Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

4/5

Down Town Rotti Hut (Ella)

Ella Village Inn, Down Town Rotti Hut, Ella


රසම රස උදේ කෑම, දවල් කෑම, රෑ කෑම වේලක් කන්න හරි හොඳ තේකක් නැත්නම් ස්වාභාවික පළතුරු යුෂ එකක් බොන්න හරි හ්ම්ම්.. හවස් වෙලා පොඩි ෂොට් එකක් දාන්න ඉන්නවනම් ඒකට සුපිරි බයිට් එකක් ගන්න වුනත් නියම තැනක්



ඌව පළාතෙ, ඇල්ල කියන්නෙ හරි ලස්සන වගේම ප්‍රෟෙඩ ඉතිහාසයක් තිබ්බ නගරයක්. අපේ කට්ටියට ඒවායෙ අගයක් නැති වුණාට විදේශිකයින්ට නම් හරි අගෙයි. ඒ නිසාමද කොහෙද අවුරුද්ද පුරාවටම වගේ ඇල්ල, විදේශික සංචාරකයින්ගෙන් පිරිලා. පහුගිය දවසක මමත් ගියා ඔය ඇල්ල, වැල්ලවාය පැත්තෙ පොඩි රවුමක් දාන්න. ටුවර් එක ඉවර වෙලා යාළුවයි මායි ඇල්ල ටවුන් එකට ආවෙ යකෙක් කන්න පුළුවන් බඩ ගින්නක. අතේ සල්ලි ටිකකුත් තිබුණ නිසා අපි දෙන්න කල්පනා කලා ටිකක් ලොකු ප්ලේස් එකකින් දවල් කෑම වේල බඩට දාගන්න. ඇල්ල ටවුන් එක මැද්දෙ ඉඳන් වට පිට බලපු මගේ ඇහැ එක පාරටම නතර වුනේ ලී වලින් හදපු පොඩි රෙස්ට් එකක් ලඟ.

''හරා, අතෙන්ට අදිමුද ? සුද්දොත් සෑහෙන්න යන පාටයි බන්'' මම යාළුවගෙන් ඇහුවා. යාළුවත් එක පයින්ම.

වාතාවරණය

කඩේ නම Down Town Rotti Hut. බැලූ බැල්මටම හරිම ලස්සනයි. මුළු කඩේම හදල තියෙන්නෙ ලී වලින්. ඇල්ල ටවුමෙ ඉඳන් කුඹල්වෙල පැත්තට මීටර 50ක් යන්න ඕන නෑ, ඔන්න Rotti hut එක තියෙනවා පාරෙන් දකුණු පැත්තෙ. පාර මට්ටමේ ඉඳන් පොඩි ලී පඩිපෙලක් දාලා තමයි භෝජනාගාරෙට යන්න හදල තියෙන්නෙ. හිත ඇදිල යන්නෙ වෙන මොකකටවත් නෙවෙයි භෝජනාගාරෙට ඇතුල් වෙන තැනම තියෙන Tea bar එකට. ලංකාවෙ තියෙන ගොඩක් තේ වර්ග මේ Tea bar එකේ තියෙනවා. පොලිෂ් කරපු ලෑලි වලින් හදල තියෙන භෝජනාගාරෙ බිමටයි වහලටයි ගැලපෙන්න ලී වලින්ම හදපු මේස ටික අවන්හලට ගේන්නෙ අමුතුම ගතියක්. මෙතන නිර්මාණකරනය හරිම ස්වාභාවිකයි.

භෝජනාගාරෙ ඇතුලෙ තමයි වැඩ කිඩ ටික තියෙන්නෙ. කොක්ටේල් දානවා. සද්දෙට කොත්තු දානවා. මුළු භෝජනාගාරෙම චීන කෑම සුවඳින් පිරිලා. තද බඩගින්නක ඉඳපු අපි දෙන්නගෙ බඩගින්න, කෑම සුවඳ නිසා දෙගුණ තෙගුණ වුණා.

හරිම අමාරුවෙන් භෝජනාගාරෙ අයිනකට වෙන්න තිබුණ මේසයක් අල්ල ගත්ත අපි දෙන්න බෑග් ටික පැත්තකින් තියල වොෂ් රූම් එකට ගිහින් මූණ කට හෝදගෙන ආවා.

ආහාර සහ සේවාව

හදිස්සියක් නෑනෙ. රස බල බල නිදහසේ කන්න ඕන. සේවක මිත්‍රයෙක් ආවා. මෙනුවකුත් දුන්නා. නියම කෑම ජාති ටිකක් මෙතන තියෙන්නෙ. බර්ගර්, පීසා, පැස්ටා, ස්පැගටි වගේ කෑම ජාතියි රයිස් ඇනිඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරාන් වගේ බත් ජාතියි හරක් මස් හැර අනික් හැම මස්, මාළු ජාතියකින්ම වගේ හදපු ඩෙවල්, ස්ටූ, ෆ්‍රයිස් වගේ කෑම ජාතියි... කොහොම හරි කෑම ජාති 100ක් විතර තියෙනව මෙනුවෙ. ඒ විතරක් නම් බැරියැ බීම ජාති. කොක්ටේල්, ස්මූතීස්, ෆ්‍රෙෂ් ජූස්, අයිස් ටී... ඒ ඇරුණාම අරක්කු, විස්කි බ්‍රැන්ඩිත් තියෙනවා.

''මම ගන්නව චිකන් වෙජිටබල් මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 400). උඹ මොනවද ගන්නෙ?''

කෑම ඇණවුම් කරන්න කලින් මම යාළුවගෙන් ඇහුවා.

''ම්ම්.. මම කනව චිකන් බර්ගර් එකක් (රු. 499). කාලෙකින් හොඳ බර්ගර් එකක් කන්නත් බැරිවුණා'' කෑම ජාති දෙකක් තෝර ගත්ත අපි දෙන්නා සේවක මිත්‍රයට කථා කරල කෑම ටික ඇණවුම් කලා.

කෑම ටික මේසෙට එන්න විනාඩි දහයක් විතර යන්න ඇති. Rotti hut එකේ සේවයේ පැහැදිලි වෙනසක් තියෙනව. ඇත්තටම මම ඒ වෙනස මීට කලින් කිසිම අවන්හලක දැකල නෑ.ඒක හරිම දුර්ලභ ගුණාංගයක්. ඒ මේකයි. අපි හිතමුකො එක මේසෙක තුන්දෙනෙක් වාඩි වෙලා කෑම ජාති තුනක් ඉල්ලුවා කියලා. කෑම ජාති තුනම මේසෙට එන්නෙ එකට. කොහොමද ඒක! ඇත්තටම හොඳයි.

මේක ෆට්ට ෆ්‍රයිඩ් රයිස් එකක්. මම මේ කියන්නෙ රස නෙමෙයි. පෙනුම. රයිස් එකේ තියෙන බත් ඇට ගාණට සමාන ඇති එළවළු කෑලිවලයි මස් කෑලි වලයි එකතුව. ඒ තරම් මස් කෑලියි එළවළුයි. මෙහෙම රයිස් එකක් නම් මම මීට කලින් දැකලා නෑ. අපි කොළඹදි කන රයිස් එකට නම් චිලී පේස්ට් ටිකක් එහෙම එනවනෙ. ඒත් මේකට නෑ.

''එක්සියුස් මී.. මේ.. මල්ලි, මට චිලී පේස්ට් ටිකක් ගෙනැල්ල දෙන්න පුළුවන්ද ?'' මම සේවක මිත්‍රයාගෙන් ඇහුවා.

''ආ පුළුවන් සර්, හැබැයි ඕකට නියම ගාණට චිලී පේස්ට් දාලා තියෙන්නෙ. කාලා බලන්නකො. ඒත් මම ගෙනැල්ල දෙන්නම්''

ඔන්න මට කේන්ති යනව ඉතින්. මොකද මට ටිකක් සැරට කන්න ඕනිනෙ. අවුලක් නෑ. ගේනකම් කමුකො කියල මම රයිස් හැන්දක් රස බැලුවා. දෙයියනේ, කොල්ල කියපු කථාව ඇත්තනෙ. සැර ගාණටම තියෙනවනෙ. ඒ විතරක්ද, රස!

හෙවිල්ලක් බැලිල්ලක් නෑ මම කෙලින්ම ඔළුව ඉස්සුවෙ රයිස් හැඳි 5,6ක් කාලා ඉවර වෙලා. ඇත්තටම චීන කෑම වල තියෙන්න ඕන ආවේණික රසයි කන කන හැන්දක් ගාණේ තියෙන තරමට එකතු කරලා තියෙන මස් කෑලි තොගයයි! මස් බැදලා ටිකක් පොඩියට ඉරලා වගේ තමයි දාලා තිබුනෙ. අමුවෙන්ම එකතු කරපු ලීක්ස්, කැරට්,ගෝවා කෑලි ටික ලාවට බැදිලා නියම සුවඳයි. ඒ මැද්දට කැරලි වෙන්න බැදපු බිත්තරේකුත් එකතු කරලා. මේ රයිස් එක හොඳයි නෙමෙයි අනර්ඝයි.

රයිස් පිඟානෙ කටවල් හත අටක් ඉතුරු කරපු මම බර්ගර් එකටත් බහින්න හිතාගෙන හෙමිහිට යාළුවට රයිස් එක දික් කලා. යේ..යි. යාළුව ලණුව කෑවා. දැන් මට බර්ගර් එකෙන් භාගෙක විතර කෑල්ලකුත් රහ බලන්න පුළුවන්. මම මුකුත් වුණේ නැති ගාණට බර්ගර් එක රස බලන්න පටන් ගත්තා.

කෑම වල රස නම් එකකට එකක් පරදින්නෑ. මහ ලොකු ජාතියක් කියල දාලත් නෑ බර්ගර් එකට. උඩිනුයි යටිනුයි චීස් පෙති 2යි යට සලාද කොළයයි මැද්දෙ සෙන්ටිමීටරයක් විතර ඝන කම බැදපු මස් පෙත්තයි. හැබැයි මාර වැඩේ කියන්නෙ චීස් රස වෙනමයි ගෝවා රස වෙනමයි බැදපු මස් රස වෙනමයි බනිස් එකේ රස වෙනමයි වෙන වෙනම දැනෙනවනෙ. බර්ගර් වලට ගැලපෙන ලා ගම්මිරිස් සැරකුත් එනවා. මස් පෙත්තත් නියම ගාණට බැදිලා මස් රසින් පිරීල. ඒකට චීස් රසත් එකතු වුනාම සුපිරිම තමයි. කොහොම හරි බර්ගර් එක කාලා ඉවර වෙනකොට නම් බඩ ෆුල්.

අනුමිතිය

ඇල්ල පැත්තෙ සුන්දර ස්වභාව සෞන්දර්යය රස විඳින්න එන ඔයාලටත් රසම රස උදේ කෑම, දවල් කෑම, රෑ කෑම වේලක් කන්න හරි හොඳ තේකක් නැත්නම් ස්වාභාවික පළතුරු යුෂ එකක් බොන්න හරි හ්ම්ම්.. හවස් වෙලා පොඩි ෂොට් එකක් දාන්න ඉන්නවනම් ඒකට සුපිරි බයිට් එකක් ගන්න වුනත් නියම තැනක් තමයි ඇල්ලෙ Rotti hut එක.


TIP

Try kottu

Have you visited this place?

Write your own review!
See 1 Comment