Artwork for Sampath - Top
Artwork for Kingsbury Bon Appetit

4/5

Capital City Food Court (Badulla)

No. 05, Bank road, Badulla.


හොඳට ඉඩ කඩ තියෙන භෝජනාගාරයක ඉඳගෙන යාළුවෙක් එක්ක හරි පවුලේ උදවිය එක්ක හරි රසම රස චීන කෑම වේලක් රස බලන්න නම් බදුල්ලෙ Capital City Food Court එක කියාපු තැනක්.



පහුගිය සති අන්තයෙ හදිස්සි වැඩකට බදුල්ලට ගියපු මම වැඩ ටික කලින්ම ඉවර කරලා හවස් වරුවෙ දුන්හිඳ ඇල්ල බලන්න ගියපු නිසා ආපහු ටවුමට එද්දි ටිකක් රෑ වෙලා. තනියම ගියපු ගමනෙ පාළුව කාන්සියත් එක්ක ලොකු බඩගින්නකුත් දැනෙද්දි ගෙදර යන එක ටිකකට ප්‍රමාද කරපු මම කටට රසට කෑම ටිකක් කන්න තැනක් හොයා ගෙන ගියා. ඒ අතරෙ තමයි බදුල්ල ටවුමෙ බැංකුව පාරෙ තියෙන Capital City Food Court එක මට හමුවුණේ.

වාතාවරණය

ලොකු උද්‍යානයක් වගේම ලොකු භෝජනාගාරයකුත් තියෙන ලොකු අවන්හලක් තමයි කැපිටල් සිටි කියන්නෙ. වතුර ගලාගෙන යන පුංචි පොකුණක්, මැටි පිළිම, මල් පෝච්චි, බුදු මැදුර හැරුණාම අවන්හල් උද්‍යානයේ වාහන දහයක් දොළහක් නවත්තන්නත් හොඳට ඉඩ කඩ තියෙනවා. වීදුරු බිත්ති වලින් අලංකරණය වුනු ප්‍රධාන භෝජනාගාරයෙ හතර දෙනෙක්ට වාඩිවෙන්න පුළුවන් මේසයි ඊට වැඩි පිරිසකට වාඩිවෙන්න පුළුවන් මේසයි තියල තියෙන විදිය නම් හරිම පිළිවෙලයි. ඒ හැරුණාම වායු සමනය කරපු පෞද්ගලික භෝජනාගාරත් කැපිටල් සිටි එකේ තියෙනවා.

ආහාර සහ සේවාව

'කටට රහට', 'Dragon Chinese', 'Juicy Fruits', 'Pizza Corner' කියල කඩවල් හතරකින් සමන්විත කැපිටල් සිටි ෆුඩ් කෝට් එකේ උඩ තට්ටුවෙ තමයි බාර් එක තියෙන්නෙ. සති අන්තය නිසා සෙනඟ ටිකක් වැඩි වුනත් වාඩිවෙන්න තැනක් හොයා ගන්න නම් මට එච්චර අමාරු වුනේ නෑ. හැබැයි ඉතින් අවන්හල් සේවකයෙක්ට කථා කරලා මෙනුවක් ගෙන්න ගන්න නම් මට විනාඩි දහයක් විතර බලන් ඉන්න වුනා. රෑ වෙන්න කලින් බස් එකකට ගොඩ වෙන්නත් ඕන නිසා මෙනුව පුරා කෑම හොය හොය ඉන්නෙ නැතුව Capital City Special Fried rice එකකුයි (රු. 420) Chicken Submarine එකකුයි (රු. 265) ඇණවුම් කරපු මම බොන්න ගත්තෙ සීතල වතුර බෝතලයක් විතරයි. මොකද චීන කෑම කෑවාම ඉක්මනට වතුර තිබහ එනවනෙ.

කොයි තරම් සෙනඟ හිටියත් කැපිටල් සිටි එකේ සේවාව නම් හරිම කාර්යක්ෂමයි. මොකද මම ඇණවුම් කරපු Chicken Sub. එක මගේ මේසෙට එන්න ගියේ විනාඩි 5කටත් අඩු කාලයක්. Dinemore, Burger King වගේ අවන්හල් වල සබ්මැරීන් තරම් පෙනුමක් Capital City Sub. එකේ නැති වුනාට රසින් නම් ටිකක් විතර හොඳයි. ඇත්තටම මේක Mini Sub එකක්. මොකද බනිස් එකත් තරමක් පොඩියි. මැද්දට දාලා තිබුණ කුකුල් මස් වලින් නම් බැදලා උයපු රසක් තමයි එන්නෙ. මොකද ඒ කුකුල් මස් වල ලා තුන පහ රසක්, සැර ගතියක් එක්ක තමයි බැදුම් රස එකතු වෙලා තිබුණෙ. සලාද කොළ පොඩියට ලියලා දලා තිබුණට චීස් නම් එකතු වෙලා තිබුණ හොඳටම මදි. මොකද සබ් එකේ අන්තිම ටිකේ චීසුත් නෑ කුකුල් මසුත් නෑ. හැබැයි ඒ ටිකේ අඩුව පුරවන්න සබ් එකට ආපු ෆෙන්ච් ෆ්‍රයිස් ටික නම් නියමෙට ගැලපෙනව. හොඳ පදමට බැදුණු ෆ්‍රෙන්ච් ෆයිස් කූරක් කරස් ගාලා හැපෙනකොට සබ් එකේ චීස් අඩුව එච්චරටම දැනෙන්නෙ නෑ.

සබ් එක කාලා ඉවර වෙනනත් කලින් තමයි ෆ්‍රයිඩ් රයිස් එක මේසෙට ආවෙ. උණු උණුවෙ දුම් දදා තියෙන ෆ්‍රයිඩ් රයිස් එකේ සුවඳට කටට කෙලත් උනනවා. බැලූ බැල්මට නම් මට තනියම කන්න පුළුවන් තරමේ රයිස් එකක් නෙවෙයි මේක. පිඟානෙ උඩින් තියෙන ලොකු ඔම්ලට් එකයි තැනින් තැන මතු වෙලා තියෙන ඉස්සො ටිකයි බැදපු කුකුල් මස් කෑලි ටිකයි එක්ක හීනියට ලියපු ලීක්ස්, කැරට් කෑලි ටික රයිස් එකට ගේන්නෙ අපූරු හැඩයක්. කීරි සම්බා හාලේ බතට එකතු වුනු පොඩියට කපලා බැදපු සොසේජස් ටික රයිස් එකේ ලස්සන දෙගුණ තෙගුණ කරනවා. හැඩ බල බල හිටියොත් කන්න වෙන්නෙ නෑනෙ. ඉතින් රයිස් හැඳි දෙකක් පිඟානට දා ගත්තු මම සෝස්, චිලී පේස්ට් ටිකකුත් පැත්තකට බෙදාගෙන හෙමිහිට රස බලන්න පටන් ගත්තා.

පංකාදු පහයි. කාලෙකින් කාපු හොඳ රයිස් එකක්. බත් එකේ චීන කෑම වලට ආවේණික රස නම් අඩුවක් නෑ. සැර ටිකක් මදි වුනත් පදමට බැදුණු කුකුල් මස් කෑල්ලක් එක්ක හරි මාළු කෑල්ලක් එක්ක හරි රයිස් කටක් හැපෙද්දි මම ගෑරුප්පුවෙන් ගත්තු ඉස්සෙක් සෝස් ටිකකුත් ගාගෙනම කටට දාගත්තෙ හිතටත් හොරා ඇවිල්ල තිබුණ කෑදරකම නිසාමයි. ඒ අතරට බැදුණු සොසේජස් කෑල්ලකුත් හැපෙන කොට දැනෙන රස නම් කියල වැඩක් නෑ. උණු ගතියයි චිලී පේස්ට් ටිකක් කලවම් වුණු බත් එකේ තියෙන රසයි නිසා මට ගෙදර යන එකත් අමතක වුණා.

බඩ පැලෙන්න රයිස් කාපු මම සීතල වතුර උගුරක් බිව්වෙ පිඟානෙ ඉතුරු වෙලා තියෙන රසම රස රයිස් ටිකෙන් තව එක කටක් වත් කාගන්න බැරිව. කාපු තැනම ඉඳන් ටික වෙලාවක් ඉඳගෙන රයිස් එකේ රස මතක් කර කර හිටපු මම කැපිටල් සිටි එකෙන් එළියට බහිද්දි රෑ අටටත් ලං වෙලා.

අනුමිතිය

හොඳට ඉඩ කඩ තියෙන භෝජනාගාරයක ඉඳගෙන යාළුවෙක් එක්ක හරි පවුලේ උදවිය එක්ක හරි රසම රස චීන කෑම වේලක් රස බලන්න නම් බදුල්ලෙ Capital City Food Court එක කියාපු තැනක්. හැබැයි පීසා, සබ්මැරීන් වගේ කෑම වලට නම් එතන ලොකු ප්‍රසිද්ධියක් නෑ. අවාසනාවට 'කටට රහට' බුෆේ එකෙන් බත් කටක් රස බලන්න බැරිවුණා. මැටි වළං වල දාපු දවල් කෑම ටිකත් හරි රහට ඇති. 'Juicy Fruit' එකේ පළතුරු යුෂ නම් හැම දෙනා අතරෙම ගොඩක් ප්‍රසිද්ධයි.

TIP

Try 'කටට රහට' lunch.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment