හෑ… දන්නෙ නැති, අළුත් නොම්මරයක්. ෂුවර් එකට ikman එකේ දාපු ඇඩ් එකට වෙන්න ඕන. කට හඬ පොඩ්ඩක් බර කරල, අමුතු පොෂ් පාර්ට් එකකින් තමයි මම ෆෝන් එක ආන්සර් කලේ.
“හලො..ව්…”
“ඈ ##@@$$, තොට ෆෝන් ආන්සර් කරන්න බැරිද @##. තොට ඊයෙ රෑ ඉඳන් නේද කතා කරන්නෙ” චැහ් දවසම මස්තබාල්දුයි. අපේ එකෙක්. ඊයෙ හවස සෙට් වෙන්න කතා කලා. මං පොල්ල තියල මාරු වුණානෙ, දැන් මළ පැනලා.
“ආ.. නෑ බන් මේ…” මොනව හරි උත්තරයක් දෙන්න කියල හැදුව විතරයි
“ඒවයින් වැඩක් නෑ @###, ඇඳුමක් දාගෙන ඉඳපන්, මම තව විනාඩි 10න් ඔතන. කොටුවෙ යන්න වරෙන්, බඩු වගයක් ගේන්න තියෙනව”
මම හිතුවා හරි, ඕකා කතා කලොත් ඉතින් ඔය වගේ වැඩකට තමයි. හැරත් ඕකත් එක්ක කොටුවෙ ගියාම දවසම මස්තබාල්දුයි.
මොනව කරන්නද ඉතින්, අර කිව්වත් වගේ විනාඩි 10න් ගේ ළඟට ආපු බයිසිකලේට නැග්ගෙ එදා දවසක් නෑ කියල හිත හදාගෙනමයි. පට්ට අව්වෙ එහෙ මෙහෙ ඇවිදල, පාළම යට රු. 60 ජූස් බාර් එකෙන් උගුර කට තෙමා ගත්තට මොකද බඩ ගින්න ඉහටත් උඩින්. ඇයි ඉතින් උදේට කන්නවත් වෙලාවක් තිබුනෙ නෑනෙ.
කොහොම හරි අම්බානක බොරේ දාලා තමයි යාළුවව කන්න යන්න කැමති කරව ගත්තෙ. වැඩේ කියන්නෙ බිස්නස් සරු නිසාද කොහෙද මේ යකා කොල්ලුපිටියෙ ඩයින්මෝර් එකට යන්න කැමති වුනා කියන්නකො. මං ඒත් බැලුවා අබුද්ධස්ස කාලෙ වත්ද කියල. එහෙම පාටකුත් පේන්න නැති නිසා සද්ද නොකර ආපු චාන්ස් එකෙන් ප්‍රයෝජනේ ගන්න ඕන කියල කල්පනා කරපු මම හීන් සැරේ බයිසිකලේට ගොඩ වුණා.

උපරිම විනාඩි 10ක් යන්න ඇති කොටුවෙ ඉඳන් කොල්ලුපිටිය, ඩයින්මෝර් එක ලඟට එන්න. අව්වෙ පිච්චි පිච්චි ඉඳල මේක ඇතුලට ආවත් හරි පුදුම සනීපයක් දැනෙන්නෙ. ආයෙ මොනවද ඉතින් වාඩි වෙලා බෑග් ටික බිමින් තියන්න හම්බවුනේ නෑ, සේවක මල්ලියෙක් අපේ ළඟ.
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙන්න පුලුවන්නෙ. අන්න ඒකයි මම පැනපු ගමන් චිකන් බිරියාන් එකක් (රු. 430) ඕඩර් කලේ. මොකද, හදිස්සියෙ වත් යාළුවා ඕඩර් කලොත් මට කන්න වෙන්නෙ මස් දාපු පාන් පිටි ගුලියක් තමයි. කොහොම හරි ඒ වැඩෙන් යාළුවට ආයෙත් මළ පැන්නා.
“මුගෙ …..” කියල බැන බැන තමයි හැමදාම කන ස්පයිසි චිකන් සබ් එකක් (රු. 450) ඕඩර් කලේ. හැබැයි මට අමතක වුණු එකක් යාළුවට මීටර් වුනා කියන්නකො. කෑම කාලා ඉවර වෙද්දිම ගේන්න කියල ඩයින්මෝර් ස්පෙෂල් අයිස් ක්‍රීම් එකක් (රු. 120) ඕඩර් කලානෙ.
කමක් නෑ, වෛරයෙන් වෛරය නොසංසිඳේ කියල හිත හදාගත්තු මම වතුර බොන්න තීරණය කලා.
හිත් තැවුල් පැත්තකින් තියපු යාළුවයි මායි බර කතාවකට වැටුනෙ කෑම එන්න ටිකක් වෙලා යන නිසා. ඒකෙන් මේකෙන් කොච්චර වෙලා ගියාද කියල මීටර් නැති වුනාට ඉස්සෙල්ලම මේසෙට ආවෙ සබ් එක කියල නම් මීටර්. බිරියානි එක ආවෙ ඊටත් විනාඩියකට විතර පස්සෙ.

ඩයින්මෝර් ස්පයිසි චිකන් සබ් එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනත් නැතුව ඇතිනෙ. ඉස්සර නම් ලංකාවෙ අඩුම ගාණට තිබුනු රසම සබ් එක. හැබැයි දැන් දැන් ලුණු ගතිය පොඩ්ඩක් වැඩි වෙලා, ෆ්‍රෙන්ච් ෆ්රයිස් ප්‍රමාණය අඩු වෙලා. ඇයි කියන්න නම් දන්නෙ නෑ. කොහොම වුනත් මැද පිරවුමට දාන තන්දුරි චිකන්, චීස්, ලූණූ අඩුම කුඩුම වල පදම නම් තාමත් එමමයි. ලුණු ගතිය පොඩ්ඩක් බැලන්ස් වුණා නම් පට්ට සබ් එක.
කියන්න බැරි වුණානෙ, මම ඔය සබ් එකේ රස කිව්වෙ යාළුවගෙන් ණයට කෑල්ලක් ඉල්ලගෙන. ඒ කෑල්ල කාලා ඉවර වෙනවත් හරි බිරියානි එක මේසෙ උඩ.
“හෑ… කෝ බොලේ මේකෙ චිකන් කෑල්ල? ආ… බත් එකට යට වෙලා තියෙනව නේ” ෂහ්, කියල වැඩක් නෑ දැක්කාම කන්න ආස හිතෙන බිරියානි එක. මස් හොදි දීසියකුයි, අන්නාසි අච්චාරුවකුයි, කිරි ග්‍රීන් පීස් කජු සලාදයකුයිත් තියෙනව. රෝස්ට් චිකන් පලුවත් සෑහෙන්න ලොකුයි. පළවෙනි බත් කට හොඳ ලොකු මස් කෑල්ලක් එක්ක රහට කන්න ඕන කියල හිතපු මම ඉස් ඉස්සෙල්ලාම අත යැව්වෙ චිකන් පලුවට.

හම්මේ… චිකන් කෑල්ලෙ සීතල. මම හිතුවෙ එළියෙ විතරයි කියල. කෑල්ලක් කඩා ගත්තට පස්සෙනෙ දැන ගත්තෙ, ඒ සීතල ඇතුලටත් කිඳා බැහැලා. දැන් මුලු චිකන් කෑල්ලම සීතලයි. කමක් නෑ කියමුකො, කඩා ගත්ත චිකන් කෑල්ල දාලා බත් කටක් අනන්න පටන් ගත්ත, අනේ කියල වැඩක් නෑ බත් එකත් සීතලයි කියන්නකො. එතකොට, බත් එකට බෙදල තිබුනු සලාද එහෙමත් එලෙසින්ම සීතලයි. මම හිතන්නෙ මේක අලුත් ස්ටයිල් එකක් වෙන්න ඕන. මොකද සබ්මැරීන් එහෙමත් ලංකාවට හඳුන්වල දුන්න වගේ ඩයින්මෝර් එකෙන් ‘කෝල්ඩ් බිරියානි’ කියල එකක් වත් හඳුන්වල දීලද දන්නෙ නෑනෙ.
ඇත්තටම උණු උණුවෙ තිබුන නම් පංකාදු බිරියානි එක. මේ කොහේවත් යන සීතලක් නිසා පජාත වෙලා ගිහින්.

අඩුම තරමේ ඒ සීතල ටිකත් අයිස් ක්‍රීම් එකට එකතු වෙලා ආව නම්, ඒකත් එකක්. හැබැයි බිරියානි එක අවුල් ගියාට ඩයින්මෝර් ස්පෙෂල් අයිස් ක්‍රීම් එක නම් ටොපේ ටොප්. වැනිලා, චොක්ලට් රසත් එක්ක පොඩි කැරමල් ගතියකුත් තියෙනව. මම හිතන්නෙ කිතුල් පැණි පොඩ්ඩකුත් රස පදමට එකතු කරල තියෙනව. ඒකෙ රස දෙගුණ තෙගුණ වෙන්නෙ අතරින් පතර හැපෙන කජු කෑලි වලින්. අමුතු ක්‍රිස්පි ගතියකුත් එක්ක කද්දි මාර ගතියක් තියෙන්නෙ.
අවාසනාව කියන්නෙ කොච්චර ගතියක් තිබුණත් මට වැඩක් වුනේ නෑනෙ. අන්තිමට බඩ පුරව ගන්න වුනෙත් දවසම කාපු එකාගෙන්, ණයට කෑම ඉල්ලගෙන. අම්මප දවසක් පජාත වුනා නම් අද තරම් නැතුව ඇති. ඒ මදිවට වැල ගිලපු කිඹුලෙක් වගේ මූ ඉස්සරහට වෙලා ඉන්නව දැක්කාම තවත් මළ.
“උදේ පාන්දර, දවසම මුස්පේන්තු කලා මදිවට දැන් ඉන්නව මෙතන… දෙන්න හිතෙනව…”
abdullahzaheed
Rated 5/5