුත් අරගෙන රස බලපු මට වැඩේ හොඳ හැටි තහවුරු වුණා. මොකද ඉස්සගෙනුත් ඉස්සො රසක් ඒ හැටි එන්නෙ නෑ. අර පරණ රහ තමයි එන්නෙ. යාන්තම් චිකන් එක නම් ගොඩ ගිහින් තියෙනව. ඒකත් දවටල බැදල වුණාට අනිත් ඒවට සාපේක්ෂව රසේ පොඩි අළුත් ගතියක් තියෙනව. ඒ හැරුණාම ඉතින් සොසේජස් නම් අළුත් ඔන්න.
විශේෂයෙන් කියන්න ඕන මෙයාලගෙ රයිස් එකේ රසත් එච්චරම කොලිටි නෑ. මොකද ඒකට එළවළු කෑලි, බිත්තර, මිරිස් ජාති මොනවත්ම එකතු කරල නෑ. තිබ්බ එකම දේ තම්බල බැදපු බිත්තරයක්. යාළුව ඒ දේවල් ගැන එච්චර තකන්නෙ නැති නිසා, ඇර නොතිය කෑවට මට නම් වැඩේ හිතට සෙට් වුණේ නෑ. ඉතින් මම කළේ බත් චුට්ටක් කාලා සබ්මැරීන් එක පැත්තට හැරුණ එක.
අනේ අපොයි! දුරට ඇපල් ළඟට පැපොල් කිව්වලු. සබ්මැරීන් එකේ මැද්දට පුරවපු මික්සර් එකේ තිබ්බ තෙල් තොගේ. මගෙ හිතේ තෙල් කාලකට කිට්ටු වෙන්න ඕන. හැරත් ඒකෙ රසත් පට්ට අවුල් අප්ප. හරියට ලොකු ඉස්සො දාපු සීනි සම්බෝලයක් වගේ. එහෙමයි කියල ඉස්සො ඒ හැටි දාලා තිබ්බෙත් නෑ. උපරිම 4ක් වගේ. ඒ වුණාට මයොනීස්, සෝස්, චීස් එහෙම නම් දෙපැත්තෙන් බේරෙන ගානට.
අනේ මන්ද ඉතින්. බඩගින්නට කෑව මිසක් නැත්නම් ඉතින්….?
ඇත්තටම එතන හොඳයි, ප්ලේස් එකත් පංකාදු පහයි හැබැයි ජූස් එකක් බොන්න වගේ විතරයි හොඳේ!
Open until 10:30 PM
Cuisine
Western Sri Lankan Sri Lankan Chinese
Price Range
Dish Types
Noodles Eggs Seafood Pasta Vegetarian Kottu Fried Rice Chicken Fried Chicken Fish Burgers Submarines Wraps Fruit Juice
Ratings Breakdown
Calm & cool place to have a great Sri Lankan,…
Delicacy Top is one of the best places around Badulla to…
Delete Comment