Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

5/5

Golden Hill Tea Center

Uda Viharagala, Haputale


A little misty jungle to have a hot high tea or a coffee to get warm! It's in Haputale..



හීත මීදුමෙන් මුළු කඳුකරයම වැහිල ගිහිල්ල. වෙලාවකට අපිටම අපිව පේන්නෙ නැතුව යන ගානයි. කටහඬ තමයි ලං වෙන්න ඈත් වෙන්නවත් දිසාව හොයාගන්න උදව් වුනේ. ඇත්තටම ඒක නම්.. හරිම අපූරු සොබාදම් අත්දැකීමක්. විඳින්න විතරක් නෙවෙයි, හිතේ හැටියට විඳගෙන සුන්දර මතක ගොන්නට එකතු කරගන්නත්. බෙරගල ඉඳන් අපි අපේ ගමන හපුතලේට යනකම් පයින් යන්න කල්පනා කලෙත් ඒ නිසාමයි. හැරත් ඉතින් අවුරුද්දකට සැරයක් විතරක්, විඳගන්න ලැබෙන මේ අපූරු අත්දැකීම මගඇරගෙනත් මොකටද. අනික ඒ අතරට අපි කල්තියා ප්ලෑන් කරපු වෙන ප්ලෑන් එකකුත් නොතිබුනාම නෙවෙයිනෙ.

මිහිදුම් හීතලෙන් වෙලිල ගියපු ගත හිත උණුසුම් කරගන්න.. අපේ කල්පනාව තිබුනෙම ‘ගෝල්ඩන් හිල්’, හපුතලේ අපූරු කැෆේ එකට ගොඩවෙන්න. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒකෙ තියෙන හිතාගන්න බැරි තරම් ලස්සන ඇතුලත අලංකරණය නිසා. ගහට කොළට, සතා සීපාවට ආදරය කරන කෙනෙක්ට නම්.. සත්තයි බදුලු පුරවරයෙම නැතුව ඇති ඒ තරම් ගැලපෙන තැනක්!

‘ඔලිව් ෆැක්ටරි’ තේ වතු සහ හෝටල් දාමය කරගෙන යන අයම තමයි මේ සුන්දර කැෆේ එකෙත් අයිතිය දරන්නෙ. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ, එයාලා පරිසරයට අසීමිත ලෙස ආදරය කරන අය කියල. මොකද මුලු මනින්ම ‘ඉකෝ’ නැත්නම් ‘ග්‍රීන්’ සංකල්පය යටතේනෙ මේ කැෆේ එක හැඩ කරල තියෙන්නෙ. ඒකත්.. වචනයෙන් විස්තර කරනවට වැඩිය හොඳයි ඔයාලම ඔය පහළින් තියෙන ෆෝටෝ ටික බලල අදහසක් ගන්න එක.

ඉවතලන හැම දෙයකින්ම වගේ හිතාගන්න බැරි විදියෙ අලංකරණ කරල. ඒකත් නිකම් නම් බැරියැ, තනිකරම ගස් වැල්, කුරුළු කොබෙයියන්ගෙන් පිරිල ඉතිරිලා යන විදියට. කොටින්ම කියනව නම් භෝජනාගරාය මැද තියෙනව ගේ කුරුල්ලන්ට වෙන්වුනු වෙනමම තැනකුත්.

ඉතින්.. අපිත් කල්පනා කලා අපේ උදේ කෑමට ඒ කිට්ටුවෙන්ම වාඩිවෙන්න!

“ගුඩ් මෝනින් සර්. මොනවද කන්නේ..” සුහද හිනාවකුත් එක්ක අපේ ඉස්සරහට ඉස්ඉස්සෙල්ලාම කියල ආවෙ කැෆේ එකේ සේවක මිතුරියක්.

“ම්.. අපිට බ්‍රෙක්ෆස්ට් වලට මොනවද තියෙන්නෙ?”

“සර්.. ෆ්‍රයිඩ් රයිස් තියෙනව. ඒ හැරුනාම නම් ෂෝටීට්ස් තමයි. බොන්න කොෆී, ටී වගෙත් තියෙනව සර්”

“එහෙමද? අපිට එහෙනම් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි (රු. 300), සීනිසම්බල් බන් එකකුයි (රු. 60), සොසේජ් බන් එකකුයි (රු. 60) ගේන්නකො. අර.. ලඩ්ඩුත් (රු. 25) තිබ්බ නේද?”

“ඔව් සර් ලඩ්ඩුත් තියෙනව”

“ආ.. එහෙනම් ලඩ්ඩු 2කුත් ගේන්න. ඒකයි බොන්න.. මට හොට් චොක්ලට් එකක්? (රු. 175)”

“මට ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් (රු. 250)” අරය මැද්දෙන්ම පැනල දුන්න උත්තරේ.

“හරි නේ ඒනම්.. ආහ්, ඩෙසට් එකට ‘චොක්ලට් කේක් විත් අයිස් ක්‍රීම් ඇන්ඩ් හනි’ එකක් ගන්න පුලුවන්ද?”

“ඔව් සර් පුලුවන්. මම ගේන්නම්…”

ඕඩරේ නම් දැම්ම. ඒත් අපිට නම් ඉවක් බවක් නෑ. ඒ පුංචි කැළේ ඇතුලෙ එහෙට මෙහෙට ඇවිද ඇවිද හැඩ වැඩ බලනවා, ෆොටෝ ගහනවා.. ඒ විතරක් නෙවෙයි, ගේකුරුල්ලන්ගෙ ආදර කතා, ලාවට ඇහෙන වතුර සද්දෙ! හරියට නිකම් සිංහරාජෙට ආවා වගේ..

ඉතින් වෙලාවක් යනව තියා හාන්කවිසියක් තියෙයිද කියන්නකො යාළු. සේවක මිතුරිය කෑම ටික මේසෙට ගෙනැල්ල අපිට කතා කරනකම්ම අපි නෙවෙයි හාවක් හූවක්.

දෙන්න මේසෙට වාඩිවුනු ගමන්ම අතට ගත්තෙ උණු උණු ෆ්‍රයිඩ් රයිස් එක.

කටක් කෑවා.. දෙකක් කෑවා.. හොදි ටිකකුත් දාගෙන ඔන්න තුන!

ආයෙ ටොප් ඈ.. හැබැයි අර කඳුකරයෙ කෑමවල තියෙන විශේෂත්වය, ලුණු වැඩි එක, අන්න ඒක නම් ටිකක් තියෙනව. ඒ වුනාට ෆ්‍රයිඩ් චිකන් ලෝබ නැතුව දාලා, කැරට් ලීක්ස්, මිරිස් අඩුම කුඩුම වලිනුත් අඩු නැති ඒ රයිස් එකේ රස නම්.. පංකාදු පහයි. ම්ම්.. ඒත් බාග වෙලාවට හිතෙනව මොනවහරි රස කාරකත් පාවිච්චි කරලද කියල. මොකද ඒ රසේ නිකම් තියෙනව එහෙම ගතියකුත්.

අන්න ඒකට ෂෝටීට්ස් ටික. සීනි සම්බල් පාන් එක එහෙම හරිම රසයි. කොටින්ම අපි ගෙවල්වල හදන සීනි සම්බල් රසමයි. සොසේජ් බන් එකත් ගොඩක් දුරට ෆ්‍රෙෂ්. අනික ඒක ඇතුලට බටර්ද මාගරින්දත් දාලා..

ආයෙ කියන්න ඕන නෑනෙ ඉතින්.

ලඩ්ඩු එකේ රසත් ආයෙ දෙවනි නැති. කඩල පිටියි, මසාලා පැණි රස ආදියත් එක්ක.. ටොපේ ටොප් යාළු.

ඔක්කොටමත් වැඩිය එයාලගෙම අයිස් ක්‍රීම් එකයි, චොකෝ කේක් එකයිනෙ. කේක් එකේ සොෆ්ට් ගතිය කියන්නෙ හිතා ගන්න බෑ. අයිස්ක්‍රීම් එකත් ෆ්‍රෙෂ් මිල්ක් වලින් එවෙල හදල. ඒක උඩට සීනි හකුරු වෙච්ච කිතුල් පැණි දාලා.. කටක් කෑවාම දෙවනි එකට ඉබේට අත යන්නෙ.

රියල්ම කැඩ්බරි චොකෝ වලින් හදපු හොට් චොක්ලට් එක! පැණි රස නම් ගාණට. හැබැයි කිරි රස නම් පොඩ්ඩක් වැඩියි මට. මොකද මම ආස ඩාර්ක් චොකෝ රසටනෙ හොඳටම..

ඒ සියල්ලත් හරි ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකත් හරි. හිතන්නකො එයාලගෙම ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදපු අයිස් ක්‍රීම් දාලා, හොඳ හැටි ඉදුණු ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි දාලා එකට බ්ලෙන්ඩ් කරල ගත්තාම..

හීතල වෙච්ච ගත් සිත් උණුහුමෙන් විතරක් නෙවෙයි, අන්තිමට ආදරයෙනුත් පිරිල ඉතිරිලා ගිහින්. කොහොමහරි අපි කෑම කාපු වෙලාවට වඩා වෙලාවක් එතන කරල තියෙන්නෙ සුන්දරත්වය රස විඳපු එක.

ඒත්..

එදත්…

වෙන් වෙන්න එළියට බහිද්දි නම් ඉතින්..!


TIP

Try Tea

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment