Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Dunhinda Falls (Badulla)

Mahiyangana Road, Badulla

  • Closed right now


රසවත් වගේම ගුණවත් බෙලි මල් වීදුරුවක් හකුරු කෑල්ලක් සමඟ රස බලන විට ගතත් සිතත් පිනා යනුයේ අප‍්‍රමාණ ශක්තියකිනි.



‘‘බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න...’’ දීපිකා පි‍්‍රදර්ශනී මහත්මියගේ සුමිහිරි කට හඬින් ගැයෙන ගී පෙළ මා මතකයට ගෙන එනුයේ දුන්හිඳ ඇල්ලට යන පාගමනෙහි මග දෙපස නිරන්තරයෙන් මුණගැසෙන දිරිය කතුන්ගේ කඳුළු කථාවයි. අතිශය රමණීය මිහිදුම් පටලයකින් විශාල භූමි ප‍්‍රදේශයක් නිරන්තරයෙන් නහවන දුන්හිඳ ඇල්ල පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර් 230ක් පමණ දුරින්, ඌව පළාතෙහි බදුලු පුරවරය තුළය‍.

පිහිටීම

පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම්පළෙන් අංක 99, බදුල්ල - කොළඹ බස් රථයකට ගොඩවන ඔබ රුපියල් 500කට ආසන්න මුදලක් වැය කොට ගමන් පත‍්‍රයක් ලබාගත යුතුය. පසුව පැය 6කට ආසන්න ගමන් කාලයකින් අනතුරුව ඔබට බදුල්ල නගරයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇත. එසේත් නැතිනම් කොටුව දුම්රිය ස්ථානයෙන් (1වන පන්තිය - රු. 660, 2වන පන්තිය - රු. 370, 3වන පන්තිය - රු. 210) වන ගමන් පත‍්‍රයක් ලබා ගෙන උඩරට මැණිකේ දුම්රියට ගොඩ වන ඔබට මනස්කාන්ත දර්ශන තලයක ආශ්වාදය විඳිමින් පුරා පැය 12ක පමණ කාලයකට පසුව බදුලු පුරවරයට පැමිණිය හැකිය. එතැන් සිට මහියංගනය මාර්ගයෙහි ගමන් ගන්නා බස් රථයක හෝ රුපියල් 200ක පමණ කුලී පදනම මත ලබා ගන්නා ති‍්‍රරෝද රථයක ආධාරයෙන් ඔබට දුන්හිඳ ඇල්ලෙහි පිවිසුම් මං පෙත වෙත ලඟා විය හැකිය.

ඔබ පෟද්ගලික වාහනයක පැමිණෙන්නේ නම් අවිස්සාවේල්ල, රත්නපුර, බළංගොඩ, හපුතලේ, බණ්ඩාරවෙළ, බදුල්ල හරහා මහියංගන මාර්ගයෙහි ද දුන්හිඳ ඇල්ල පිවිසුම වෙත ප්‍රවේශ විය හැකිය.

පාගමන

එතැන් සිට වනුයේ රමණීය කඳු පන්තියක් මධ්‍යයේ වැටුණු අඩි පාරක කිලෝමීටර් දෙකකට ආසන්න පා ගමනකි. පා ගමන ආරම්භයෙහිම වාගේ ඇති මුර කුටියෙන් රුපියල් 25ක මුදලක් ගෙවා දුන්හිඳ ඇල්ල ප‍්‍රවේශ පත‍්‍රයක් ලබා ගැන්නා ඔබ ඉන් පසුව දකුණු පසින් අහස් කුස සිප ගන්නා කඳු පන්තියත් වම් පසින් බදුලු ඔය තෙක් දිවෙන හෙලත් මධ්‍යයේ ගමනාන්තය සොයා යා යුතුය. තැනින් තැන ගල් මතු වූ අඩි පාර තරමක් කටුක වුවද භූමිය සුමට වී ඇති තැන්හි කොන්කී‍්‍රට් පඩි යොදා සැකසූ පිය ගැට පෙළ නිසාවෙන් ගමන එතරම් අපහසු වනුයේ නැත.

උදෑසනින්ම ගමන් ඇරඹුවහොත් ඔබ හට බිඳකුදු හෝ වෙහෙසක් නොදැනෙනවා නොඅනුමානය. මන්ද යත් අවට පරිසරය සිසාරා නැගෙන විහඟ හඬ ද ඈත කඳු පන්තියෙන් එබිකම් කරන හිරුගේ රශ්මි කදම්භයන් ද මන නළ පිනා යන ආශ්වාදයක් නිසැකවම ඔබේ සිත තුල ජනිත කරනු බැවිනි. පින්නෙන් නැහැවුණු තුරු ලතා කුළුඳුල් හිරු කිරණ පරාවර්තනය කරමින් දුන්හිඳ දිය ඇල්ල අවට කඳු පන්තියෙහි සිතුවම් කරන රන් පැහැ සිතුවම අතිශය මනස්කාන්තය. නිරන්තරයෙන් හමන මන්ද මාරුතයත් භූමියෙන් නැගෙන මිහිදුමත් ගතට ගෙන එන සිසිලස නොනවතින පාගමනකට ඔබට ආශීර්වාද කරනු ඇත.

මග දෙපස හමුවන කඩ මණ්ඩි පා ගමනෙහි ගිමන් නිවාගැනීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත. රසවත් වගේම ගුණවත් බෙලි මල් වීදුරුවක් හකුරු කෑල්ලක් සමඟ රස බලන විට ගතත් සිතත් පිනා යනුයේ අප‍්‍රමාණ ශක්තියකිනි. ඒ හැරුණු කොට නිවසේ සෑදූ ඉඟුරු දෝසි, පුහුල් දෝසි වැනි රස කැවිලි වර්ගයන් ද කිතුල් පිටි, කුරක්කන් පිටි, හබල පෙති සහ තල, මෙනේරි වැනි අපූරු දේශීය ආහාර වර්ගයන්ද මිලදී ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මෙලෙස තම දාඩිය මහන්සියෙන් සාදන රස කැවිලි විකුණමින් දිවි පෙවෙත රැකගන්නා පවුල් රැසක් මෙහි සිටිති. ඔවුනට ඇති ප‍්‍රධානතම බාධාව වනුයේ ඇල්ල අවට ප‍්‍රදේශයෙහි අරක් ගෙන සිටින රිළවුන් ය. රංචු පිටින් විත් කඩ පිල් තුලට වැද බඩු බාහිරාදිය විනාශ කර දමන රිළවුන් ඉතිරිය කා දමති. තවද සුළං අධික වර්ෂා කාලයන් හිදී සිදුවන පාංශු ඛාදනය නිසාවෙන් කඳු භූමියෙහි මතුවන ගල් කැබලි රූටා විත් පුංචි කඩමණ්ඩිවල ටකරං වහල සිදුරු කිරීම ද මේ දිරිය කතුන් හට ඇති තවත් විශාල සිත් තැවුලකි.

ස්වභාවය

දුන්හිඳ ඇල්ල දිය ඇලි දෙකකින් සමන්විතය. ඉන් ප‍්‍රධාන දියඇල්ල ගමනාත්තයෙහි හමුවන වේදිකාව මත හිඳ හෝ එතැන් සිට වන පටු අඩිපාර ඔස්සේ දිය ඇල්ල පාමුලට ගොස් හෝ නැරඹිය හැකිය. අනෙක පිවිසුම් දොරටුව පසුකර කිලෝමීටර භාගයකටත් අඩු දුරකදී මුණ ගැසේ. කුඩා දුන්හිඳ නම් වන එය පාමුලට යාමට වනගතව හෝ මං පෙතක් ඇති දැයි මා හට සොයා ගැනීමට නොහැකි විය. පිවිසුම් අඩි පාරෙහි වන වේදිකාවක් මත හිඳ කුඩා දුන්හිද නැරඹිය හැකි වුවද වර්ෂා කාලයන් හිදී ඉක්මණින් වැඩෙන ශාක පත‍්‍ර නිසාවෙන් එම දර්ශනය බොහෝ විට ඔබට අහිමි වීමට ඉඩ ඇත.

