Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

La Veranda

55, Ananda Coomarasamy Mawatha, Colombo 03


La Veranda is one of the newest cafes in town. Their food is alright, but the place itself needs a lot of improvement.



ඔන්න එදා ඡන්දෙ දවස. කලබලයක්, ට්‍රැෆික් එකක් නැතුව බඩු මුට්ටු ටිකක් ගන්න යන්න කියාපු දවසනේ. එහෙම හිතාගත්ත මම ලිබර්ටි ප්ලාසා එක පැත්තට ආවේ ඇඳුමක් කැඩුමක් ගන්න කියලා. ඒ වැඩ ටික අහවර වුණා ම, ඊළඟට කල්පනා කළේ දවල් කෑම ගන්නේ කොහෙන්ද කියන එක.

ඔහොම මතක් කරනකොට තමයි මට කොටුවේ ඉඳන් 101 බස් එන කොල්ලුපිටියේ ආනන්ද කුමාරස්වාමි මාවතේ අලුතෙන් දාලා තියෙන කැෆේ එක මතක් වුණේ. කට්ට අව්ව වුණත්, පාර වන් වේ නිසා ටුක් එකක යන්න විදියකුත් නැහැ. මොකද බොරුවට වටයක් ගහන්න වෙනවනේ. හැබැයි ලිබර්ටි ප්ලාසා එකේ ඉඳලා මීටර් 500ක් වගේ ඇති දුර. “ඇවිද්ද පය දහස් වටී” කියලා හිතාගත්ත අපි පයින් ම ගමන පටන්ගත්තා.

තැන

ලා වැරැන්ඩා එක තියෙන්නේ කොල්ලුපිටියේ සිනමන් රෙඩ් එක කිට්ටුවමයි. මේක ලාවට වගේ අවුට්ඩෝර් කැෆේ එකක් විදියට හදපු තැනක්. මේස තුන හතරක් හැරුණා ම, ඉතුරු ඉඩේ තියෙන්නේ කුස්සිය. හැබැයි හෙන ම රස්නෙයි මෙතැන නම්. හරියට හුළං එන ෆෑන් එකක්වත් නැති නිසා ඇතුළේ වාඩි වෙලා ඉන්න බෑ. එළියේ වාඩි වෙලා ඉන්න බෑ, තද අව්ව. ඔය සේරමත් පැත්තකින් තියමුකෝ, මැස්සෝ එළවන්න වෙනකොටනේ එපා වෙන්නේ. හොඳ ම වැඩේ තමයි ටේක්-අවේ දාලා කෑම ටික ගෙදර අරගෙන ගිහින් කන එක. එහෙමත් නැත්තන් ඩිලිවර් කරගන්න එක.

කෑම බීම

කෑම බීම නම් තොගයක් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පැස්ටා, සැන්විච්, බර්ගර් ආදී නා නා ප්‍රකාර කෑම. බීමට තියෙන්නේ කෝපි, ෆෘට් ජූස්, අයිස්ඩ් කොෆී වර්ග. ඔය මොකවත් ඕනේ නැත්තන් කොකාකෝලා, ස්ප්‍රයිට් වගේ දේවලුත් ගන්න ඇහැකි.

අපි ඔය අතරින් ගත්තේ “චිකන් චීස් බර්ගර්” (රු.500) එකකුයි, “එග් පැස්ටා” (රු.380, එක්ස්ට්‍රා චීස් එක්ක රු.480) එකකුයි. බීමට “අයිස්ඩ් කොෆී” (රු.250) එකක් ඕඩර් කළා. උණු කෝපි ජාති කීපයක් තිබුණත් අපට ඒවා බොන්න හිත දුන්නේ නැහැ. මොකද මෙතැන රස්නේ වැඩියිනේ.

මුලින් ම කියන්නම්කො චිකන් චීස් බර්ගර් එක ගැන. මේකේ පැටී එක වරදක් නැහැ. මස් රස හොඳට තිබුණා. ඒ වගේ ම තඩි සයිස්. හැබැයි පොඩ්ඩක්වත් ක්‍රිස්පි ගතියක් එන මතුපිටක් නෙවෙයි තිබුණේ. කොහොම වුණත් මේක අංග සම්පූර්ණ බර්ගර් එකක්. මොකද චීස්, තක්කාලි, ලූණු, ලෙටියුස් වගේ ම, බැදපු බිත්තරේකුත් දාලා තිබුණා. ඒ නිසා බාගයක් කද්දී බඩ පිරෙන සයිස්. ඒ වුණත් ඒ එළවළු, චීස් ජාති ටිකත් එක්කාසු කළාට පස්සේ ග්‍රිල් කරපු නිසාදෝ හෝ ඒවා ටිකක් මැලවුණු ගතියක් තමයි පේන්න තිබුණේ. අර ලෙටියුස්වල වුණත් ක්‍රන්චි ගතියක් නැහැ. පැටී එකයි, බන් එකයි ග්‍රිල් කළාට පස්සේ ඔය එළවළු, චීස් ටික දාලා දුන්නා නම් මේ බර්ගර් එක මීට වඩා හොඳ වෙන්න තිබුණා.

එග් පැස්ටා එකත් වරදක් නැහැ. පැස්ටා ටික ගානට තැම්බිලා තිබුණා. හැබැයි චීස් මදි. අනික සෝස් එක නිකන් ම ටෝමාටෝ සෝස්. ඒ නිසා මේක නිකන් ගෙදර හදන පැස්ටා එකක් වගේ.

අයිස්ඩ් කොෆී එකත් ශේප්. කොෆී රස හොඳට ම ආවා. නියමෙට කූල් කරලා තිබුණු එකත් සෑහෙන්න දෙයක්. කිරි ටිකකුත් වැඩිපුර එක්කාසු කරලා ගත්ත නම්, තවත් රසට එන්න තිබුණා.  

සර්විස් එක

අපි ගිය වෙලාවේ නම් රෙස්ටෝරන්ට් එක පාළුවට ගිහින්. කවුරුවත් ම නැහැ. කොහොම වුණත් සර්විස් එක හොඳට තිබුණා. අපේ කෑම බීම ටික මේසෙට එන්න ගත වුණේ විනාඩි 10ක් වගේ.

අවසාන වශයෙන්

කොල්ලුපිටිය හන්දිය කිට්ටුව තියෙන තැනකින් මේ වගේ අඩු ගණන්වලට කන්න ලැබෙන එක සෑහෙන්න දෙයක්. මොකද ලිබර්ටි ෆුඩ් කෝර්ට් එකට ගියත්, මේ ගාණට හෝ මේ රසට කෑම ගන්න ටිකක් අමාරුයිනේ. එකම අවුල රෙස්ටෝරන්ට් එකේ ඇතුළේ තියෙන රස්නෙයි, මැස්සෝ ප්‍රශ්නෙයි තමයි. අන්න ඒ ගැටලු දෙක විසඳලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

Artwork for Frimi Shoutout banner 2- non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment