Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

Grill Corner (First Look)

31A, Marine Drive, Colombo 06


Your average fast food joint that serves good chilli chicken shawarma.



"ස්ට්‍රීට් ෆුඩ් ජොයින්ට්" විදියට නම් කරන්න පුළුවන් තැන් බොහොමයක් ලංකාවේ තිබුණත්, ඒ හැම එකෙන්ම හොඳ රස කෑම ගන්න පුළුවන් කියලා කියන්න අමාරුයි. සමහර වෙලාවට මේ වගේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැන් වලට ගොඩක් අය යන්න අදිමදි කරන්නෙත් ඔය හේතුව නිසා වගේම, වටපිටාවේ තියෙන අපිළිවෙල නිසා. ඉතින් ඒ සාමාන්‍ය තත්ත්වයෙන් මදකට බැහැර වෙලා, හොඳ වටපිටාවක කටට රසට කෑම ටිකක් කන්න පුළුවන් විදියට ඉදි කරපු අවන්හලක් තමයි වැල්ලවත්තේ Grill Corner එක.

තැන

වැල්ලවත්තේ මැරීන් ඩ්‍රයිව් එකේ Rio අයිස් ක්‍රීම් එක පහු කරගෙන මීටර් කිහිපයක් දෙහිවල පැත්තට යද්දී තමයි ග්‍රිල් කෝනර් එක හමුවෙන්නේ. දැනගන්න ලැබුණ විදියට මේක විවෘත කරලත් තවම මාසයක් වගේ. තට්ටු දෙකකින් සමන්විත මේ අවන්හල බොහොම පිරිසිදුව, පිළිවෙලට තියාගෙන ඉන්න බවක් අපට පෙනුණා.

කෑම බීම

අපි මෙතනට ගොඩ වුණේ හවස් වරුවක. ලොකූ සෙනඟක් නොහිටියත්, හුඟක් දෙනා කෑම අරන් යන්න මේ පැත්තේ එන බවක් පේන්න තිබුණා.සබ්මැරීන්, බර්ගර්, ශර්වමා, වගේ කෑම වර්ග එක්ක බුරියානි වර්ග තමයි ග්‍රිල් කෝනර් එකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. බීම වර්ග විදියට නම් විශේෂ දෙයක් ගන්න නැහැ; කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ දේවල් තමයි.

අපි starter එක විදියට තෝරාගත්තේ Honey Chicken BBQ (රු.240) එක. ඒ ඇරුනම, Chili Shawarma  (රු.320) එකකුත්, Chicken Tikka Biriyani (රු.370) එකකුත් අපි ඕඩර් කළා.

චිකන් බාබෙකියුවලට තක්කාලි සෝස් එක්ක, ලාවට මී පැණි තවරලා හදපු හනී චිකන් බාබෙකියු එක නම් හරිම රසයි. බාබෙකියු එකේ තියෙන ලුණු රසට සෝස්වලින් වගේම මී පැණි වලින් එකතුවෙන පැණි රසෙන් එන්නේ වෙනස්ම විදියේ අලුත්, හොඳ රසක්. බාබෙකියු කරපු චිකන් කෑලි පහක්ම මේ starter එකට හම්බවෙනවා.

චිලී ශවර්මා එක පුරවලා තිබුණේ ස්පයිසි චිකන්, ගෝවා, ළූණු වගේම ගම්මිරිස් යහමින් දාලා හදපු මිශ්‍රණයකින්. ඒ නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම සැරක් මේ ශවර්මා එකේ තිබුණා. අපි ඕඩර් කරපු කොකාකෝලා එකත් හොඳට කූල් කරලා තිබුණ නිසා, උණු උණුවෙන්ම පිළිගැන්වුණ මේ චිලී ශවර්මා එකෙන් ආවේ දිව පිනවන රසක්.

ග්‍රිල් කෝනර් එකේ අපි තෝරගත්ත කෑම වලින් අපට හොඳටම අල්ලලා ගියේ චිකන් ටික්කා බුරියානි එක. හරි විදියට හදපු බුරියානි එකකින් එන රස, මේ බුරියානි එකේ අඩුවක් නැතුවම තිබුණා. ගාණට තැම්බුණු බත් එක්ක ලෝබ නැතුව මිශ්‍ර වුණු කුළුබඩු නිසා තමයි මේ බුරියානි එකේ මෙච්චර රසක් එන්නේ. කෝටුවක අමුණපු ටික්කා චිකන් කෑලි හතරකුත්, ළූණු, තක්කාලි දාලා හදපු curd සැලඩ් එකකුත් මේකට හම්බෙනවා.

දැක්කත් බඩ පිරෙන ජාතියේ පෙනුමක් තමයි මේ බුරියානි එකේ තිබුණේ. ඒ විතරක්ද, මේකෙන් එන සුවඳ! කොච්චර බඩ පිරිලා තිබුණත් මේකෙන් එක කටක් හරි කන්න හිතෙනවා සත්තයි. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මේ ලැබෙන බුරියානි එකේ ප්‍රමාණය තමයි. හොඳට කන්න බොන්න පුළුවන් කෙනෙක්ට නම් මේක මදි වෙන බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. මොකද මිල රුපියල් 370ක් වුණත් ලැබෙන්නේ හරි අඩු බත් ප්‍රමාණයක්. ඒත් මේකේ රසට නම් වහ නොවැටී ඉන්නවා බොරු.

සර්විස් එක

අපි ඕඩර් කරපු කෑම සේරම ටික මේසෙට එන්න ගත වුණේ මිනිත්තු 10ක් වගේ කාලයක්. මෙනු එකේ තියෙන කෑම සේරම වගේ හැමවෙලේම තියෙන බවක් තමයි අපට දැනගන්න ලැබුණේ. අනිත් දේ තමයි, මේ කෑම වර්ග තෝරගනිද්දී ග්‍රිල් කෝනර් එකේ මැනේජර් මහත්තයගෙන් ලැබෙන්නේ හොඳ සහයක්. කොටින්ම කියනවනම්, බොහොම හොඳ, සුහදශීලී සර්විස් එකක් අපට ග්‍රිල් කෝනර් එකේදී ලැබුණා.

අවසාන වශයෙන්

යාලුවොත් එක්ක වැල්ලවත්ත පැත්තේ ඇවිදින්න එහෙම යනවානම්, පොකට් එකට වැඩි බරක් නොවී, හොඳ කෑම වේලක් කන්න යන්න පුළුවන් තැනක් විදියට ග්‍රිල් කෝනර් එක හඳුන්වන්න පුළුවන්. මෙයාලා ඩිලිවරිත් කරන නිසා, වැඩි කරදරයක් නැතුව මේ රස කෑම ගෙදරටම ගෙන්නගන්නත් ඔයාලට හැකියාව තියෙනවා.

ග්‍රිල් කෝනර් එක විවෘත කරලා ලොකු කාලයක් නැති නිසා එයාලව review කරන්න වේලාසන වැඩියි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ලැබුණ අත්දැකීම්වල හැටියට නම්, දිග ගමනක් යන්න පුළුවන් හැකියාවක් මේ අවන්හලට තියෙනවා කියලයි අපට හිතුණේ. ඒ නිසා මාස දෙක තුනකින් ආයෙත් මේ පැත්තේ එනවා කියලා හිතාගෙනම තමයි අපි මෙතනින් එලියට බැස්සේ.


TIP

They deliver to Colombo 03, 04 and 06.

Address

31A, Marine Drive, Colombo 06

Directions

Next to Harmer's Avenue, Colombo 06

Contacts

Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Meats Biriyani Beef Chicken Tandoori Burgers Submarines Shawarma Wraps

Cuisine

Fast Food


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment