4/5

Culture Colombo

No 25, Kensington Garden, Bambalapitiya


Culture Colombo is a Sri Lankan themed restaurant.They offer classic, Lankan favourites prepared with a gourmet approach to quality and execution.


ගෙදර හදන කෑම හැමදාම කාල ඇති වෙලා ද? හැබැයි කඩ කෑම ගෙදර කෑම වගේ රසත් නෑ, ගුණත් නෑ කියල හිතෙනව ද? එහෙනං ඔන්න ගිහින් බලන්න හොඳ තැනක් තියනවා. මේක ගෙදර හැදුව රහටම ලංකාවෙ කෑම බීම රස විඳින්න පුළුවන් තැනක්. කල්චර් කලම්බෝ!

තැන

කල්චර් කලම්බෝ කියන්නෙ බම්බලපිටිය කෙන්සිංග්ටන් ගාඩ්න් පාරෙ තිබ්බ පරණ බංගලාවක් අලුත් කරල හදපු රෙස්ටුරන්ට් එකක්. අලුත් කරල කිව්වට බංගලාව එහෙමම තියෙද්දි, ඒකට හානි නොකර කරපු පුංචි පුංචි ඉන්ටීරියර් වෙනස්කම් ටිකකින් තමයි මේක රෙස්ටුරන්ට් එකක් බවට පරිවර්තනය වෙලා තියෙන්නෙ. ඒ හින්දම සාමාන්‍යයෙන් දැන් හැම තැනම ඕපන් කරන ෆැන්සි රෙස්ටුරන්ට්වල නැති අමුතු පරණ ලස්සනක් මෙතෙන්ට ආවම දකින්න පුළුවන්. ඩෙකරේට් කරල තියෙන්නෙත්, පාට පාවිච්චි කරල තියෙන්නෙත් හරිම කලාත්මක විදිහට. ඩුප්ලිකේෂන් පාර අයිනෙම වුණාට මෙතනට ඇතුල් වුණාම තියෙන්නෙ කලබල නැති සාමකාමී වටපිටාවක්.

කෑම

අපි විශේෂයෙන්ම කල්චර් කලම්බෝ ගියේ එයාලගෙ මෙනු එකේ තියන විශේෂම අංගයක් වෙන ටේස්ටිං බාස්කට් එක රස විඳල බලන්න හිතාගෙන. ටේස්ටිං බාස්කට් කියන්නෙ, අපි කන්න ආසම ලංකාවෙ කෑම ජාති ඔක්කොගෙන්ම පොඩි පොඩි පෝෂන්ස් ඇතුළත් වුණ ලොකුම ලොකු කුල්ලක්. ඉතිං මේ අලුත් අත්දැකීම විඳල බලන්න ඔන්න අපි ඕඩර් කළා ටේස්ටිං බාස්කට් එකක්. (රු. 2390)

මේක නං දුටු පමණින් බඩ පිරෙනවා. ප්ලේන් ආප්ප, බිත්තර ආප්ප දෙක ගානේ, සුදු ඉඳිආප්ප, රතු ඉඳිආප්ප පහ ගානේ. සුදු පිට්ටු බාගයයි රතු පිට්ටු බාගයයි එක්ක පොඩි කොත්තු පෝෂන්ස් දෙකයි, බිත්තර රොටී දෙකයි! කරීස් විදිහට චිකන් කරි සහ මාළු කරි. ඒ ඇරෙන්න කිරි හොදි, ලුණු මිරිසක්, පොල් සම්බෝල සහ සීනි සම්බෝල. පිට්ටු කන්න පොල්කිරි චුට්ටකුත් මැදින් තියලා. හිතාගන්න පුළුවන් ද? දිව්‍යලෝක කෑම වේලක්! ඒ මදිවට හෝම් මේඩ් ජින්ජර් බියර් පොඩි බෝතල් දෙකකුත් ඒකටම හම්බෙනවා.

දැන් කතා කරමු රස ගැන. ආප්ප ටික කර කර ගාන තරමට ගාණට පිච්චිලා. ඉඳිආප්ප, පිට්ටු, බිත්තර රොටී ගෙදර හදපු ගාණයි. කොත්තු පෝෂන්ස් නං එක කටකට කන්න පුළුවන් තරම් පුංචියි. ලුණු මිරිසෙයි සම්බෝල ජාති දෙකෙයි සැරට හායි හූයි ගෑවෙනවා. ඒ වගේමයි කරීස් ටිකත්. මේවයෙන් කට දැවිල්ල ගත්තම ඒකට ගැළපෙන්න ජින්ජර් බියර්. මේ ජින්ජර් බියර් එක කඩේ තියන ජින්ජර් බියර්වලට වඩා ස්ට්‍රෝං. සැර ඉඟුරු රහ කෑම එක්ක එකතු වුණාම දන්නව නෙ ඉතිං. හැබැයි ජින්ජර් බියර් දෙක තව චුට්ටක් කූල් වුණා නං හොඳයි කියල අපිට හිතුණා. කොහොම වුණත් අවංකවම ටේස්ටිං බාස්කට් එක කියන්නෙ, අමුතුවෙන් එකතු කරපු රසකාරක අනංමනං නැති, ඔරිජිනල් ගෙදර කෑම වේලක රස දැනුණ රස ගුලාවක්. මේක තුන් හතර දෙනෙකුට හොඳටම සෑහෙනවා. ආ! හැබැයි මේක ගන්න පුළුවන් ඩිනර් එකට විතරයි.

බීම

බීම විදිහට අපි මුලින්ම තේරුවෙ ලයිම් සෝඩා එකයි (රු. 275) ලයිම් ඇන්ඩ් මින්ට් එකයි. (රු. 350) හැබැයි මෙයාලගෙ හෝම් මේඩ් ජින්ජර් බියර් එකට වහ වැටුණ පාර අපි ඉල්ලුව තව හෝම් මේඩ් කූල් ජින්ජර් බියර් එකක්. (රු. 300)

හිතපු විදිහටම බීම ටික ඉස්තරම්. නියම ගාණට චිල් කරලා නියම පදමට පැණි රහ එක්ක. ඕනවට වඩා සීනි දාල අනික් රසවල් විනාස කරන්නෙ නැතුව ඉන්න සෑහෙන අවධානයක් දීල තියන බව පෙනුණා.

අතුරුපස

කාල බීල ඉවර වෙලා අතුරුපස තේරුවට ඒ වෙද්දි බඩේ වැඩි ඉඩකුත් ඉතිරි වෙලා තිබ්බෙ නෑ. ටේස්ටිං බාස්කට් එකේ හැම දේකින්ම පොඩ්ඩ පොඩ්ඩ තිබ්බට මොකද, ඒ හැම එකක්ම බඩ පිරෙන විදිහෙ කෑම නේ. ඉතිං අපි ඩෙසට් විදිහට තේරුවා ෆෘට් සැලඩ් එකයි (රු. 300) කැරමල් පුඩිං එකයි. (රු. 400)

ෆෘට් සැලඩ් එක ඇහැ පිනවන ලස්සන පාටවල් ගොඩක එකතුවක්. ඒ වගේම පිළිවෙළට හතරැස් කෑලි වෙන්න කපපු අලුත්ම අලුත් පලතුරු. ගස්ලබු, කොමඩු, ඇපල්, අන්නාසි, ඒව මේවා. සීනි ලුණු අනංමනං අඩුමකුඩුම එකතු කරල අනල චප්ප කරන්නෙ නැතුව ෆ්‍රෙෂ් පිට ෆෘට් සැලඩ් එක තිබුණා.

කැරමල් පුඩිං එකත් ඊට දෙවනි නෑ. පැණි රහ වැඩිත් නැති අඩුත් නැති නියම පුඩිමක්. ඒ වගේමයි පෙනුමත්. අපේ ඩෙසට් දෙකම ආවෙ උඩින් දාපු මිංචි කොළේකින් සැරසිලා.

සර්විස් එක

කස්ටමර්ස්ල ගැන හොඳ අවධානයෙන් සහ සැලකිල්ලෙන් ඉන්න ස්ටාෆ් එකක් විදිහට කල්චර් කලම්බෝ ස්ටාෆ් එක හඳුන්වන්න පුළුවන්. කෑමබීම තෝරද්දි වගේම අවශ්‍ය ඕන දේකදි අපිට උදව් කරන්න එයාල දෙපාරක් නොහිත ඉදිරිපත් වෙනව. ඒ වගේම කෑමබීම මේසෙට එනකං ගොඩක් වෙලා බලන් ඉන්න ඕනෙත් නෑ.

අවසාන වශයෙන්

කල්චර් කලම්බෝ කියන්නේ, ගෙදර කෑමම එළියෙන් කන්න ආසාවක් තියනව නං යන්න හොඳම තැන. ඒ විතරක් නෙමෙයි, ඔයාලට විදේශීය මිතුරු මිතුරියො ඉන්නව නං එයාලව ලංකාවෙ ඔරිජිනල් කෑමවලට ඉන්ට්‍රඩියුස් කරන්නත් හොඳම තැන තමයි මෙතන.

 


TIP

Their Sharing Platter is a brilliant option if you'd like to get to know most of their main dishes.

Address

No 25, Kensington Garden, Bambalapitiya

Directions

It's by the main road, right at the turn to Kensington Gardens.

Contacts

Facebook Website E-Mail



Latest