Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Cafe D Three

Nugegoda


A cosy cafe tucked away in Nugegoda.



දැන් දැන් කොළඹ අවට කැෆේ ඕපන් වෙන්නෙ බලන් ඉද්දි. හැබැයි ඉතින් කැෆේ කියන්නෙ කොච්චර තිබ්බත් වැඩි වෙන ජාතියක් නෙමෙයි නෙ. අපිටත් ඉතිං ඔය ඕපන් කරන අලුත් අලුත් කැෆේස් පැත්තෙ නොයා ඉන්න හිත හදාගන්න හරි අමාරුයි. ඔන්න අපි මේ පාරත් ඒ වගේ කැෆේ එකක් හොයාගෙන ගියා. මේකෙ නම කැෆේ ඩී ත්‍රී. එළියෙ නවතින්නෙ නැතුව වැටෙන වැස්සෙ සීතල මදිවට ඔෆිස් එකේ ඒසී එකෙනුත් ගල් වෙලා වෙව්ල වෙව්ල හිටපු අපේ බඩගින්නත් එවෙලෙ උත්සන්න වෙලයි තිබුණෙ.

තැන

කැෆේ ඩී ත්‍රී තියෙන්නෙ කොහුවල සුනේත්‍රාදේවි පාරෙ කීල්ස් එක ඉස්සරහම. ලොකුවට බෝඩ් එකක් එහෙම ගහල නැති වුණාට මෙතන බලන බලන වෙලාවට පිරිල ඉන්නව කවුරු කවුරු හරි. සෑහෙන කාර්යබහුලයි. ඇතුළේ නං ඒ තරං ඉඩකඩක් නෑ. ඒකට මොකද හරිම පිළිවෙළයි පිරිසිදුයි ප්‍රියමනාපයි. ඇතුළෙ ඉඩ අඩු වුණාට එළියෙ හුඩ් එක යට සුදු පුටු මේස දාල පහසුවට වාඩිවෙන්න ඉඩ සලසල තියනවා.

කෑම

චිකන් බේකන් ඇන්ඩ් චීස් සැන්ඩ්විච් එකයි (රු. 250), සොසේජ් පේස්ට්‍රි එකයි (රු. 150), චොකලට් කේක් කෑල්ලයි (රු. 300). ඒ තමයි අපි ගත්ත කෑම.

චිකන් බේකන් ඇන්ඩ් චීස් සැන්ඩ්විච් එක ගැන කියමු මුලින්ම. මේකෙ පෙනුමෙ ඉඳලම තිබ්බෙ හරි නුහුරු බවක්. මොකද කිව්වොත්, මේකට පාවිච්චි කරල තිබුණෙ ඉටැලියන් චබාටා පාන්. චිකන් පෙත්තක්, බේකන් පෙත්තක්, තක්කාලි රවුමක්, ගෝවා කොළයක්, පිපිඤ‍්ඤා රවුමක් උඩට දාපු චීස් ගොඩක් තමයි ෆිලිං එක. මේකෙ අඩංගු ඔක්කොම දේවල් පිරිසිදුයි වගේම ෆ්‍රෙෂ් කියල පළවෙනි කට කනකොටම දැනුණා. ඒ වගේම බොරු කරන්නෙ නැතුව හැම ජාතියක්ම සැලකිය යුතු ප්‍රමාණවලින් සැන්ඩ්විච් එක ඇතුළට පුරවලා. සැන්ඩ්විච් එක ලොකු හින්ද සෑහෙන බඩත් පිරෙනවා.

සාමාන්‍යයෙන් පේස්ට්‍රි ෂොප්ස්වල තියෙන සොසේජ් පේස්ට්‍රිවල තත්වෙ දන්නව නෙ. පේන්නෙවත් නැති සොසේජ් එකක් දාල මදිවට පළවෙනි කට කනකොටම පේස්ට්‍රි එක කුඩු වෙලා හැලිල ඉවර වෙනව නෙ. හැබැයි කැෆේ ඩී ත්‍රී එකේ සොසේජ් පේස්ට්‍රි එක ඊට සහමුලින්ම වෙනස්. මේක ලොකු හොට්ඩෝග් එකකට දාන තරම් ලොකු සොසේජ් එකක් දාපු, කුඩු හැලෙන්නෙ නැතුව සම්පූර්ණයෙන් කන්න පුළුවන් පේස්ට්‍රියක්.

චොකලට් කේක් කෑල්ලත් අපි බලාපොරොත්තු වුණ විදිහටම රසගුලාවක්. කේක් කෑල්ල ලොකු නිසා එක දිගට කාගෙන යද්දි නං පැණි රහ ගතිය වැඩියි කියල හිතුණ.

බීම

අපේ බීම ඕඩරේ වුණේ හොට් චොකලට් එකයි (රු. 350) බ්ලූබෙරි ෂේක් එකයි (රු. 350). වැස්සෙ සීතලට හරි යන්න හොට් චොකලට් එක ඕඩර් කළාට මොකද, මෙනු එකේ බ්ලූබෙරි ෂේක් එක දැක්කම කූල් වුණත් කමක් නෑ, ඒකෙ රහ නං බලන්නම ඕන කියල අපි තීරණේ කළා.

හොට් චොකලට් එක ආවෙ නියම මඳ රස්නෙන්. අපූරුවට චොකලට් රහයි කිරි රහයි කැටි වෙලා. පෙනුමෙන්ම රහ දැනෙනවා.

බ්ලූබෙරි ෂේක් එක නං මං හිතුව ස්ටෑන්ඩර්ඩ් එකට තිබුණෙ නෑ. ඇයි කිව්වොත් මට ඒකෙන් ආවෙ කිරි රහ විතරයි. මෙලෝ රහක් නැති ආටිෆිෂල් බ්ලූබෙරි ෆ්ලේවර් එකක් යන්තං ගෑවිල වගේ තිබ්බා. හැබැයි මගෙ යාළුවට නං ඒවයෙ ගාණක් නෑ. ගත්ත ගමං බීගෙන ගියේ ඔය යසට..

සර්විස් එක

මෙතන වැඩ කරන අය ඉතාම හොඳින් කස්ටමර්ස්ල ගැන හොයල බලනව අපි දැක්ක. හැමෝම එක්ක සුහදව කතා කරල හිනා වෙලා ඉන්න ඒගොල්ලො හොඳට දන්නව..

අවසාන වශයෙන්

නුගේගොඩ අවට කොහෙහරි ඉන්නව නං, යාළුවො ටික සෙට් වෙලා කයියක් ගහන්න වුණත්, තනියම වැස්ස දිහා බලන් කෝපි එකක් තොල ගාන්න වුණත්, මරු තැනක් කැෆේ ඩී ත්‍රී. කෑමත් රහට වගේම කොලිටියට තියන නිසා, එහෙ යන කවුරුත් පසුතැවෙන එකක් නං නෑ..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment