Artwork for Kingsbury

4/5

Cafe Vortex

  • Open 9.00 AM to 6.30PM Every Day

පරිගණක ක්‍රීඩා කරමුද? ‍‍කොහුවල හන්දියේ Cafe Vortex එකට යමු!

  • No 10, Sunethra Devi Road, Kohuwala, Nugegoda

බොහෝ තරුණ පරිගණක පරිශීලකයින් අතර පරිගණක ක්‍රීඩා අතිශයින් ජනප්‍රියයි. සමහරක් දෙනා තමන්ගේ පරිගණකයෙන් සිදුකරන එකම දේ පරිගණක ක්‍රීඩා කිරීම වෙන්න පුලුවන්. කෙසේ නමුත් පරිගණක ක්‍රීඩා කැමති පිරිසකට එක්වී ක්‍රීඩා කිරීමට හෝ ඔබ කැමති පරිගණක ක්‍රීඩාවක් රිසි සේ ක්‍රීඩා කිරීමට අවශ්‍යනම් දැන් නොයෙකුත් තැන් වල පරිගණක ක්‍රීඩා කැෆේ දක්නට පුලුවන්. නුගේගොඩ එවැනි කැෆේ කිහිපයක් අතරින් මේ ලියන්නේ මගේ ප්‍රියතම වෝර්ටෙක්ස් කැෆේ එක ගැනයි.

නුගේගොඩ කිව්වාට වොර්ටෙක්ස් කැෆේ එක තියෙන්නේ කොහුවල හන්දියේ. කොහුවල හන්දියේ ඇති සිව්මහල් ගොඩනැගිල්ලේ තෙවෙනි මහලේ තමයි පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කැෆේ එක උදේ නවයේ ඉඳලා හවස හත වෙනකන් සතියේ සෑම දවසක විවෘතයි. බොහෝ විට සෙනසුරාදා ඉරිදා උදේ වරුවක ගියොත් කැෆේ එක විවෘත කරන්නට කලියෙන්ම පරිගණකයක් අල්ලා ගන්න එතන රැඳී ඉන්න පිරිස දැක ගැනීමට පුලුවන්.

කැෆේ එකට ගෑනු ළමයි ඇවිත් ක්‍රීඩා කරන්නේ බොහොම කලාතුරකින්. ඒත් එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. වොර්ටෙක්ස් කැෆේ එකේ පරිගණක 18ක් තිබෙනවා. මේ හැම එකක්ම පරිගණක ජාලයකින්  (LAN) සම්බන්ධ වෙලා තියෙන අතරේ අන්තර්ජාලයටද සම්බන්ධයි. ඒ කියන්නේ ඔබට Multiplayer ක්‍රීඩා කිරීමට පුලුවන්. පරිගණක ක්‍රීඩා කරන අය එහි රැඳී සිටින නිසා ඔබට පුලුවන් ඒ අය සමඟ ජාලයේදී DotA හෝ Call of Duty ක්‍රීඩා කිරීමට. එහෙම නැතිනම් Need For Speed, The Battle For The Middle Earth, Splinter Cell වැනි ක්‍රීඩාද ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙනවා. පළමුවෙන් කී ක්‍රීඩා දෙකයි ජනප්‍රිය. පරිගණක ජාලයේ ඔබට සරිලන ක්‍රීඩකයන් නොමැතිනම්, ඔබට පුලුවන් අන්තර්ජාලය හරහා Multiplayer ක්‍රීඩා කිරීමට. මේ සඳහා Garena Client හෝ RGC එක භාවිතා කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

පරිගණක ක්‍රීඩා කිරීමේදී ඔබට සිදුවෙනවා ඔබ ක්‍රීඩා කරන කාලයට සරිලන මුදල මුලින් ගෙවා පරිගණකයක් ලබාගැනීමට. පළවෙනි පැයට හැටයි. දෙවෙනි පැයට පනහයි. පැය හතරක් ක්‍රීඩා කරන්නේ නම් එක පැයකට ගෙවිය යුත්තේ රුපියල් පනහ බැගින් රුපියල් දෙසීයයි. මෙම කාලය දිගු කරගන්නටත් පුලුවන්. අයිතිකරුගේ විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් නම් ඔහුට පුලුවන් කැමති වෙලාවක් ක්‍රීඩා කිරීමෙන් පසු මුදල් ගෙවීමට. මිල ගණන් නම් සාධාරණයි කියල තමයි මම හිතන්නේ. පරිගණකවල ක්‍රියාකාරීත්වය නම් බොහොම හොඳයි.

බොහෝ දෙනා ක්‍රීඩා කරන DotA ක්‍රීඩාවේ නවතම සංස්කරණය වෙන DotA 2 නම් තවම මෙහි නැහැ. එය නම් එක්තරා ආකාරයක පාඩුවක්. පරිගණක වල ධාවනය වෙන්නේ තවමත් Windows XP මෙහෙයුම් පද්ධතිය. හොඳම දේ තමයි වෙනත් කැෆේ වගේ තමන්ගෙ කාලය අවසන් වූ වහාම පරිගණකය නවතින්නේ නැහැ. ඔබට දන්වනවා. ඔබට පුලුවන් කාලය දිගු කර ගැනීමට. පාසල් කාලයේ පාසල් ඇඳුමින් නම් ක්‍රීඩා කරන්න ඇවිත් පොලිසියට අහුවෙන්න නම් එපා!

පරිගණක ක්‍රීඩා කරන සැලකිය යුතු Community එකක් මෙයට පැමිණෙනවා. ඔබටත් පුලුවන් ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමට. මටත් මෙහිදීම මුනගැසුනු විවිධ යාළුවන් සිටිනවා. ඉතින් ඔබ පරිගණක ක්‍රීඩකයෙක් නම් මිතුරන් පිරිසක් සමඟ හෝ තනිව ඇවිත් බලන්න.

Address

No 10, Sunethra Devi Road, Kohuwala, Nugegoda

Open 9.00 AM to 6.30PM Every Day

Have you visited this place?

Write your own review!
Leave A Comment