අඩි 210ක් (මීටර 64ක්) උස ගල් කුලක් මධ්‍යයෙන් කඩා හැලෙන දුන්හිඳ ඇල්ල පාමුල වර්ග මීටර 100ක පමණ වන විශාල තටාකයක් ඇත. බදුල්ල නගරයෙහි වියළි දේශගුණයක් පවතින වසරේ දෙසැම්බර් සිට මැයි දක්වා වන කාල පරාසය තුල මෙම තටාකය සෑදී ඇති ගල් කුළු ඔස්සේ පය තබමින් දිය ඇල්ලෙන් එගොඩට යාමට හැකියාව ඇති අතර දුන්හිඳ ඇල්ලෙහි මුඛය වෙත බදුලු ඔය ඔස්සේ කිලෝමීටරයකට අධික වනය පීරමින් වන පා ගමකින් ද පැමිණිය හැකිය.

දේශගුණය

ඌව පළාතෙහි බොහෝ ප‍්‍රදේශයන් වියළි කලාපයට අයත් වුවද බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප‍්‍රදේශයන් අයත් වනුයේ අතර මැදි දේශගුණික කලාපයටයි. වසර තුල මැයි සිට සැප්තැම්බර් දක්වා වන නිරිත දිග මෝසම් වර්ෂා කාලය හැරුණු කොට බදුලු ඔයත් දුන්හිඳ ඇල්ලත් බොර පැහැ ගන්වනුයේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුල ඇදහැලෙන අන්තර් මෝසම් වැසි පමණි.

වාතාවරණය

පාරිසරීය තත්ත්වයන් හරි හැටි සොයා බැලීමෙන් තොරව පසුගිය කාල වකවානුව තුලදී ඇරඹූ උමා ඔය ජල ව්‍යාපෘතිය නිසාවෙන් මුළුමනින්ම ජල පෝෂිත ප‍්‍රදේශයක්ව තිබු බදුලු පුරවරය අද වන විට අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇත. සොබා දහමේ විරෝධතාවය නිසාවෙන් උමා ඔය ජල ව්‍යාපෘතිය නතර වුවද මුළු මහත් භූමි ප්‍රෙද්ශයක් පෝෂණය කරමින් මහ වැලි ගඟ සොයා ඇදෙන බදුලු ඔයෙහි තිබූ පිරිසිදු ජල දහරාව අද වන විට පාංශු අංශු මිශ‍්‍ර මඩ දහරාවක් වී හමාරය.

දුන්හිඳ ඇල්ල අවට භූමිය ද නරඹන්නන් විසින් මේ වන විටත් නොදිරන ද්‍රව්‍යයන්ගේ ඇතිරිල්ලක් කොට අවසානය. කන ටොපියක කොලයක් වත් බිම නොදමන සුද්දන් ඉදිරියේ අභිමානයෙන් යුතු යැයි කියාගන්නා සමහරක් නිවට ශ්‍රී ලාංකිකයින් තම පිපාසය නිවූ හිස් වතුර බෝතලය පවා ගතෙහි වීරිය යොදා දුන්හිඳ ඇල්ල පිවිසුම් මාර්ගයෙහි පාමුලට වීසි කරනු දැකීමට තරම් අපි අද අභාග්‍ය සම්පන්න වී ඇත.

ජෛව විවිධත්වය

නිය දිගු මා හික් මීයා, කැළෑ හික් මීයා, රිළවා, රත් උණහපුළුවා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන ක්ෂීරපායී සත්ව විශේෂයන් ද

වළි කුකුළා, අළු කෑඳැත්තා, ලේ පිට මහ කෑරලා, බොරග දෙමලිච්චා, රත් මූණත් කොට්ටෝරුවා, නිල් පිළිලිච්චා, ශ්‍රී ලංකා සැළලිහිණියා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන පක්ෂි විශේෂයන් ද

Pale Ceylon Six Lineblue සහ Lesser Albatross (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන සමනළ විශේෂ රැසක් ද

දඟර දණ්ඩා, සිවුරුහන් ලන කටුස්සා, පිනුම් කටුස්සා (ලංකාවට ආවේණික) ඇතුළු තවත් ආවේණික සහ ආවේණික නොවන උරග විශේෂයන් ද දුන්හිඳ ඇල්ල අවට පරිසරයෙහි ජීවත් වෙති.


TIP

සිංහලෙන්ම කියන්නම් යාළුවනේ, අඩුම තරමේ තමන් ගෙනියන නොදිරන දේවල් ටික වත් අරන් එන්න පුරුදු වෙන්න !

Address

Mahiyangana Road, Badulla

Directions

Keep going about 5km on Mahiyangana road from Badulla town & turn right to get in to the access road

Report Inaccuracy

Closed right now

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment