Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

Dineinn

No 47 W. A. Silva Mawatha, Wellawatha, Colombo 6


An Indian restaurant down W. A. Silva Mawatha, with quality food and great service. They cater mostly to rich, north Indian dishes ranging from the traditional Murg Makhanis to garlic naan. Dhum biryanis and delicious Raithas.



එදා මායි නබීලායි දෙන්න ම දවල්ට කෑම ගෙනත් තිබුණේ නැහැ. ඔය අතරේදී තමයි අපි දෙන්නට බටර් නාන් කන්න කෑදරකමක් ආවේ. බටර් චිකන් එක්ක බටර් නාන්;  හප්පේ! මතක් වෙද්දීත් කටට කෙළ උණන ගාණයි. වැල්ලවත්තේ DineInn එකේ හොඳ නාන් තියෙනවය කියන ආරංචිය ඒ වෙද්දීත් අපට ඇවිල්ලයි තිබුණේ. දෙතුන් ගමනක් නොහිත ම අපි දෙන්නා මේ පැත්තට ගියේ ඒකයි.

තැන

වැල්ලවත්තේ ගාලු පාරෙන්, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතට හැරිලා මීටර් විස්සක් විතර ඉස්සරහට යනකොට මුණගැහෙන DineInn එක පිටින් බලද්දී නම් පේන්නේ පොඩි කඩයක් වගේ. ඒත් මේකේ ඇතුළේ එක සැරේ විසි තිස්දෙනෙක්ට කෑම ගන්න පුළුවන්. හරි ම පිළිවෙලට මේස පුටු අහුරලා, හොඳ පිරිසිදුවට රෙස්ටෝරන්ට් එක තියාගෙන ඉන්න බවක් පේන්න තිබුණා.

ඉතින් මායි නබීලායි රෙස්ටෝරන්ට් එක කෙළවරේ මේසෙකට බරවෙලා මෙනු පොත පෙරලලා බැලුවා.

කෑම බීම

DineInn එකේ තියෙන්නේ උතුරු ඉන්දියානු රසයට හුරු කෑම. ධම් බිරියානි, නාන් එක්ක, චිකන්, සීෆුඩ් කෑම වර්ග කිහිපයක් ම මේ මෙනුවේ තිබුණා. බීම වර්ග විදියට තිබුණේ ජූස් සහ මිල්ක්ෂේක්. වැඩේ කියන්නේ මේක දැක්ක ම අපේ බඩගින්න දෙගුණ තෙගුණ වුණානේ. ඒ නිසා අපි දෙන්නා බටර් නාන් (රු.120), බටර් චිකන් කරි (රු.450) විතරක් නෙවෙයි, ප්‍රෝන් ධම් බිරියානි (රු.600) එකකුයි, මෂ්රූම් මන්චූරියන් (රු.300) එකකුයිත් ඕඩර් කළා. බීම විදියට අපි ගත්තේ දොඩම් ජූස් (රු.230) එකක්.

මෙතැන බටර් නාන් ගැන අපට ලැබිලා තිබුණු ආරංචිය නම් හරියට ම හරි. සෑහෙන්න හොඳ රසක් මේවයේ තිබුණා. අනික එවෙලේ ම හදලා දෙන ඒවා නිසා මේ බටර් නාන් හරි ම නැවුම්.

අපි ගත්ත බටර් චිකන් එක, ඒ බටර් නාන් එක්ක තකට තක. ගඩොල් රතු පාටට දිලිසෙන මේ බටර් චිකන් කරිය ඇත්තට ම පට්ට රසයි. සුපිරි මසාලා රසක් මේකේ තිබුණා. හොද්දත් නියම ගාණට උකුයි. ලොකු චිකන් කෑලි පහ හයක් ම දාලා. අඩුවැඩි නොවෙන තරමට කුළුබඩුත් හොඳ පදමට. අපි නාන් ටික විතරක් නෙවෙයි, අර ඕඩර් කරපු බිරියානි එකටත් වග කිව්වේ මේ හොද්දත් එක්ක.

ප්‍රෝන් බිරියානි එක නම් දෙන්නෙක්ට හොඳට ම ඇති. හෙන බත් තොගයක්නේ මේකේ තිබුණේ. තඩි ඉස්සෝ දහදෙනෙක් ම මේ බත් එකේ ගිලිලා හිටියා. ලා රතු - කහ පාටට තිබුණු මේ බත් එකත් නියම ගානට තැම්බිලා. බටර් චිකන් එකේ හොද්දත් එක්ක මුසු වුණා ම ඉතින් දිව්‍යලෝක රස!

බිරියානි එකත් එක්ක ලැබුණු රයිතා එකයි ශෝර්බා එකයි අපට නියමෙට අල්ලලා ගියා. ශෝර්බා හොද්දේ තනිකර ම තිබුණේ කජුයි, ග්‍රීන් පීසුයි. කාටද ආස නොහිතෙන්නේ?

මෂ්රූම් මන්චූරියන් එක ඕඩර් කළේ අපේ ස්ටාටර් එක විදියට වුණත්, ඒක මේසෙට ආවේ අන්තිමට. බිරියානියි, නානුයි කාලා හොඳට ම බඩ පිරිලා හිටියත්, අපේ කෑදරකමේ අඩුවක් නෑනේ. හැබැයි කන්න පටන්ගත්තට පස්සේ හිතුණා කරගත්ත ගොන්කමක් කියලා. හොඳ ලස්සන රතු පාටට තිබුණට මොකද මේ මෂ්රූම් මන්චූරියන් එකේ තෙල් ගතිය වැඩියි. කොච්චර වැඩිද කිව්වොත් මෂ්රූම්වල රස දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ තෙල්වල රස. ඕඩර් නොකර ම හිටියා නම් කියලා අපට හිතුණේ මේ තෙල් රස නිසයි.

DineInn එකේ දොඩම් ජූස් එක ගොඩක් හොඳයි. ස්වභාවික, නැවුම් දොඩම්වල රස හරි අපූරුවට තිබුණා. ඇඹුල් ගතිය නැති කරන්න කියලා ලාස් ගණන් සීනි දාලත් නැහැ. ඒ නිසා හරි ම රසයි මේක.

සර්විස් එක

අපි මෙතැනට ගොඩවෙද්දී DineInn එකේ ඒ හැටි සෙනගක් හිටියේ නැහැ. ඒත් අපි පිටවෙන වෙලාව වෙද්දී නම් කඩේ පිරෙන්න සෙනඟ. ඒ නිසා එන්න එන්න ම සර්විස් එක ස්ලෝ වුණා. බිල් එක ගේන්නත් වරුවක් ගිය නිසා අපි ඒක ගෙව්වේ කෙළින් ම කවුන්ටරේට ගිහින්.

අවසාන වශයෙන්

අපි දෙන්නෙක්ට බිල ආවේ රුපියල් 1770ක් විතරයි. ඒකට මොකද ඉස්මුරුත්තාවට එනකම් කෑවා. DineInn එකේ තියෙන විශේෂත්වය ඒකයි. එයාලගේ කෑම පෝෂන් සෑහෙන්න ලොකුයි. ගෙවන ගාණට උපරිම වටිනාකම මේ කෑමවලින් ලැබෙනවා. පෝෂන් සයිස් එක විතරක් නෙවෙයි කෑමවල රසත් හොඳයිනේ. අතේ ලොකු ගාණක් නැති වුණත්, හොඳට බඩ පුරවගන්න යන්න පුළුවන් තැනක් තමයි මේක.


TIP

Watch out for parking as parking space is pretty limited!

Address

No 47 W. A. Silva Mawatha, Wellawatha, Colombo 6

Directions

From Galle Road, turn onto Ramakrishna Road. It's just there on the left hand side.

Contacts

Facebook

Report Inaccuracy
User Reviews
Leave a comment