3/5

K Town Bakes

212, George R.De.Silva Mawatha, Colombo 13


K Town Bakes serves up some pretty good bakery items for a fair price tag.



දෙයියනේ කියලා බයක් සැකක් නැතුව අවුරුදු තුනක් පාවිච්චි කරපු බැක්පැක් එක කැඩුණා කියන්නකෝ. වෙලාවට වන්-ටු-වන් වොරන්ටියක් තිබුණේ. ඒ නිසා අතේ තියෙන සල්ලි ටික පූජා නොකර බෑග් එකක් ගන්න පුළුවන්කම තිබුණා.

වැඩේ කියන්නේ මේක ගත්ත කඩේට ගියාමනේ දැනගත්තේ, ඒ කට්ටිය මේ වර්ගේ බෑග් විකුණන එක නවත්තලා දැන් මාස කීපයක් වෙනවලු. හැබැයි එයාලගේ ඩීලර් ළඟට ගියොත් නම් මොකක් හරි කරගන්න බැරි වෙන එකක් නැහැලු. ඔයින් මෙයින් මේ බෑග් ඩීලර් ව හොයාගෙන ගිය ගමන කෙළවර වුණේ කොටහේනෙන්. පූරුවේ වාසනාවකටද කොහෙද  ඩීලර් ළඟ මගේ ජාතියේ එක බෑග් එකක් ඉතුරුවෙලා තිබුණා. සන්තෝසේ බෑ අප්පා!

හිතේ සන්තෝසේ වැඩිකමටද මන්දා ඩීලර් ෂොප් එකෙන් එළියට බැස්සට පස්සේ පුදුම බඩගින්නක් දැනුණේ. පේන තෙක් මානෙක කෑම කඩයක් නැහැ. තිබුණත් සෙනසුරාදා දවසක් නිසා කඩවල් වහලා. ඉබාගාතේ ඔහේ ඇවිදගෙන යන ගමන් මම ගූගල් මැප් එකේ අරහෙට මෙහෙට පීරලා බැලුවා. මෙන්න තියෙනවා කේ ටවුන් බේක්ස් කියලා එකක්. මං ඉඳපු තැන ඉඳලා මීටර් සීයක්වත් දුර නැහැ. ආයේ බලබල ඉන්න දෙයක් තිබුණේ නැහැ. අඩියට දෙකට බේකරියට ඇවිදගෙන ගියා මිසක්.

තැන

කේ ටවුන් බේක්ස් එක තියෙන්නේ කොටහේනේ ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතේ. “කේ ටවුන්” කියන නම ලැබිලා තියෙන්නේ කොටහේනේ තියෙන නිසා වෙන්න ඕනේ. ඔය පාරේ අයිනේ ම වගේ පිහිටලා තියෙන නිසා ලේසියෙන් කෙනෙක්ට මඟ හැරෙන්නේ නැහැ.

ෂහ්! හරි ම හැඩ ඉන්ටීරියර් එකක්නේ මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන්නේ. මුළු ඩිසයින් එක ම හදලා තියෙන්නේ කළු, කහ, සහ සුදු පාටවල් තුනෙන්. හොඳ එළිපෙහෙළියට තියෙනවා වගේ ම, ඉඩ කඩත් ඕනේ තරම්. අනික පාරේ අයිනේ තිබුණා කියල ලොකු සද්ද බද්දයකුත් නැහැනේ. ඒ නිසා වාතාවරණයත් සෑහෙන්න හොඳයි.

කෑම බීම

තඩි ෂෝ කේස් තුනක් පුරවපු බේකරි කෑම තොගයක් මේ කට්ටිය ළඟ තියෙනවා. සේවරි ඕනේ නම් එහෙමයි, ස්වීට් ජාති ඕනේ නම් එහෙමයි. ඔය කොයි කාට වුණත් හිතේ හැටියට රස විඳින්න පුළුවන් විදියේ කෑම ජාති ගොඩක් මේ අයගේ ෂෝ කේස්වල දාලා තියෙනවා. ඔය අතරින් අපි එග් රෝල් (රු.60), ඔම්ලට් බන් (රු.80), ෆිෂ් පෆ් (රු.70) සහ චොකලට් බ්‍රව්නී (රු.120) එකක්. බීම විදියට අයිස්ඩ් මයිලෝ (රු.120) එකක් ඕඩර් කළා.

එග් රෝල් එක නම් පංකාදු පහයි. බිත්තර කෑල්ලක් එක්ක එන හොඳ පිරවුමක් මේ රෝල් එකේ තිබුණා. නිකන් මේ ඔහේ ලූණු, අල මික්ස් කරලා හදපු එකක් නෙවෙයි. ලුණු, ගම්මිරිස් රසත් ගානට බැලන්ස් වෙන්න හැදුව පිරවුමක්. වටේ දැවටුමෙත් තිබුණේ පුදුම ක්‍රිස්පි ගතියක්නෙ. කරස් ගාලා හැපෙන්නේ. අපට හිතුණෙ ම උණු ප්ලේන්ටියක් තිබුණ නම් කියලා.ඔම්ලට් බන් එකත් ගොඩක් හොඳයි. අමු මිරිස්, ලූණු, ගම්මිරිස් යහමින් දාලා හදපු ඔම්ලට් මිශ්‍රණයක් තමයි මේ බන් එක ඇතුළේ තිබුණේ. හැබැයි බන් එක නම් ඔය විශේෂයක් තියෙන එකක් නෙවෙයි. කොහෙන් වුණත් කන්න ලැබෙන ජාතියේ නෝමල් එක්ක.

අමුතුවෙන් කියලා විශේෂ හොඳක් කියන්න නැතත්, ෆිෂ් පෆ් එකත් අවුලක් නැතුව තිබුණා. ඔය පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ තියෙන ෆිෂ් පේස්ට්‍රිවල තරම් රස පිරවුමක් නම් මේකේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔය මගතොටේ හම්බවෙන බේකරිවල තියෙන පේස්ට්‍රිවලට වඩා නම් ගොඩක් ම හොඳයි.

චොකලට් බ්‍රව්නි එකත් නැගල ම ගියා. එක ම අවුල වුණේ මේකේ අඩිය හරියේ තිබුණු ළාවට දැනෙන තද ගතිය තමයි. මගේ හිතේ මේවා හදලා ටිකක් කල් වගේ. හැබැයි අඩුවක් නැතුව දැනෙන සුපිරි චොකලට් රසක් මේ බ්‍රව්නි එකේ තිබුණා. මොකද නිකන් චොකලට් රසට හැපෙනවා විතරක් නෙවෙයිනේ; අතරින් පතර එන කජු කෑලිත් තිබුණනේ. ඒ විතරක්යැ, මේකේ උඩටත් හීනියට කපපු රටකජුත් දාලා. ඒ නිසා තවත් හොඳයි.

අයිස්ඩ් මයිලෝ එක ෂේප්. පොඩ්ඩක් සීනි රස වැඩියි. මීට වඩා හොඳ අයිස්ඩ් මයිලෝ කීපයක් ම අපි බීලා තියෙනවා.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. ඕනේ කෑම ජාති ටික කියලා කවුන්ටරේට ගිහින් බිල් එක දාගන්න තමයි තියෙන්නේ. වැඩට ඉන්න අයගේ ලොකු සුහදශීලී ගතියක් නැතත්, කෑම බීම ටික දාලා දෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ.

අවසාන වශයෙන්

කොටහේන පැත්තෙන් යන වෙලාවක පොඩි බඩගින්නක් නිවාගන්න ඕනේ වුණොත්, කේ ටවුන් බේකස් ඒක ඒකට අගේට ගැලපෙන තැනක්. ලොකු සෝබන ගණන් ඇත්තෙත් නෑ, ඒ වුණාට හොඳ කොලිටි කෑම. ෂෝට්-ඊට්ස් විතරක් නෙවෙයි, මේ අය දවල් වරුවට ලන්ච් පැකැට්ස් එහෙමත් සපයන බවයි ආරංචිය.

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

212, George R.De.Silva Mawatha, Colombo 13

Contacts

Facebook

Report Inaccuracy

Open until 09:00 PM

Dish Types

Cupcakes Doughnuts Bready

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment