Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

3/5

Jaya Gandhi Lodge

200, Galle Main Rd, Colombo


Well known vegetarian hotel located at Wellawatta serving south Indian side of things, selection of dosas, thalis and idlis...



ෆෝන් එකක් බලන්න ගියේ. කොහෙද, අර ලාබ බඩුවෙ හිලක් කියන්න වගේ ඒකෙ බැටරියෙ අවුලක්නෙ. අනේ මන්දා, දැන් නම් ෆෝන් බලල ම ඇතිවෙලා... මොනව කරන්නද කියල එදත් හිත හදාගෙන පාරට බැස්ස ගෙදර යන්න. ඒ බැහැල ඉස්සරහට යද්දි තමයි ඔය කියන කඩේ සෙට් වුණේ.

“ම්… නරකම නෑ. සුප්ප සයිවර් ප්ලේස් එක. කාලෙකින් තෝසෙ පාරක් දැම්මෙත් නැති එකේ… ඔන්න ඔහෙ හිතේ අමාරුව යන්නත් එක්ක කනව වඩයක්, තෝසයක්. කාලා ගහනව වැඩි කහට ටී එකක්.” කියල හිතල ගියා ඇතුළට.

ගිහින් ඉතින්… වාඩි වුණා අයිනක් ම අල්ලල. නිදහසේ කන්න පුළුවන්නෙ. වාඩිවෙලා බඩු මුට්ටු ටිකත් එහා පැත්තෙ පුටුවෙන් තියල ගිහින් අත් දෙක හෝදගෙන එද්දී.. මෙන්න බොලේ සේවක මිත්‍රයෙක් මේසෙ ළඟ!

“ආ.. අයියා. මම බැලුව කෝ කියල. මොනවද ගන්නෙ?”

සත්තයි, දැක්කමයි කස්ටමර් එනකම් බලාගෙන ඉන්න සේවකයෙක්.

“මට… තෝසෙයි (රු. 80) උලුඳු වඩෙයි (රු. 50) ගේන්න. ඒ එක්කම මෙනුවකුත් ගේනවද?”

“හා අයියෙ.” සේවකය දුවල ගියේ…

අනේ මන්දා හිතාගන්න බෑ... කඩේ පොඩි වුණාට, පොෂ් නැති වුණාට මිනිස්සු වැඩකරන්නෙ නිකම් ෆුල් හැපි එකේ. කිව්වට විශ්වාස කරන්න යාළු පිඟන් කෝප්ප ටික මේසෙට ඇවිල්ල තෝසෙ, වඩේ, අලබෝල පිරිච්ච තැටිය මේසෙට එන්න ගියෙත් විනාඩි දෙකයිනෙ. ඊටත් ඒ ගැම්මටම…

“සර් තෝසෙ දාගන්න, මම හොදි දාන්න...” මාර ම සර්විස් එකක්. මට වෙලාවකට හිතුණ මගේ හැඩ හුරුවෙ වෙනස නිසාවත්ද කියල. බැලින්නම් එහෙමත් නෑ, එන හැමෝටම එකවගේ ආයෙ.

කොහොමහරි කොල්ලා මට සලකල පටස් ගාලා අනිත් මේසෙට හැරුණා. මමත් ඉතින් මෙනුව බලබල තෝසෙ කනව.. හෝසෙට!

ෂැහ්! රසත් නියමට. අනික තෝසෙ උණුයිත් එක්කනෙ. හොඳ ඝනකමට හදල නිසා එකක් කෑවත් ‘ෆුල්’ ගානයි. අර වැඩේ තියෙන්නෙ සාම්බාරු හොද්දෙ රස පොඩ්ඩක් මදි එක තමයි. ඒ කියන්නෙ ඒකෙ අඩුවක් පාඩුවක් නෙවෙයි. වට්ටක්කා, මුරුංගා, පරිප්පු වගේ එළවළුයි, මිරිස්, තුනපහ අඩුම කුඩුමයි ගානට තිබ්බට, මසාලා කුළුබඩු මදි පාඩුටික හරියට වැටිලා නෑ.

ඒකට එයාලගෙ මිරිස් හොද්ද නම් ඔන්න හොඳ රහට තිබ්බ. සෝයා, අමු මිරිස්, වේලපු මිරිස් ඔක්කොම දාලා.. බැදපු තුනපහෙන් රස කරලා, නියමයි ඈ.

අවාසනාවට උලුඳු වඩේ එකත් එච්චරම හරි නෑ. වෙන දෙයක් නෙවෙයි, ඒකෙ උලුඳු රස මදි.

කිව්වට විශ්වාස කරන්න යාළු, කෑම එහෙම වෙලත් මට හිතුණෙම මොන මොනවහරි ටිකක් ගෙදර ගෙනියන්නනෙ. ඉතින්… කල්පනා කරල, කල්පනා කරලා මම ඕඩර් කළා රාවා තෝසෙ එකකුයි (රු. 220), පිට්ටු කොත්තුවකුයි (රු. 170), මසාලා පූරියකුයි (රු. 170). ඕඩර් කරලා එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ඉන්න දෙයක් තිබ්බෙ නෑ ඇත්තටම. අර සේවක මල්ලිය දාලා දුන්නනෙ බඩු ටික සෙනික. උණු උණුවෙම ඔන්න සයිවර් එක්ක මම ගෙදර. ගියපු ගමන් කෑම ටික ලිහල කරල දැම්මා පිඟන්වලට.

හප්පේ… සුවඳ!

කාලා ආවට මොකද, සුවඳට මට ආයෙ බඩගිනියි. ම්ම්… ‘ඔන්න ඔහෙ සාම්පල්වත් චෙක් කරනව’ කියල ගත්ත පොඩි පූරි කෑල්ලක් අතට. අරගෙන ගිල්ලුව ඒකට ආපු හොදි එකේම. ගිල්ලලා…

කටවල් දෙක, තුන බැස්සෙ හොඳේ. පට්ට රසයි කියන්නකො මසාලා පූරි එක. දාලා තියෙනව කුළුබඩු අඩුම කුඩුම එක්ක මසාලා පැලෙන්න. වැඩිය ඕන නෑ, පූරි එක නම් නිකම් වුණත් කන්න පුළුවන් ගානයි. උණු උණුවෙන් නිසා රස තවත් මරු.

පූරි එකට දෙවනි නැති රාවා තෝසෙ එක. ඒක නම් එළියට ගද්දිම පිස්සු හැදෙනව. ඇයි අප්පේ… සුවඳ! සූදුරු, කොත්තමල්ලි, මසාලා එක්ක දාලා තියෙනව කුළුබඩු රස නූලට තියෙන්න. ඊටත් තෝසෙ එකට ගී පොඩ්ඩක් එහෙමත් දාලා නිසා… මිරිස්, සාම්බාර් හොදි කලවමේ ගාලා ගත්ත කියන්නෙ යමරෙට ගිලෙන්නෙ ඕං, යමරෙට!

ම්ම්… ඔය අතරට කියන්න ඕන, පිට්ටු කොත්තුව. ඒකත් නරකම නෑ. හැබැයි එළවළු විතරක් නිසා අර රස අපිට ටිකක් මදි වගේ. හැබැයි වෙජි කෙනෙක්ට නම් ටොප් එකට ගැළපෙයි. මොකද අල, ලූනු, කැරට්, ලීක්ස්, රම්පෙ, කරපිංච අඩු නැතුව දාලා තාච්චියෙ හැදෙන කොත්තුවනෙ. නැතත් ඉතින් ඒකට එන මිරිස්, කිරි හොදි දෙකේ කලවමක දාලා ගත්ත කියන්නෙ… බලන් ඉඳිද්දි තලු මැරෙන්නෙ ආ...

වැඩේ කියන්නෙ ඔච්චර කළා.. අන්තිමට බොන්න හරි හැටි ටී එකක් නැති වුණානෙ. අනිවා මතක ඇතුව ඊළඟ පාර නම් ටී එකක්,

බෑග් එකක හරි දාගෙන එනව ඕ…!


TIP

Try Dosas

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment