Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Jet Water Sports


Based out of Jetwing Lagoon, Jet Water sports lets you enjoy kayaking, canoeing, boat excursions and jet skis.



සති අන්තේ නිවාඩුවට, එහෙමත් නැත්තන් සතිය මැද එන තනි දවසේ නිවාඩුවක් අල්ලලා කොළඹට කිට්ටුව තියෙන හොඳ හොටෙල් එකකින් කන බොන ගමන්, Jet Ski, Banana Boat රයිඩ් එකකුයි, Kayaking පාරකුයි දාන්න කැමතිද? ඔය සේරට ම යන්නේ රු.3800ක් කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද?

වැඩේ කියන්නේ ඔය කතාව ඇහුව ම අපටත් පුදුම හිතුණා. අහගන්නකෝ සිද්ධිය. පහුගිය මාසේ එක දිගට ආව නිවාඩු කීපයක් අල්ලලා අපි යාළුවො කට්ටියක් කොහේ හරි ට්‍රිප් එකක් යමුයි කියලා කතා වුණා. හැබැයි ඔය විභාග අනං මනං නිසා එක දවසෙන් ගිහින් එන්න පුළුවන් ට්‍රිප් එකකට තමයි ගොඩක් අයගේ කැමැත්ත තිබුණේ. ඒ අස්සේ Jet Ski රයිඩ් එකක් යන්න ඕනේ ගගා තව කට්ටියක් කියන්න ගත්තා. ඔයින් මෙයින් ඕවා ගැන ඔන්ලයින් සර්ච් කරනකොට තමයි අපට මීගමුවේ “ජෙට් වෝටර් ස්පෝර්ට්ස්” එක ගැන දැනගන්න ලැබුණේ.

තැන

ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එක තියෙන්නේ මීගමුවේ ජෙට්වින්ග් ලගූන් හොටෙල් එකේ ම කොටසක් විදියට. ජෙට්වින් ලගූන් හොටෙල් එකේ පිටිපස්ස හරියට අහු වෙන මීගමු  කලපුවේ ආශ්‍රිත ව තමයි ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එක ඔපරේට් වෙන්නේ. හැබැයි මේ අය පිරිනමන පැකේජ්වලින්, සාමාන්‍යයෙන් හොටෙල් එකට එන ගෙස්ට් කෙනෙක් විදියට ම හෝටල් පරිශ්‍රයේ කාලය ගත කරන්න ඒ අය අවස්ථාව දීලා තියෙනවා.

පහසුකම්

ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එකේ පැකේජ්වල මිල ගණන් ආරම්භ වෙන්නේ රු.3800 ඉඳන්. ගාණ වැඩි වෙද්දී එයින් සැපයෙන පහසුකම් ගණන ඉහළ යනවා. පැකේජ් විදියට ගන්න අකමැති නම්, කැමති ජල ක්‍රීඩා කීපයක් තෝරාගෙන, වෙන වෙන ම ගෙවලා ඒ පහසුකම් ලබාගන්නත් ඔයාලට පුළුවන්.

ජල ක්‍රීඩා

අපි ගත්තේ රු.3800 පැකේජ් එක. මේකට ජල ක්‍රීඩා 3ක් සහ දවල් කෑම ලැබෙන අතරේ, හිතේ හැටියට පූල් එක පාවිච්චි කරන්නත් අවස්ථාව තියෙනවා. ජල ක්‍රීඩා තුන වෙන්නේ Jet Skiing, Kayaking සහ Banana Boat. සාමාන්‍යයෙන් මේ ජල ක්‍රීඩා තුන ම කරන්න ගත වෙන්නේ පැයක වගේ කාලයක්. ඒ හැම එකේදී ම කරන්න ඕනේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න, ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එකේ ස්ටාෆ් එක ඇපකැප වෙලා ඉන්නවා.

Image Source : Jet Water Sports

මීට කලින් Jet Ski එකක් පැදලා තියෙන කෙනෙක්ට නම් කිසි අවුලක් නැතුව ඒක තනියම වුණත් කරන්න පුළුවන්. ඕනේ නම් වැඩි ආරක්ෂාව තකා, ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එකේ ස්ටාෆ් එකේ කෙනෙකුත් එක්කගෙන ම යන්නත් ඇහැකි. කොහොම වුණත් ඒක තීරණය වෙන්නේ තමන්ගේ කැමැත්ත අනූවයි.

Image Source : Jet Water Sports

Kayaking සහ Banana Boat ක්‍රියාකාරකම් දෙක ගොඩක් වෙලාවට වෙන්නේ කණ්ඩායම් හැටියට. හැබැයි කැමති නම් තනියෙන් බෝට්ටුවකුයි හබලයි අරගෙන kayaking කරන්නත් පුළුවන්.

Image Source : Jet Water Sports

මේ ජල ක්‍රීඩාවන් සිද්ධ වෙන කලපු ප්‍රදේශයේ ඒ හැටි ගැඹුරක් දැකගන්න ලැබෙන්නේ නැහැ. දීලා තියෙන සීමාවේ අන්තිම කෙළවරට ගියත්, සාමාන්‍ය උස සහිත පුද්ගලයෙක්ට හිටගෙන ඉන්න පුළුවන් විදියේ ගැඹුරක් තමයි මේකේ තියෙන්නේ. ඒ නැතත් පීනන්න බැරි, පුළුවන් හැමෝට ම ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටල ලබාදෙන නිසා බය වෙන්න දෙයක් ඇත්තෙත් නැහැ.

මේවා ගැන විතරක් නෙවෙයි, මේ අය පහසුකම් සලසන අනිත් ජල ක්‍රීඩා ගැන වගේ ම, ඒවායේ ගණන් හිලව් ගැන සේරම විස්තර එයාලගේ වෙබ්සයිට් එකේ සඳහන් වෙනවා. 077 763 3331 නොම්මරයට කතා කළොත්, තව දුරටත් ඒ කාරණා ගැන පැහැදිලි කිරීමක් ලබාගන්න ඇහැකි.

කෑම බීම

අපි ගත්ත රු.3800 පැකේජ් එකට ලැබෙන්නේ චයිනීස් සෙට් මෙනු එකක්. හැබැයි මේක විතරක් කාලා ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. කැමති නම් ජෙට්වින්ග් ලගූන් හොටෙල් එකේ ලන්ච් බුෆේ එකෙන් හෝ, මෙනුවෙන් කෑම ඕඩර් කරලා ගන්නත් ඇහැකි. හැබැයි ඒවාට වෙනම ගෙවීමක් කරන්න වෙනවා.

අපේ පැකේජ් එකට ලැබුණු නාසිගුරන් එක තමයි මේ. මේකේ බත් එක හොඳට තැම්බිලා තිබුණා. ඒත් පොඩ්ඩක් තෙල් ගතිය වැඩියි. මේ හාල් වර්ගයේත් ඒ හැටි කොලිටි ගතියක් තිබුණේ නැහැ. චිකන් සටේ දෙක නම් හොඳ රසයි. නියම ගානට ග්‍රිල් වෙලා. සාමාන්‍යයෙන් අපට නාසිගුරන් එකකට බුල්සායි එකක් ලැබෙනවනේ. ඒ වෙනුවට මේකේ තිබුණේ පොඩි ඔම්ලට් කෑල්ලක් විතරයි. ඒ නිසා නාසිගුරන් එකේ ඒ හැටි ඔපයක් දැකගන්න ලැබුණේ නැහැ. පොඩ්ඩක් මීට වඩා හොඳට මේ කෑම වේල දෙන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.

අනිත් පහසුකම්   

කිව්වත් වගේ දවස පුරා ම හිතේ හැටියට ජෙට්වින්ග් ලගූන් හොටෙල් එකේ පූල් එක පාවිච්චියට ගන්න ජෙට් වෝටර් ස්පෝර්ට්ස් එකට එන අයට ඉඩකඩ ලබා දීලා තියෙනවා. මේ පූල් එකේ දිග මීටර් 100ක්. ගැඹුර මීටර් 4ක් වගේ. ඩීප්-එන්ඩ් එකක් දැකගන්න ලැබෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පූල් එක පාවිච්චි කරන්න එන කෙනෙක්ට ලැබෙන වරප්‍රසාද සේරම මෙතැනදී ලබාගන්න ඇහැකි. හැබැයි මේ පූල් එකට බහින්න නම් අනිවාර්යෙන් ම පිහිනුම් ඇඳුමෙන් ඉන්න ඕනේ. සාමාන්‍ය කොට කලිසම්, ටී ෂර්ට් හෝ යට ඇඳුම් ඇඳගෙන ඉන්න අයට මේ පූල් එක පාවිච්චි කරන්න බැහැ.

ඒ හැරුණා ම හොටෙල් එකේ common areas වල ගැවසෙන්නත් පුළුවන්. හොටෙල් එකේ පිටුපස හරියේ තියෙන තණකොළ බිස්සේ වාඩි වෙලා, මීගමු කලපුව පිසගෙන එන හුළං රැල්ලක් විඳගන්න ලැබෙන එක ම සෑහෙන්න දෙයක්.

සර්විස් එක

ජෙට් වෝටර් ස්පෝර්ට්ස් කාර්ය මණ්ඩලය බොහොම සුහදශීලියි. ඒ වගේ ම මේ කලපුව ගැන, ඒකෙ වතුර මට්ටම, සුළඟේ වේගය ඇතුළු වෝටර් ස්පෝර්ට්ස් සම්බන්ධ ගොඩක් දේවල් ගැන ඒ අයට සෑහෙන්න ලොකු දැනුමක් තියෙනවා. හැම ක්‍රියාකාරකමකදී ම වෙන්න ඕනේ දේවල් බොහොම පැහැදිලි ව කියලා දෙනවා වගේ ම, අපේ ආරක්ෂාව ගැන හොඳින් අවධානය දීලා ඉන්නත් ඒ අය අමතක කරන්නේ නැහැ.

අවසාන වශයෙන්

සරලව ම කිව්වොත්, මේ හැම ජල ක්‍රීඩාවකින් ම අපට අපි ගැන තියෙන ආත්ම විශ්වාසය වගේ ම, කණ්ඩායමක් කියන හැඟීමෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ඉගැන්වෙනවා. ඒ නිසා ඔෆිස්වල ඕෆ්සයිට් ට්‍රිප්වලටත් මෙතැන පාවිච්චි වෙන බවයි අපට දැනගන්න ලැබුණේ. ඒ විදියට එද්දී මේවයේ ගණන් හිලව් මීට වඩා තරමක් අඩු වෙන්නත් පුළුවන්. ඔය උඩ තියෙන අංකයට කතා කළොත් ඒ සේරම ගැන විස්තරත් දැනගන්න ඇහැකි.

Similar Places

User Reviews
See 2 Comments