3/5

Iceburg

122 High Level Rd, Maharagama


Iceburg is one of the most popular spots in Maharagama that serves up some ok-ish burgers, submarines, waffles and sandwiches for a very affordable price tag.



පහුගිය දවසක ඉන්ස්ටග්රෑම් එකේ උඩටයි පහළටයි ගිය මට, හරි ලස්සන අයිස්ක්‍රීම් එකක පින්තූරයක් දැකගන්න ලැබුණා. ඇත්ත ම කිව්වොත් ඒක තොරණක් වගේ. පාට පාට තොගයක්. පින්තූරේ දාපු කෙනා කියලා තිබුණු විදියට නම්, මහරගම හරියෙන් යනකොට අඩු ගාණට අයිස්ක්‍රීම් ගොඩක් කන්න ආසාවක් ආවොත් අනිවාර්යෙන් ම මේ කියන තැනට යන්න ඕනෙලු. කොහොමත් කොළඹින් රු.300කට තොරණක් වගේ අයිස්ක්‍රීම් එකක් කන්න ලැබෙන එක ම තැන වෙන්නේ රියෝ එකනේ. අනිත් තැන්වල ඊට වඩා ගොඩක් ගණන්නේ.

කොහොමින් කොහොමහරි, ඔය අයිස්ක්‍රීම් එකේ පින්තූරේ දැක්කට පස්සේ මටත් ආසාවක් ආවා ඒ රෙස්ටෝරන්ට් එක පැත්තට ඔලුව දාලා එන්න. වෙලාව ඒ වීකෙන්ඩ් එකේ ම මහරගම පැත්තට ගමනක් සෙට් වුණා. ඒ වැඩේ ඉවර වෙලා එන ගමන් අපිත් ගොඩ වුණා මේ රෙස්ටෝරන්ට් එකට. මේක නම අයිස්බර්ග්.

තැන

කිව්වත් වගේ අයිස්බර්ග් එක තියෙන්නේ මහරගම ටවුමෙමයි. හරියට ම කිව්වොත් හන්දිය පහු කරගෙන එද්දී තියෙන අබාන්ස් බිල්ඩිමේ උඩ තට්ටුවේ. මෙතැන ඇත්තටම සෑහෙන්න හොඳට ඉඩකඩ තියෙන තැනක්. එක සැරේ හතළිහකට වුණත් වාඩි වෙලා කෑම ගන්න පුළුවන් තරමට ඉඩ. අනික හරිම නීට් ගතියයි. රෙස්ටෝරන්ට් එක මැද්දේ හරි ලස්සන තඩි මාළු ටැංකියකුත් තියෙනවා.

කෑම බීම

බර්ගර්ස්වලින් පටන්ගත්තා ම, ක්ලබ් සැන්විච්, සබ්මැරීන්, වොෆල්, පැස්ටා, නූඩ්ල්ස් ආදී වශයෙන් කෑම බීම තොගයක් මේ රෙස්ටෝරන්ට් එකේ තියෙනවා. බීමට තියෙන්නේ ෆ්‍රැපේ, මිල්ක්ෂේක්, ජූස්, ෆලූඩා වගේ ජාති. අහ්! අර කලින් කියපු විදියේ හැඩ වැඩ දාපු අයිස්ක්‍රීම් එහෙමත් ගන්න ඇහැකි. ලොකුම විශේෂත්වය තමයි මේ කෑමවලින් බොහොමයක් රු.500 හෝ ඊට අඩුයි. ඒ නිසා පොකට් එකටත් ලාබයක් තියෙනවා.

කෑම විදියට අපි ගත්තේ “චීස් එග් සබ්මැරීන්” (රු.390) එකකුයි, “තන්දූරි චිකන් චීස් බර්ගර්” (රු.410) එකකුයි. බීම මෙනුවෙන් “ෆලූඩා” (රු.250) එකකුයි, “නටෙලා ෆ්‍රැපේ” (රු.400) එකකුයි ඕඩර් කළා.

මුලින් ම කියන්නම්කො බර්ගර් එක ගැන. ඇත්තම කිව්වොත් මේක තනිකර සෝස් සහ මයෝනීස් ගොඩක්. කද්දී බන් එක දෙපැත්තෙන් සෝස් වැටෙනවා සටසට ගාලා. ඒ නිසාම ද දන්නේ නැහැ තන්දූරි චිකන් රසක් මේකෙන් දැනුණේ නැහැ. අනික පැටී එකක් වෙනුවට පොඩියට කපපු චිකන් කෑලි ටිකක් තමයි මේකේ තිබුණේ. තක්කාලි පෙත්තක්, සලාද කොලයක් වගේ ම චීස් පෙත්තකුත් මේකට එක්කාසු කරලා තිබුණා. මොනවා වුණත් මේකේ බන් එක හොඳයි. සෑහෙන්න සොෆ්ට් එකට තියෙන බන් එකක්. ඒත් බටර් ගාලා ටෝස්ට් කරලා එහෙම නැහැ. ලොකු වරදක් කියනවා එහෙම නෙවෙයි; මේ ගාණට මීට වඩා රස බර්ගර් එකක් ගන්න පුළුවන් තැන් කීපයක් ම කොළඹ අවට ම තියෙන වග මතක් කරන්න ඕනේ.

චීස් එග් සබ්මැරීන් එක හරිම ෆිලින්. මොකද ස්ක්‍රැම්බල් කරපු බිත්තර දෙකක විතර කෑලි මේකේ තිබුණා. ඒ විතරක්යැ චීස් පෙති දෙකකුත්. මේකට නම් නියමෙට බඩ පිරෙනවා.

අපි ගත්ත බීම දෙක ම හොඳයි. ඒ දෙකෙනුත් නටෙලා ෆ්‍රැපේ එක තමයි අපට ගොඩක් ම අල්ලලා ගියේ. උකු ම උකු කිරි එකක් මැද්දෙන් බොහොම ස්ට්‍රොන්ග් විදියට එන නටෙලා රසක් මේ ෆ්‍රැපේ එකේ තිබුණා. උඩින් දාලා තියෙන විපින් ක්‍රීම් ටිකයි, චොකලට් චිප්ස් ටිකයි එකතුවෙලා එද්දී තවත් මරු.

ෆලූඩා එක පොඩ්ඩක් පැණි රස වැඩි වැඩියි. ඒත් අනිත් සේරම දේවල් ටික නියම බැලන්ස් එකට දාලා තිබුණු නිසා හොඳට ගියා. අනික රු.250ට තඩි වීදුරුවක් පිරෙන්න ෆලූඩා ලැබෙනවනේ. දෙන්නෙක්ට වුණත් බෙදාගන්න තරමට ඇති.

අර ලස්සන අයිස්ක්‍රීම් මෙනුවෙන් අපි තෝරගත්තේ “ටූටී ෆ්රුටී” (රු.300) කියන එක. හප්පටසිරි! රු.300ට පට්ට ම ලාබයි මේක. මොකද බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි, ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් තුනෙන් ස්කූප් එක ගාණේ දාලා. ඒවා වැහෙන්න චොකලට් සෝස්, ස්ප්‍රින්ක්ල්ස්, කෝර්න් ෆ්ලේක්ස්, ජෙලි, සහ කස්ටඩ්! කවුද අප්පේ මේ ගාණට ඒ වග යස අයිස්ක්‍රීම් එකක් දෙන්නේ? මේකත් තනියම කන්න බැරි වෙයි හොඳේ. දෙන්නෙක්ට බෙදාගෙන කන්න නියම අයිස්ක්‍රීම් එක.

සර්විස් එක

අයිස්බර්ග් එකේ සර්විස් එකත් හොඳයි. අපි යද්දී රෙස්ටෝරන්ට් එකේ තව කට්ටිය හත් අට දෙනෙක් ම හිටියා. එහෙම වෙලත් අපේ කෑම බීම සේරම මේසෙට ආවේ විනාඩි 15ක් යන්නත් කලින්. ස්ටාෆ් එකේ අය කඩියෝ වගේ වැඩ.

අවසාන වශයෙන්

අයිස්ක්‍රීම්වලට තියෙන ආසාවට වගේ ම, මහරගම පැත්තෙන් යද්දී එද්දී එන පොඩි බඩගින්න නිවාගන්න අයිස්බර්ග් කියන්නේ නියම තැනක්. අපට තේරුණු විදියට නම් මේ හරියේ ක්ලාස්වලට යන එන අය, රැකියා කරන අය බොහොමයක් අතර මෙතැන සෑහෙන්න ජනප්‍රියයි. කෑමවල ලොකුවට අමුතු රසක් නැතත්, දෙන ගාණේ හැටියට හොඳ වටිනාකමක් දෙන්න මේ කට්ටිය සමත් වෙලා තියෙන වගත් මතක් කරන්න ඕනේ.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

See 1 Comment