Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

5/5

Cafe Albero

589, Athurugiriya road, Malabe


A beautiful gallery to have great authentic Sri Lankan food & Italian cuisine with a chill chat.



‘අහම්බෙන් දැකල, වෙලාවට ගොඩවුණේ’ කියල හිතිච්ච අවස්ථා තියෙනවද? 

තියෙනවද? 

තියෙනව නම් හොඳයි. නැත්නම් එහෙම එකක් සෙට්වෙයි, අස්ප බඩගින්නක මාලඹේ-අතුරුගිරිය පාර පැත්තෙ ගියා නම්.

ආයෙ, මට සෙට්වුණා කියන්නකො එහෙම එකක්, මේ ළඟදි. හරිම සන්තෝසයි ඈ.. ඇත්තටම මතක ඇති කාලෙක, ධනාත්මකව සිද්ධ වෙච්ච පළවෙනි සිද්ධියද කොහෙද. මොකද වෙනදට වෙන්නෙ ‘අහම්බෙන් දැකල ගොඩවුණාට පස්සෙ, පජාත වෙලා එළියට බහින එකනෙ’

කොහොමහරි ඕක සිද්ධ වුණේ පහුගිය දවසක හැන්දැ වරුවෙ, මම හදිස්සි වැඩ වගයකට මාලඹේ ගියපු වෙලාවෙ. දන්නැද්ද ඉතින් ට්‍රැෆික් එකේ ගිහිල්ල ගිහිල්ල එපා වෙලා හිටයෙ. ඊටත් බඩගින්නයි තිබහයිත් ඉහවහා ගිහින්. කොහොමහරි සනික වැඩේ ඉවර කරගත්ත මම එළියට බැස්සෙ කොහේ හරි කමක් නෑ, මොකක් හරි කඩයකින්, මොනවහරි කාලා, මොනවහරි බොනව කියල හිතාගෙන. ඒත් කොහෙද, කියල අඩි දහයක් යන්න හම්බවුණේ නෑ.. හිත ඩැහැ ගත්තනෙ හැඩට වැඩට හදල තිබ්බ අමුතු ප්ලේස් එකකින්!

බැලින්නම්, ‘ඉටෑලියන්!

අනිවා මිල්ක් ෂේකුත් ඇති. පැස්ටා පාරක් දාලම බොනව එකක්’ කියල මම අඩියට දෙකට ගොඩවුණා ඇතුළට. කිරි අප්පේ.. ඒ ගොඩවුණාමනෙ, පාරට පේන්නෙ නිකම් ඕපන් කැෆේ එකක් විතරයි. හැබැයි එතන?

යාළු තනිකරම ඒක ආර්ට් ගැලරියක්. ඇතුළ ඒසී කරල, ඩිම් ලයිට් දාලා, ලස්සන පුටු මේස, සෝෆා තියල. ඒ මදිවට ඉඩමෙම තිබ්බ ගහක් වීදුරුවලින් කොටු කරල හදල තියෙනව කලාවට.. කොටින්ම ගියාට පස්සෙ මතක නෑ, මොකටද ආවෙ කියල. හැරත් ඒ බිත්තිවල ගහල තිබ්බ චිත්‍ර ටික! සත්තයි, හිතම හීතල වෙනව ඒවා දැක්කාම.

ඇත්තටම මට වාඩි වෙන්න සිහියක් නෑ. හිටගෙන වටපිට බලනව. වෙලාවට ඒ අතරට සේවක මිත්‍රයෙක් ආවෙ.

“ගුඩ් ඊව්වින් සර්. වාඩි වෙන්න. මොනවද කන්නේ..”

“කන්නෙ කියන්නෙ. මම මේ බැලුවෙ,

මේ.. කවුද මේ චිත්‍ර අඳින්නෙ. ඔයාලා සල්ලිවලට ගත්ත ඒවද? අර ගහ එහෙම අරම තියන්න ප්ලෑන් ක‌ළේ කවුද?”

“සර් මේ ඔක්කොම අපේ බොස්ගෙ ඩිසයින්. එයා ඉටලිවලනෙ හිටියෙ ගොඩක් කල්. හරි කලාවට බර මනුස්සය. සර් වෙලාවක එන්න එයත් එක්ක කතා කරන්න”

“එහෙමද?

නියමයි කියන්න ඈ එයාට.

මට.. ගේන්නකො මල්ලි පැස්ටා මොනවහරි. මොනවද ඔයාලගෙ නැගල යන්නෙ?”

“සර්, අපේ තියෙනව කාබොනාරා (රු. 750). මං හිතන්නෙ ඒක හොඳවෙයි සර්ට. ඒකයි.. සර් අපේ තව තියෙනව අලුත්ම නිගම්බො ක්‍රැබ් විත් රෝස්ට් පාන් ඇන්ඩ් පොල්සම්බෝල එකක් (රු. 1500). ඒකත් නියමම නියමයි සර්. මම කියනවට පොඩ්ඩක් ට්‍රයි කරල බලන්නකො. සර්ට ඕකේ නම් ටේකවේ දාලා දෙන්නම්, ගෙනිහින් කන්න.”

“එහෙමද?

ම්ම්.. ඒකත් හොඳ අයිඩියා එක ඈ.. හුඟ කාලෙකින් ගෙදර අයත් එක්ක, එකට කන්න හම්බවුණෙත් නෑ. තව මොනවහරි එකක් රෙකමන්ඩ් කරන්නකො මල්ලි. එතකොට එකපාරම ගන්න පුළුවන්නෙ”

“සර්.. මොනව වගේද? බර්ගර්, සැන්ඩ්විච්..”

“ආ.. බර්ගර්. බර්ගර් හොඳයි. බර්ගර් මොනවද තියෙන්නෙ?”

“සර් බර්ගර් නම් හොට්බටර් කැලමාරි තමයි. එහෙම නැත්නම් ඇල්බෙරෝ ස්පෙෂල් (රු. 450) තියෙනව”

“ම්.. සීෆුඩ්වලට ක්‍රැබ් ගත්තනෙ මල්ලි. අපි දාමු ඇල්බෙරෝ ස්පෙෂල් එකක්. ඒකයි… බොන්න මැංගො පැෂන් (රු. 320) එකකුත් ගේන්න. මං බැලුවෙ ඩෙසට් එකට..”

“හරි හරි සර්. ඩෙසට් එකට මම සර්ට නොකිය දෙයක් දෙන්නම්. කාලා බලන්නකො ඒක කොහොමද කියල?”

වැඩක් නෑ ඉතින් කියල. සර්විස් නම් අන්න සර්විස්. ආයෙ යාළුවෙක් වගේ ඈ.. අනික මාර ඉන්ටරස්ටින්ග් එහෙම කතා කරද්දිත්. හැරත් කෑම ටික එනකම් මාර කුතුහලයෙන්නෙ ඉන්නෙත්.

කොහොමහරි ඉතින් එහෙම ඉන්නකොට ඉන්කොට.. මුලින්ම මේසෙට ආව ක්‍රැබ් විත් රෝස්ට් පාන් එක.

ඒක ආවා, ආවම තමයි. මම පුටු පෙරලගෙන බිම වැටුණෙ නැති එක විතරයි. ඇයි කියල කියන්න ඕන නෑ, ඔන්න පහළින් තියෙනව ෆොටෝ එක ඔයාලම බලාගන්නකො.

පිස්සු කොර වෙලා, කොර දියවෙලා යන්නෙ. හප්පේ.. ඒ කකුළුවා! අල්ලක් වගේ දෙගුණයක් ඇති සයිස් එක. ඒ වගේම තමයි පාටත්. තැඹිලි රතු පාටට, කොළ පාට කොත්තමල්ලි කොළවලින් හැඩ කරල. ෂැහ්, කියල වැඩක් නෑ සුවඳත් තියෙනව ආයෙ, නහයට ලං කළාම ඇති කටට කෙළ උනන්න. අනික ඒ පොල් සම්බෝලෙත් ටොපේ ටොප්නෙ. කොටින්ම කියතොත් තනිකරම ශ්‍රී ලංකන්. හොඳ හැටි මිරිස්, අමුමිරිස්, ගම්මිරිස් දාලා, උම්බලඩ ලූණු ටිකක් එක්ක කොටල, ලුණු, දෙහි ටිකත් පදමට දාලා... නිකමට පාන් කෑල්ලක් කෑවෙ ඒකත් එක්ක, කකුළුවට කලින් ආරම්භයක් ගන්න කියල. අන්තිමට කොහොමහරි පාන් කාලක්ම කාලා ඒකත් එක්කම. ඊටත් කකුළුවට බැස්සට පස්සෙනෙ, හොද්දයි පොල්සම්බෝලෙයි මාරුවෙන් මාරුවට රස වෙනකොට, දන්නෙම නෑ පාන් බාගෙ, තුන්කාලට ගිහින්. ඇයි ඉතින් සැරයි, ෆ්‍රෙෂ් ගතියයි, ලා කිරි රසයි, කුළුබඩු අඩුම කුඩුම පදමයි...

ඒ අතරට සැර නිවන්න ආපු මැංගො පැෂන් එකත් සෑහෙන්න හොඳයි. හැබැයි ඒකෙ එකම අවුල තමයි ෆ්‍රෙෂ් ගතිය පොඩ්ඩක් මදි එක. මගෙ හිතේ රස ගන්න ලාවට රසකාරකත් එකතු කරල තියෙන පාටයි.

ඒත් ක්‍රැබ් එකෙන් පස්සෙ අත තියපු පැස්ට එක නම් පංකාදු පහයි. හොඳ හැටියට චීස් පදම, බට්න් මෂ්රූමුත් දාලා තියෙනව මදි නොකියන්න. අනික උණුඋණුවෙ නිසා සුවඳත් නොම්මර එකටම!

වැඩේ වුණේ ගෙදර ගෙනියන්න ගත්ත නවබවනවවන බර්ගර් එකත්, ඉවසන්නම බැරි තැන එතන තියාගෙන පොඩ්ඩක් රස බැලුවනෙ. එතකොට තමයි දැක්කෙ ඒ පැටි එක තනිකරම එයාලා හදපු එකක් කියල. ලාවට කුළුබඩු අඩුම කුඩුම, ලුණු ඇඹුල් ටිකකුත් ගලපපු පාටයි. එතකොට.. ගැඹුරු තෙලේ හොඳ හැටි බැදල නිසා, පෑන් ෆ්‍රයි කරපු බනිස් පලු දෙකත් එක්ක, චීස්වලට මැදි වෙලා හැපෙද්දි... දිව්‍ය ලෝක රසයි ආයෙ! ඊටත් ඒකටම ආපු එයාලගෙම ෆ්‍රයිසුයි, ටැමරින්ඩ් සෝස් එකයිත්නෙ. ෂැහ්, කියල වැඩක් නෑ. අමුතුම රසක්, මාරම වෙනසක් ඈ…

ඇරපු අතක් නෑ, ඉස්මුරුත්තාවෙ වෙනකම් කාලා ඉඳපු මනුස්සයට, හිතක් පපුවක් නැතුව ඩෙසට් එකකත් ගෙනාවා කිව්වාම? 

කටක් කෑවා, දෙකක් කෑවා.. නිකම් කුරුම්බා, තැඹිලි අයිස් ක්‍රීම් වගේ. හැබැයි කිතුල් හකුරු දාලා නිසා එක පාරටම හිතා ගන්නත් බෑ. කොහොම හරි ඒක දීලා සේවක මල්ලිත් ගියානෙ. ඉතින් අහන්න කවුරුත් හිටියෙත් නෑ.

කාගෙන කාගෙන ගියා.. ඒකත් ඉවර වුණා… විනාඩි කීපයකට පස්සෙ තමයි!

“කොහොමද සර් අපේ කුරුම්බා පන්නාකොටා (රු. 330) එක?”

එච්චරයි!

උත්තර දීගන්න බෑ.. ඉෂ්මුරුට්ටයි...


TIP

Try Negombo Crab with Roast Paan!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment