Artwork for Sampath Top - June

4/5

Lak Rasa Caterers

236, Galle road, Walana, Panadura


A great place to have a good Sri Lankan & Sri Lankan Chinese meal



“මට බෑ කොළඹ එන්න. ඔයා එන්න පානදුරේ”

හප්පේ… ඔන්න උදෙන්ම බර බරේ! ආයෙ ඉතින් බෑ කියන්නයැ. මමත් දඩි බිඩියට ෂෝටක් ටී ෂර්ට් එකක් දාගෙන ලෑස්ති වුණා පානදුරේ යන්න. මොකද කාලෙකින්නෙ මුණ ගැහෙන්නෙ.

ඒකත්, වැඩේ කියන්නෙ නිවාඩු දවස නිසා පාරෙ බස් අඩුයි කියන්නකො. කොටින් ම බම්බවලට ඇවිත් පානදුර බස් එකකට ගොඩ වෙන්න ම පැයක් විතර ගියා. ඊටත්, මෙලෝ සිහියක් නැතුව ඇවිත් ගොඩ වෙලා තියෙන්නෙ පරණ පාරෙ පානදුර බස් එකකට. මළ කෙලියයි කියන්නේ… බැණුම් කෝටියයි! වෙලාවට පැයෙන් වගේ පානදුරේට ඇද ගත්තෙ, නැත්නම් ලෝක විනාසයක් වෙන්නෙ.

කොහොම හරි හෝල්ට් එකෙන් බැහැපු ගමන් මම කළේ පාර පැනපු එක. පැනලා ගිහින් ඉතින්, දන්නැද්ද ඉතින් පොඩි චාටුවක් දාලා වැඩේ ෂේප් කරගත්ත. ඊට පස්සෙ ඉස් ඉස්සෙල්ලාම කියල කතා වෙලා බඩගිනි නිවාගන්න යන්න කල්පනා කළා. මොකද දෙන්නම පැය ගාණක් තිස්සෙ පාරෙනෙ.

“හ්ම්ම්… අපි අර වලව් ගෙදර ඉස්සරහ තිබ්බ ප්ලේස් එකට ගියේ නෑ නේ? අද එතනට ගිහින් බලමුද. මට මතකයි එදා එතන සෑහෙන්න සෙනඟක් එහෙමත් හිටිය”

“ආ.. ඔව් ඔව් ලක් රස එක. ඒකෙන් තමයි අපේ යාළුවො ගොඩක් පාර්ටිවලට කෑම එහෙමත් ඕඩර් කරන්නෙ. යං යං එතන හොඳයි”

අනුමැතිය ලැබුණ සනිකව… අඩියයි දෙකයි. පේමන්ට් එක දිගේ, දෙන්නත් එක්ක කයියක් දාගෙන… ඒත් ඉතින් වැඩි දුරක් නම් යන්න ලැබුණෙ නෑ. මොකද කඩේ අත ළඟමනෙ.

ලක් රස කේටර්ස් එකේ පල්ලෙහා තට්ටුව තියෙන්නෙ ටේක් අවේ එකට. උඩ තට්ටුවෙ තමයි කෑම කාමරේ. ඒසී එහෙම කරල, කොළ පාට ඉස්මතු වෙන විදියට මේස, පුටු, බිත්තිවලින් හැඩ කරල එතකොට පොඩි පොඩි විසිතුරු ආයිත්තම් එහෙමත් දාලා..! හැරත් ඉතින් එ් සේවක මඩුල්ලත් සෑහෙන්න සුහද නිසා හරි සතුටින් කෑම බීම ටික තෝරල බඩ කට පුරව ගන්න පුළුවන්.

කෑම කාමරේට ඇතුල් වෙද්දි ම අපිටත් ලැබුණෙ සුහදශීලී හිනාවක්. ඒ එක්කම මේසයකුත් පෙන්නුව වාඩි වෙන්න, හරියට තරු පහේ හෝටල්වල වගේ. ඊට පස්සෙ අපේ ළඟට ඇවිල්ල මෙනුවක් එහෙමත් දීලා අපිට කෑම තෝරන්න පොඩි සපෝට් එකකුත් දුන්න.

“අයියෙ, මට ඕන ලයිම් ජූස් එකක් (රු. 160). ඒකයි… පෝර්ක්, බීෆ් නැති රයිස් එකකුයි”

මගේ මූණ දිහා බලාගෙන කිව්වා ම ඉතින් එපා කියන්නයැ. මම සේවක මිත්‍රයත් එක්ක කතා කළා. කරල තමයි ලයිම් ජූස් ඕඩරෙයි ලක් රස ස්පෙෂල් රයිස් (රු. 600) ඕරෙයි දැම්මෙ. ඒකත් හරි අමුතු සිද්ධියක්. මොකද වෙන තැන්වල ස්පෙෂල් රයිස් එකේ හැම මසක් මාළුවක්ම තියෙනවනෙ. ඒත් මෙයාලගෙ ස්පෙෂල් රයිස් එකේ චිකන් විතරයි. හැබැයි මික්ස් රයිස් කියල වෙනමම එකක් තියෙනව. අන්තිමට ඉතින් මම හිතා ගත්ත පෝර්ක් ඩිෂ් එකක් වෙනම ම ගන්න.

“මේ… යාළුව, ඔයාලගෙ පෝර්ක්වලින් නැගලම යන්නෙ මොනවද?”

“හ්ම්… ඉස්ටු එකක් (රු. 540) දාමු සර්. ඉස්ටු එක රසයි”

“එහෙමද? ඒනම්… දාන්නකො ඒකක්. ආ… මේ පෝර්ක් කොත්තුත් තියෙනවනෙ”

“සොරි සර්, කොත්තු නම් 6න් පස්සෙ වගේ තමයි ගන්න පුළුවන් වෙන්නෙ”

“අපරාදෙ. කමක් නෑ කමක් නෑ, වෙන දවසක කන්න බැරියැ. ඉස්ටු එක දාන්න”

කොත්තුවක සිහිනය ඇරඹුමේ ම කඳුළක් වුන නිසා දුක මකාගන්නත් එක්ක කියල මම පොඩි ආදර කතා බහක් පටන් ගත්ත. මොකද එතකොට වෙලාව යනව තේරෙන්නෙ නෑනෙ. ඒ වාසියෙන් විනාඩි 15කට 20ක් යන්න ඇති, අපි ඉල්ලපු ලයිම් එක මේසෙ උඩ.

කට ගැස්මට නම් හොඳයි… ඒත්! සුපිරියිම කියන්න නම් අමාරුයි. මොකද අර ලෙල්ලෙන් එන ලා තිත්ත ගතිය එහෙම එකතු වෙලා නෑ. හැබැයි ඉතින් සීනි, ගාණට. කූල් එකත් එලෙසින්ම. ඒකෙන් උගුරක් දෙකක් බොන අතරෙ තමයි අපේ කෑම ටික මේසෙට ආවෙ. ආයෙ ඉතින් බල බල ඉන්න දෙයක් නෑනෙ. ගත්ත සනිකව මම බෙදා ගත්ත පෝර්ක් ඉස්ටු, ගෑනු ළමයට රයිස් බෙදා ගන්න කියල. පස්සෙ රයිස් හැන්දකුත් දාගෙනම තමයි වැඩේට බැස්සෙ.

ෂප්පේ! පෝර්ක් එක. කටට කෙළ උනනව යාළු. සුපිරියි කියන්නේ… අනික අමුතු ගමේ රහකුත් තියෙනවනෙ. හොඳට තැම්බිලා කිරි රහට හැදුණු පෝර්ක් කෑලි ගම්මිරිස්වලින් සැර වෙලා තියෙද්දි මාරම රසයි. අනික මාළු මිරිස්, කැරට්, බෝංචි, අල, ලූණු හැම දෙයක්ම එකතු කරලත් එක්කනෙ. බොරු කියන්න ඕන නෑ ඉස්ටු නම් ඉස්ටු විදියට මෙයාලගෙ ඉස්ටුවෙ පෝර්ක් කෑලිත් 12කට 13කට එහා පැත්තෙ. ඒකත් තෙල් කෑලි උපරිම 2යි, 3යි තියෙන්නෙ. ආ… ඒක නෙවෙයි, මේකෙ හොද්ද! අායෙ පාන්, පරාටා කන්න කියාපු. තරමක් ඝනේට තියෙන නිසා රස දැනෙනවත් වැඩියි. කොහොමත් හොඳම ටික හොද්දෙනෙ.

අවාසනාවට රයිස් එක නම් එච්චරම හරි නෑ. ස්පෙෂල් කිව්වට කිසිම ස්පෙෂල් ගතියක් තිබ්බෙ නෑ. සමහර විට චිකන් විතරක් නිසා වෙන්න පුළුවන්. අනික චිකනුත් තිබ්බෙ නිකම් තම්බල, සෝස්වලින් රස කරලනෙ. ඒ හැරුනාම ඉතින් බුල්සායි එකක් නම් තිබ්බ. අනිත් ඔක්කොම කැරට්, ලීක්ස්, බෝංචි, ගෝවාවලින් තමයි රස වෙලා තිබුණෙ. ඒකත් බත් තොගයකට චොප්සි උඩින් දාලා. ඇත්තටම එයාලට තිබුණ, එයාලගෙ මික්ස් රයිස් එකවත් ‘ස්පෙෂල්’ නමින් නම් කරන්න හොඳේ.

හැබැයි ඉතින් මෙහෙමයි. එක රයිස් එකක් අවුල් ගියාට මොකද අනිත් එව්ව තියෙනවනෙ පංකාදු පහට. විශේෂයෙන්ම ඔය පෝර්ක් කොත්තු එහෙම…


TIP

Try Pork Kottu.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment