Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

3/5

Helambula

113, Hunupitiya Lake Road, Colombo


A moderately old house flipped to a homey rice & curry spot located down Hunupitiya Road.



හෙළ ඇඹුල, හෙළැඹුල. කියවගන්න ටිකක් අමාරු වුණාට, හෙළැඹුල කියන්නෙ ගමේ රහ වෑහෙන නමක්! නම වගේම මෙතන තියන ඇඹුලත් ගමේ රහ ද කියල බලන්න, අපි ගියා හෙළැඹුල හොයාගෙන. මේක ඉස්සර නම් කරල තිබිල තියෙන්නෙ හෙළදිව නමින් බව දැනගත්තෙ එතකොට.

තැන

කොල්ලුපිටිය ගංගාරාම පන්සල කිට්ටුව හුණුපිටිය පාරෙ තියන, රෙස්ටුරන්ට් එකක් බවට හරවපු පරණ තාලෙ ලොකු ගෙදරක් තමයි හෙළැඹුල කියන්නෙ. ඒ නිසා මෙතෙන්ට ඇතුල් වෙනකොට ම එන්නෙ පරණ තාලෙ ගෙදරකට ඇතුල් වෙනකොට එන හෝමි ගතියක්. අපි ගියේ ඔෆිස් කෑම පැයේ නිසා එවෙලෙ නං සෙනඟ ටිකක් පිරිලා හිටියා. ඒත් ගොඩ දෙනෙකුට වාඩි වෙලා කන්න පුළුවන් තරමට ඇතුළේ ඉඩකඩ තිබුණ නිසා අවුලක් වුණේ නෑ. මෙතෙන්ට දාල තියන නමටම හරි යන්න උයල පිහල තිබුණේ ගමේ ගතියට.

කෑම

රතු බත්, සුදු බත්, නූඩ්ල්ස්, මාළු, චිකන්, බීෆ්, පෝක් එක්ක එළවළු ජාති ගොඩක්, ලොකු පොල්කටු හැඳි දාපු මැටි හට්ටිවල බැබලි බැබලි තිබුණා. තලනබටු, කැරට්, ඇඹරැල්ලා, පරිප්පු, පිපිඤ්ඤා සම්බෝල, පපඩම් එක්ක අපි චිකන් කෑම එකකුයි (රු.250) පෝක් කෑම එකකුයි (රු. 300) ඕඩර් කළා.

ඇඹරැල්ලා කරියට ඇඹුල් රහයි පැණි රහයි තව ටිකක් පදමට මිශ්‍ර වුණා නං හොඳයි කියල හිතුණා. ලූණු, මාළුමිරිස්, තක්කාලි, ගම්මිරිස්, කෑලි මිරිස් එක්ක ලස්සනට අනපු පිපිඤ්ඤා සම්බෝලෙ නං කෑම වේල රස කළා. කටට සැරට තිබුණ රතු පාට චිකන් කරියෙ රස මතක් නොකරම බෑ. තලනබටු එකෙන් යන්තමට ආපු මුඩු තෙල් ගතිය ඇරුණම කෑම වේලේ කියන්න තරම් වෙන මුකුත් වැරැද්දක් නෑ.

චිකන් රයිස් ඇන්ඩ් කරි එකට තලනබටු දාගත්ත අපි පෝක් රයිස් ඇන්ඩ් කරි එකට දාගත්තෙ කැරට්. අබ දාල රහ කරපු කැරට් ටික තලනබටු එකට වඩා නං සෑහෙන හොඳයි. පෝක් කරියත් චිකන් කරියට දෙවෙනි නොවෙන්න, කට වගේම ඇහැත් පිනවන විදිහට හදල තිබ්බා.

අතුරුපස

අතුරුපස විදිහට අපි ගත්තෙ ෆෘට් සැලඩ් එකයි (රු. 150) බිස්කට් පුඩිං එකයි. (රු. 150) මැන්ගෝ අයිස්ක්‍රීම් ස්කූප්ස් දෙකක් උඩින් දාපු ෆෘට් සැලඩ් එක දැක්කමත් සනීපයි. අඹ, ගස්ලබු, අන්නාසි, කෙසෙල් වගේ දාල තිබ්බ පලතුරු අලුත් හින්ද සැලඩ් එක ෆ්‍රෙෂ් ගතියට තිබුණා.

බිස්කට් පුඩිං එක කජු එහෙම දාල හොඳ පෙනුමට තිබ්බට මොකද ෆ්‍රිජ් එකේ තිබිල ද කොහෙද ටිකක් හයියයි. ඒ වගේ ම ඒකෙන් චොකලට් රහ දැනුණේම නැති තරම්. වැඩිපුර ආවෙ මාරි බිස්කට් රහ විතරයි.

සර්විස් එක

කතා දෙකක් නෑ සර්විස් එක නං නියමයි. කොච්චර ද කිව්වොත් අපි ඉල්ලන්නෙත් නැතුවම උණුවතුර ඇල්වතුර දෙකම අපිට ලැබුණා. හැම වෙලේ ම හිනා වෙලා ඉන්න ප්‍රියමනාප ක්‍රියාශීලී අය තමයි කෑම බීම සර්ව් කළේ. ඒ හැමෝම කස්ටමර්ස්ලා ගැන සෑහෙන අවධානෙන් වගකීමෙන් වැඩ කරන බව පේන්න තිබුණා.

අවසාන වශයෙන්

මෙතන සමහර කරිවල රස ගැන තව පොඩ්ඩක් අවධානය යොමු කළොත් හොඳයි කියල අපිට හිතුණා. ඒ කොහොම වුණත් ඔරිජිනල් ඇඹුලක් කන්න හිතාගෙන ගිය අපේ බලාපොරොත්තුව නං හෙළැඹුලෙන් ඉටු වුණා. ඉතින් කොළඹදි ම ගමේ රහට පිරිසිදුවට කෑම වේලක් රස විඳින්න කැමති හැමෝම හෙළැඹුල පැත්තට ගිහින් බලන්න.

Address

113, Hunupitiya Lake Road, Colombo

Contacts

Report Inaccuracy

Open until 04:00 AM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Beef Pork Chicken Fish

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment