Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Cafe Mocha (by Barista)

No. 28, Stratford Avenue, Colombo 06


Your regular Barista in a beautiful building.



ඔය සමහර යාළුවො ඉන්නවා, උන්ට කොයි වෙලාවෙත් දොළදුක. මොකක් හරි කෑමක් අල්ලගෙන ඒක ඕනේ ගගා කෙඳිරි ගාන එක තමයි උන්ගේ රාජකාරිය. මගේ මේ එහා පැත්තෙ ඉන්න නබීලාත් ඒ වගේ. උන්දැගේ පුරුද්දත් සුමානෙකට සැරයක් කොහෙහරි තියෙන කෑමක් ගැන හිත හිත නහයෙන් අඬන එක. පහුගිය දවස්වල එයාට තිබුණේ කැෆේ මෝකා එකේ “චිකන් මෂ්රූම් වොෆල්” එක ගැන දොළදුකක්. දවල් කෑමක් බලලා මාත් මේ පැත්තට ගියේ ඒ වදෙන් ගැළවෙන්න ඕනේ කියලා හිතුණු නිසාමයි.

තැන

මේක තියෙන්නේ කිරුළපන හංදියට පොඩ්ඩක් මෙහායින් තියෙන ස්ටැෆෝඩ් ඇවෙනිව් එකේ.  ස්ටැෆෝඩ් ඇවෙනිව් එකට හැරෙන තැන ඉඳන් මීටර් 50ක වගේ දුරක් ඇති වැඩි ම වුණොත්. කැෆේ මෝකා එක අපි කවුරුත් දන්නා බැරිස්ටා කැෆේ එකෙන් ම කරගෙන යන තවත් කෝපි කඩයක්.

දොරින් ඇතුළු වෙද්දී ම දැකගන්න ලැබුණේ ඉංග්‍රීසි තාලේ ගෙදරක හැඩ රුව. රතු පාට ගඩොලින් හදපු බිත්තියකුත්, පොළොවේ ඉඳන් උඩට තියෙන ලොකු ජනේලෙනුත් මේ බව හොඳින් ම පේන්න තියෙනවා. තට්ටු දෙකක් ඇති කැෆේ මෝකා එක සෑහෙන්න ඉඩකඩ ඇති එකක්. පොළොව සම්පූර්ණයෙන් ම හදලා තියෙන්නේ පොලිෂ් කරපු ලීයෙන්. ලොකු සෝෆා වගේ ම, ලී පුටු මේස හරි පිළිවෙලට අහුරලා තියෙන නිසා, හොඳ සුවපහසු ගතියක් මෙතැන තියෙන වග සැකයක් නැතුව ම කියන්න පුළුවන්.

කෑම බීම

මෙතැන ඕඩර් ගන්නේ පහළ තට්ටුවෙන්. කෑම වර්ග විදියට තියෙන්නේ සැන්විච්, වොෆල්, පනීනි වගේ දේවල්. බීම මෙනුවේ දැකගන්න ලැබෙන්නේ අපට හුරුපුරුදු බැරිස්ටා මෙනුවේ තියෙන කෝපි, අයිස් ටී වර්ගයි.

බඩ පිරෙන දෙයක් කන්න ඕනේ නිසා ම, මං ඕඩර් කලේ චිකන් ලසඤ්ඤා (රු.780) එකක්. කලින් කිව්වා වගේ ම නබීලා ට ඉතින් වොෆල් දොළදුකනේ. එයා ගත්තේ චිකන් මෂ්රූම් වොෆල් (රු.580) එක. දෙන්නට ම අඩුවක් නැතුව බොන්න පුළුවන් නිසා, ලොකු කපුචිනෝ (රු.510) එකකුත් අපි ඕඩර් කළා.

අනේ චිකන් ලසඤ්ඤා එක! දැක්ක ම බඩ පපුව දාලා ගියා. පිටින් දැක්කත් හරි ම වේලිච්ච පාටයි. චීස් කියන ජාතිය අහලකවත් නැති ගානයි. පෙනුමෙන් කිසි දෙයක් මනින්න එපා කියලනේ ඉස්කෝලෙත් කියලා දෙන්නේ. ඒ නිසා මං පොඩ්ඩක් ගෑරුප්පුවෙන් ඇනලා, ලසඤ්ඤා කෑල්ලක් කටේ ඔබා ගත්තා. චිකන් තියෙන ගතියක් නම් තේරෙනවා. ඒත් චීස් රස දැනෙන්නේ සෑහෙන්න අඩුවෙන්. අනික මේකේ රස්නේ ගතිය තිබුණේ උඩින් විතරයි. යට හරිය හොඳට ම සීතලයි. මොනවා කරන්නද? ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න පුළුවන් එකක්යැ.

නබීලා ගත්ත වොෆල් එක කිව්වත් වගේ හරි රසයි. ඒක උඩින් දාලා තිබුණේ චිකන්, මෂ්රූම් එකතු කරපු පේස්ට් එකක්. නියමෙට ම අල්ලලා ගියා මේක නම්. “වොෆල් එකක් කාලා මොනවා කරන්නද” කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ පේස්ට් එකේ තියෙන චිකන් තොගේට ම හොඳට බඩ පිරෙනවා.

අපි ඕඩර් කරපු ලොකු කැපුචිනෝ එක, දෙන්නෙක් ට ඇති. මේක තඩි කෝපි කෝප්පයක්. සීනි තේ හැඳි තුනක් දැම්ම ම හොඳ ගාන. කෝපි රසත් අඩුවක් නැතුව දැනුණා.

සර්විස් එක

කැෆේ මෝකා එකේ සර්විස් එක නම් තරමක් අවුල්. අපේ කෑම ටික මේසෙට එන්නත් විනාඩි 20ක් විතර ගියා. ඕඩර් කරපු කෑම බීම ටික කාලා ඉවරවෙලා පැය ගාණක් හිටියත්, කඩේ කවුරුවත් නෙවෙයි පැත්තවත් බලන්නේ. ඒ නිසා ම දෝ කොහේදෝ අපේ සමහර “ලව් කපල්” අතරේ සෑහෙන්න ජනප්‍රිය තැනක් මේක.

අවසාන වශයෙන්

වාතාවරණය පැත්තෙන් ගත්තොත්, කැෆේ මෝකා එක මරු. ඉඩකඩ ඇතිව අතපය දිගෑරලා සැප පහසුවට ඉන්න පුළුවන්. ලසඤ්ඤා එක ගැන හිත අමාරු කරගත්තට, අනිත් කෑමවල වරදක් අපට දකින්න ලැබුණේ නැහැ. කටට රහට කෝපි උගුරක් බිබී, පැය ගාණක් වුණත් යාලුවොත් එක්ක කයියක් දාන්න නියමෙට ම ගැළපෙන තැනක් තමයි මේක. ඒ විතරක් නෙවෙයි, ඔය රාජකාරි සම්බන්ධ මීටිමකට වුණත් කැෆේ මෝකා එක අපූරුයි.


TIP

They host bookswaps towards the end of the month.

Address

No. 28, Stratford Avenue, Colombo 06

Directions

Go down High Level Road (one way) and turn into Stratford Ave. It's opposite the temple, and is just past Gandhara.

Contacts

Facebook Website

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches Wraps Waffles Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
3
Ambience Rating
4

Similar Places

See 5 Comments