Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

DAVA Lounge

No.64, Hampden Lane, Colombo 06


A tiny cafe down Hampden Lane that serves some great Waffles and Hot Chocolate.



සමහරු කතාවට කියන්නේ ලංකාවේ අපි කොපි කරන්න ම ඉපදුණු ජාතියක් කියලනේ. ඔය හින්දි සිංදුවල තාලෙට හදපු සිංහල සිංදුයි, ටෙලිනාට්‍ය ටිකයි ගැන බැලුව ම එහෙම නොහිතෙන එකෙත් පුදුමයක් නැහැ. මේ ළඟකදී ඔය කතාව අපි කට්ටිය අතරට ඇදිලා ආවේ ඩාවා ලෞන්ජ් කැෆේ එකේ ෆේස්බුක් පිටුව දැකපු වෙලාවේ. ජාවා ලෞන්ජ්, ඩාවා ලෞන්ජ් නම් දෙක පොඩ්ඩක් එකට යන නිසා තමයි ඔය සීන් එක.

ඉතින් ජාවා ලෞන්ජ් එකයි, ඩාවා ලෞන්ජ් එකයි එක ම වගේද? ඔන්න ඕක බලා කියාගන්නත් එක්ක අපි ඊයේ ගියා ඩාවා ලෞන්ජ් එකට.  

තැන

ඩාවා ලෞන්ජ් එක තියෙන්නේ වැල්ලවත්තේ හැම්ප්ඩන් පාරේ. වැල්ලවත්තේ හන්දියෙන් ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතට හරවලා එද්දී තමයි මේ පාර මුණගැහෙන්නේ. ඒ පාරේ අද්දර ම, තව පොඩි කඩ කෑලි දෙකක් මැද්දේ හිරවෙලා වගේ තියෙන ඩාවා ලෞන්ජ් එක සැලකිල්ලෙන් බලාගෙන නාවොත් මඟ හැරෙන්න පුළුවන්.

අපරාදේ කියන්න බෑ; මේක ෂෝක් කඩ පොඩිත්ත. දහපහළොස්දෙනෙක්ට වාඩිවෙන්න පුළුවන් විදියට හදපු පුංචි කැෆේ එකක්. රතු පාට ලී පුටු මේසවලින් වගේ ම, බිත්තියේ තියෙන සැරසිලිවලින් මේකේ තියෙන හුරුබුහුටි ගතිය තවත් වැඩිවෙනවා. රේඩියෝ එකක් දාලා, ටීවී එකක් එල්ලලා තියෙන නිසා මෙතැනට තනියම ආවත් පාළුවක් දැනෙන එකක් නැහැ.

කෑම බීම

සැන්විච්, බර්ගර්, කෝපි, වොෆල් වගේ සාමාන්‍ය කැෆේ එකක තියෙන කෑම බීම වර්ග ඩාවා ලෞන්ජ් එකෙන් ගන්න පුළුවන්. ඔය අතරින් අපි තෝරගත්තේ “කන්ටකි බීෆ් බර්ගර්" (රු.420) එකකුයි, “චිකන් සැන්විච්” (රු.250) එකකුයි. බීම මෙනුවෙන් “ග්‍රේප් ස්මූති" (රු.370) එකකුයි, හොට් චොකලට් (රු.180) එකකුයි ඕඩර් කළා.

විනාඩි දහයයි ගියේ. මෙන්න කෑම බීම ටික ඔක්කොම අපේ මේසේ උඩ.

කන්ටකි බීෆ් බර්ගර් එක ෂේප්. කියන්න තරම් ලොකු හොඳක් හෝ අවුලක් නැහැ. හරියට ගෙදර ඉන්න ගමන් හදන බර්ගර් එකක් වගේ. රතු පාටට තිබුණු පැටී එකේ ළා ක්‍රිස්පි ගතියක් තිබුණා. ෆ්‍රෙෂ් එකට තියෙන සලාද කොළ, තක්කාලිවලින් මේකට ආවේ නියම ගැම්මක්.

චිකන් සැන්විච් එක ගොඩක් රසයි. ස්පයිසි චිකන්වලින් මේක අඩුවක් නැතුව පුරවලා. අනික බටර් තවරපු පාන් පෙතිත් නියම ගානට ටෝස්ට් කරලනේ. ඔය සලාද කොළ අව පාට ගැහිලා තියෙන්නේ පරණ නිසා එහෙම නෙවෙයි හොඳේ. සලාද කොලේ තියෙද්දී ම සැන්විච් එක ටෝස්ට් කරපු නිසා. පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකත් හදාගන්න පුළුවන් නම් මේක නියම සැන්විච් එකක්. හැබැයි රුපියල් 250කට වටිනවද කියන සැකයත් නැතුව ම නෙවෙයි.

ෂහ්! ග්‍රේප් ස්මූති එක පංකාදු පහයි! මේක හදන්නේ යෝගට්වලට රතු මිදි එක්කාසු කරලා. නිකන් දිවට රස එනවා විතරක් නම් මදැයි. මේකට හොඳට බඩත් පිරෙනවනෙ. රස්නේ දවසට කියාපු භාණ්ඩේ.

ඔය ගෙදර ඉද්දී හදන හොට් චොකලට් එකේ රස මතකද? පෙරේතකමට ගොඩාක් චොකලට් කුඩු දාලා උකු ගතියට හදන්නේ. අන්න ඒ වගේ තමයි ඩාවා ලෞන්ජ් එකේ හොට් චොකලට් එකත්. චොකලට් රස උතුරනවා. හරියට මිශ්‍ර කරලා බිව්වේ නැති වුණොත් එහෙම අඩිය හරියේ තනිකර ම තියෙන්නේ චොකලට්. හැබැයි පාට විතරක් දාලා සීනි වැඩි කරලා දෙන බොරුව නැති නිසා මේකත් නියමයි. අනික ගත්ත ගාණට කිසිම පාඩුවක් නැහැ.

වොෆල් ජාතිත් කීපයක් ම තියෙන නිසා අපි හිතුවා අන්නාසි දාපු මිනි වොෆල් කරන්න (රු.220) එකකුත් ඕඩර් කරන්න. ඇත්තමයි මේ වොෆල් එකත් මරු. මේ වගේ පොඩි තැනකින්, ඒ වගේ රසට වොෆල් එකක් කන්න ලැබෙනවා කියන්නේ සෑහෙන්න දෙයක්. ළා කරස් සද්දෙන් හැපෙන වොෆල් එක ගානට තුනී ගතියට තිබුණා. කවුරු වුණත් මේකේ බැටර් එක හදලා තියෙනවා නියමෙට. වොෆල් එකට උඩින් තමයි අන්නාසි තියෙන්නේ. ඊටත් උඩින් ලොකු අයිස්ක්‍රීම් බෝලයක් දාලා, චොකලට් සෝස් එහෙමත් වත්කරලා. හප්පේ! මේ සේරම ටික එක කටකට ගනිද්දී තියෙන රස! කියන්න වචන නැහැ මහත්තයෝ. අයිස්ක්‍රීම් එපා නම් විපින් ක්‍රීම් දාලත් මේක ගන්න ඇහැකි.

සර්විස් එක

මේසේ උඩ තියෙන මෙනුව බලලා, කවුන්ටරේට ගිහින් තමන්ගේ ඕඩරේ දුන්න ම, ඩාවා ලෞන්ජ් එකේ කට්ටිය කෑම බීම ටික මේසෙට ම එවනවා. ඇත්තමයි මේ අයගේ කතාබහ නම් හරි ම හොඳයි. හුඟක් සැලකිල්ලෙන් කෑමබීම, කස්ටමර්ලා ගැන හොයලා බලනවා.

අවසාන වශයෙන්

අස්සේ පාරක තියෙන පුංචි කැෆේ එකක් වුණත් ඩාවා ලෞන්ජ් කියන්නේ පොඩ්ඩක් ගොඩවෙලා එන්න වටින තැනක්. ඉන්න ගමන් එයාලගේ ෆේස්බුක් පිටුව බලන්නකෝ. විටින් විටේ 50% අඩු කරපු ඔෆර්ස් එහෙම දෙනවා පේන්න තියෙනවා. අපටත් ඔය බර්ගර් එකෙයි, ග්‍රේප් ස්මූති එකයි ලැබුණේ ඒ ඩිස්කවුන්ට් එකට. ඒ නැතත් සාක්කුවට අවුලක් නොවී කෑමක් කාලා එන්න මෙතැන හොඳයි.


TIP

Try the waffles.

Have you visited this place?

Write your own review!
Leave a comment