Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Curry Pot Family Restaurant

25 Milagiriya Ave, Colombo 00400


Curry Pot Restaurant is the newest rice and curry/ everything venture down Marine Drive.



කරි පොට් කිව්වම කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තෙ නං නොදන්න කෙනෙක් නෑ. මොකද කටට රසට රයිස් ඇන්ඩ් කරි කන්න නියම තැනක් විදිහට මරීන් ඩ්‍රයිව් එකේ කරි පොට් එක සෑහෙන ප්‍රසිද්ධයි. දැන් ඒ කරි පොට් එකට හොඳට ඉඩකඩ ඇතුව හදපු ලොකු ෆැමිලි රෙස්ටුරන්ට් එකක් තියනවා. ඉතිං අපි ගියා මේ අලුත් තැන හොයාගෙන.

තැන

ලොකු පාකිං ස්පේස් එකකුත් එක්ක හොඳ පෙනුමට අලුතෙන් දාල තියන කරි පොට් ෆැමිලි රෙස්ටුරන්ට් එක තියෙන්නෙ මරීන් ඩ්‍රයිව් එකෙන් මිලාගිරිය ඇවනියු එක ඇතුළට හැරිල මීටර් 50ක් විතර ගියාම.

ඇතුල් වුණ ගමන් පේන්නේ උස බිත්ති, උස පුටු. පහළ තට්ටුව ඒසී කරල හොඳට පහසුවට කන්න බොන්න ඉඩකඩ ඇතුව හදල කරල තිබුණා. උඩ තට්ටුවට ගිහින් වටපිට බැලුවම ආවෙ පරණ තාලෙ යෝධ ගොඩනැඟිල්ලක් ඇතුළට ගියාම එන වයිබ් එක. වැහි බීරුම හින්ද ද මන්දා උඩ තට්ටුවෙ ප්‍රයිවට් ඩයිනිං ඒරියාස් නං සෑහෙන අඳුරුයි වගෙයි පෙනුණේ. කොහොම වුණත් උඩ තට්ටුවෙ සිටිං ඒරියාස් කුෂන් කරල සැප පහසුවට හදල තිබුණා. ජනෙල්වලට දාල තිබුණ පාට පාට වීදුරුවලින් පරණ පල්ලියක් මතක් වුණා.

කෑම

පරණ කරි පොට් එකේ වගේ රයිස් ඇන්ඩ් කරි විතරක් නෙමෙයි, මෙතන නූඩ්ල්ස්, ජූස්, සැන්ඩ්විචස් සහ තව විවිධාකාර ඩිෂස් ජාති ගොඩක් තියනවා. හැබැයි අපි ගියේ ලන්ච් ටයිම් එකේ හින්ද අපිට රයිස් ඇන්ඩ් කරි ම කන්න ඕන වුණා. වෝල් ආට් එකකින් ලස්සන කරපු බිත්තියක් එක්ක සම්පූර්ණ දකුණු පැත්ත ම රයිස් ඇන්ඩ් කරි ඩිස්ප්ලේ කරන්න වෙන් කරලා තිබුණා.

උණු උණුවට රතු බත්, සුදු බත්, කහ බත් එක්ක, ලොකු පොල් කටු හැඳි දාපු ලොකු මැටි ඇතිලිවල සුවඳ ගගහ කරි ජාති පිරිල තිබුණා. අල තෙල් දාලා, පරිප්පු, පොළොස් ඇඹුලක්, කතුරුමුරුංගා කොළ මැල්ලුම්, මුකුණුවැන්න මැල්ලුම්, අඹ මාළුවක්, චොප්සි, මාළු, චිකන්, ඉස්සො, දැල්ලො ඇතුළු මෙකී නොකී ජාති!

අපි ගත්තෙ දැල්ලො කරිය එක්ක සුදු බත්. (රු. 350) මම එක්කං ගිය යාළුව කොළ පාට කෑම ජාති පෙන්නන්න බැරි හාදයෙක්. ඒ හින්ද එයා එයාගෙ කෑම එකේ අහලකටවත් කොළ පාටක් ගෑවෙන්න දෙන්නෙ නෑ. එයා බෙදාගත්තෙ අල, පරිප්පු, පොළොස් ඇඹුල එක්ක පපඩම්. තව ඔම්ලට් එකකුත්. කද්දි කන් දෙකෙන් දුම් දාන රතු පාට දැල්ලො කරියෙ සැර අඩු කරන්න පොළොස් ඇඹුලට පදමට දාපු ලුණු ඇඹුල්වලට පුළුවන් වුණා කියල තමයි එයා කිව්වෙ.

දිලිසි දිලිසි තිබුණ කතුරුමුරුංගා කොළ මැල්ලුමයි, දැක්කත් දිවට රස දැනෙන අඹ මාළුවයි, චොප්සියි එක්ක චිකන් බත් (රු. 280) තමයි මං ගත්තෙ. හැම පාටම මිශ්‍ර වුණ මගේ බත් එක දිව වගේම ඇහැත් පිනෙව්වා. අඹ මාළුවට තමයි මගේ විශේෂ අවධානය යොමු වුණේ. ඒකට පදමට තුනපහ මිශ්‍ර වෙලා ලස්සන බොර පාටක් ඇවිත් තිබුණා. අඹ එකෙන් ලාවට එන පැණි රහයි ගාණට එන ඇඹුල් රහයි සුදු බත් එක්ක මිශ්‍ර වුණාම එන රස ගැන ඉතිං කුමන කතා ද? අනික් කරි ගැනත් කියන්න තරම් වරදක් නෑ.

අතුරුපස

ඩෙසට් විදිහට මං තේරුවේ බිස්කට් පුඩිං. (රු. 80) පුංචියට යෝගට් කප් එකක සයිස් එකට ඇසුරුම් කරල තිබ්බ බිස්කට් පුඩිං එක, පුංචි වුණත් රස ආකාරයක්. බිස්කට් තට්ටු මැද අඩු නැතුව චොකලට් තට්ටු අතුරලා, ඊට උඩින් කජු කෑලි ඉහලා තිබුණ බිස්කට් පුඩිං එක නොම්මර එකේ ඩෙසට් එකක් කියල කියන්න පුළුවන්.

මගේ යාළුවගෙ අතුරුපස වුණ වටලප්පමත් ඒකට දෙවනි නෑ. (රු. 80) නියම වටලප්පමක තෙත, තද දුඹුරු පාට එක්ක එන පැණි බේරෙන ගතිය අඩු නැතුව මේ වටලප්පමේ තිබුණා.

සර්විස් එක

සර්විස් එක ගැන කියන්න තරම් වරදක් නෑ. ඒගොල්ලො සාමාන්‍ය විදිහට කස්ටමර්ස්ලා ගැන හොඳ අවධානයෙන් කටයුතු කරන බව පේන්න තිබ්බා.

අවසාන වශයෙන්

රයිස් ඇන්ඩ් කරිවලට මරු තැනක් විදිහට කොළඹ පුරා නමක් දිනාගත්ත කරි පොට් එකේ අලුත්ම ෆැමිලි රෙස්ටුරන්ට් එක ගැන සෑහෙන ප්‍රසාදයෙන් තමයි අපි එළියට ආවෙ. ඉතිං ඕගොල්ලොත් කොළඹ අවට ඉන්නව නං බඩගින්නක් හැදුණ ගමන් අමතක නොකර මේ පැත්තෙ ගිහින් බලන්න.

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment