Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

Lanka Falls (Kalupahana)

Lanka Falls, Weerakoon Villge, Kalupahana.


හීනි වැහි පොදයක්, මිහිදුමක් හැරෙන්න මුළු මනින්ම හිරු කිරණින් දිස්න දෙන මේ වන අරණ කුරුල්ලන්ගෙ කීචි බීචියෙන්, ලස්සන සමනලුන්ගෙ හැඩ වැඩෙන් අලංකරණය වෙලා තියෙන්නෙ පරිසර හිතකාමී ඔයාල වෙනුවෙන්මයි.



බඹරකන්ද දිය ඇල්ලෙ හැඩ බලපු ඔයාලා ආපහු බහින ගමනෙ හමුවෙන අර දෙවනි කඳු ගැටය ලඟ නතර වුනානෙ. දැන් බලන්නකො, ඔය කඳු ගැටයෙ දකුණු වක්‍රයත් එක්ක කඳු බෑවුම අයින දිගේ පිහිටල තියෙන අඩි පාරක් පෙනේවි. බය වෙන්න දෙයක් නෑ. ඒක හොඳටම පේන අඩි පාරක්.

දැන් අපි ලංකා ඇල්ලයි අනිත් ඇලි ටිකයි බලන්න යන ගමන පටන් ගමු. හමුවුණු අඩි පාර දිගේ ඉස්සරහට යන්න. වැඩි දුරක් නෑ. ටිකක් වම් පැත්තට වක්‍ර වෙන අඩි පාරෙ මීටර 100ක විතර දුරක් ගියාම ඔයාල ගොඩ වෙන්නෙ තවත් ලස්සන තැනකට. බඹරකන්දෙ කඳු බෑවමේ මැද්දට වෙන්න තියෙන ලොකු මාන පිට්ටනියක්. ඔය ගොඩ වුනු තැන ඉඳන් දකුණු පැත්ත බැලුවට නම් ඒ හැටි සුන්දරත්වයක් අත් විඳින්න වෙන්නෙ නෑ. ලංකා ඇල්ල කඩා හැලෙන ලස්සනයි මීදුමෙන් වැහුණු කඳු මුදුන් ටිකයි තමයි බලන්න තියෙන්නෙ. බලන්න වම් පැත්ත. කෙලින්ම පේන්නෙ කඳු නිම්නය. ඊටත් කැපිලම පේන්නෙ ඉස්සරහ කන්දෙ එක පේලියට පිහිටල තියෙන දිය ඇලි තුනේ ලස්සන. ඒ දිය ඇලි තුන කඩා හැලෙන නිම්නය දිගේ උඩ පැත්තට බලන් යද්දි ටිකක් ඈතට වෙන්න ගස් අතරින් පේන තවත් දිය ඇල්ලක මුඛය නැත්නම් කඩා හැලෙන්න පටන් ගන්න තැන පේනව. හැබැයි හොඳ කල්පනාවෙන් බලන්න ඕන.

හරි දැන් තැන් ටික බලා ගත්තනෙ. ආයෙත් ගමන පටන් ගමු. අපි ඉස්සෙල්ලම යන්න හදන්නෙ ලංකා ඇල්ලට. ඔයාල නතර වුනු තැන ඉඳන් පොඩි දුරක් ඉස්සරහට යද්දි අඩි පාර දෙකට බෙදෙන තැනක් මුණ ගැහේවි. එතනින් පහලට, වම් පැත්තට තියෙන පාරෙ යන්න. උපරිම මීටර 100ක් යන්න වෙයි. ඉස්සරහ හමුවෙන පොඩි බඩ වැටිය යටින් රිංගුවාම පිවිසෙන්නෙ ලංකා ඇල්ලෙ ඔය පාරට. දැන් ඔය පාරෙන් එගොඩ වෙලා දකුණු පැත්ත හැරෙන්න. ඔය තියෙන්නෙ අපූරුවට කඩා හැලෙන ලංකා ඇල්ල. ලංකා ඇල්ලට නම වැටිල තිනේනෙ මේ ඇල්ලෙ වතුර පාර රූරා වැටෙන ගල් තලාවෙ තියෙන ලංකා සිතියම් හැඩය නිසා. වතුර වැඩි කාලෙට ගියොත් නම් සැඩ පාරෙන් හැඩ වුණු ලංකා ඇල්ලෙ රමණීයත්වය ටික වෙලාවකට හරි ඔයාලගෙ හැඟීම් හොරා ගනීවි. ඒත් මතක තියා ගන්න යාළුවනේ ඇල්ලෙ වතුර පාර වැටෙන පොකුණ ගොඩක්ම ගැඹුරුයි. නාන්න නම් යන්න එපා. අනිත් කාරණය තමයි දෙපැත්තෙ ගල් තලාව දිගේ උඩට නගින්න පුළුවන් වගේ පෙනුනට හිරිකඩ පාරට බැඳුණු දිය සෙවල නිසා සෑහෙන්න ලිස්සනව. නිකන් දත කට පූට්ටු කර ගන්න ඕන නෑනෙ. මොකද තව දිය ඇලි දෙක තුනකුත් තියෙනව බලන්න යන්න.

ලංකා ඇල්ලෙ සුන්දරත්වය අත් වින්දට පස්සෙ පටන් ගන්න ඊලඟ දිය ඇල්ල බලන්න යන ත්‍රාසජනක ගමන. හැබැයි වැහි කාලෙක, ඒ කියන්නෙ ලංකා ඇල්ලෙ ඔය පාර සැර කාලෙක නම් මේ ගමන නොයන තරමට හොඳයි. මොකද එතනින් එහාට යන්න තියෙන්නෙ ලංකා ඇල්ලෙ ඔය පාර දිගේ. ගල් කුළු වලින් පැන පැන යන ගමනෙ ගොඩක් දුරට ලිස්සල වැටෙන්න පුළුවන්. අනික තැන් දෙක තුනක්ම තියෙනව සෑහෙන්න උසක් තියෙන. වතුර පාර වැඩි වුනොත් ඒ තැන් වලින් නගින්න බහින්න අමාරුයි. කොහොම වුනත් මීටර 100ක විතර පොඩි දුරක තියෙන මේ අමාරු තැන්ටික පහු කලාම නම් හමුවෙන්නෙ ලොකු ගල් තලාවක්. ගල් තලාව දිගේ පහලට බැස්සාම ආයෙත් ටික දුරක් ගල් කුළු වලින් පැන පැන යන්න තියෙනව. ලංකා ඇල්ල ලඟ ඉඳන් උපරිම මීටර 300ක් ඇති මේ අපූරු දිය ඇල්ල ලඟට. ලොකු උසක් නැති වුනාට සෑහෙන්න පළල් ගල් තලාවකින් කඩා හැලෙන මේ ඇල්ලෙ නම මොකක්ද කියල නම් හොයා ගන්න බැරි වුනා. ඇත්තටම කිව්වොත් ලංකා ඇල්ලට වඩා මට නම් මේ දිය ඇල්ල ලස්සනයි. වතුර ටිකක් නාගන්නව නම් මේ ඇල්ල පාමුලටත් ටිකක් විතර මෙහායින් පොඩි තටාකයක් තියෙනව. හැබැයි කඳවුරු බඳින්න නම් ඉඩක් නෑ. මොකද දිය ඇලි දෙකේම වතුර පාර මුණ ගැහෙන මේ තුම්මං හන්දියෙ ඉවුරක් නෑ. ගල් තලාව තිබ්බත් හදිස්සියෙවත් වතුර පාර වැඩි වුනොත් කඳවුර පිටින්ම ගියා කියන්න තමයි වෙන්නෙ.

මේ ඇල්ලට පහලින්, ඒ කියන්නෙ තුම්මං හන්දියෙන් ඔය පාර ගලා ගෙන යන පැත්තට තවත් කිලෝමීටර භාගෙක විතර දුරක් ගියාම තවත් නම නොදන්න ලස්සන දිය ඇල්ලක් තියෙනව. ඒත් ඒ ගමන නම් යන්න පුළුවන් වෙන්නෙ හොඳටම පායන කාලෙකට තමයි. මොකද එතනට යන්න වෙනම අඩි පාරක් නෑ. ඔය පාර දිගේම තමයි යන්න තියෙන්නෙ. ගෙනාපු කර මළු ගල් තලාවක් උඩින් තියල මුළු මනින්ම අත පය නිදහස් කරගෙන මේ ගමන පටන් ගන්න අමතක කරන්න එපා. සෑහෙන්න දුරට ලිස්සන ගල් කුළු වලින් පැන පැන යන්න තියෙන මේ ගමනෙ හදිස්සි වෙලාවක් ආවොත් උදව්වට තියෙන්නෙ අත පය හතර තමයි.

ඔය සුන්දර දිය ඇලි දෙක තියෙන්නෙ ලංකා ඇල්ලෙ ගල් තලාවෙන් පහලනෙ. ලංකා ඇල්ල උඩ කැලේ මැද්දට වෙන්නත් තව උස දිය ඇල්ලක් තියෙනව. එතනට යන්න නම් අඩි පාරක් ඇත්තෙම නෑ. ලංකා ඇල්ල ඔය පාරෙන් එගොඩ වෙලා කැලේට රිංගල දකුණු පැත්තට ඉස්සරහට යන්න ඕන. දුර කිලෝමීටරයකට වැඩි වුනත් නිස්කලංක පරිසරයයි කුරුල්ලන්ගෙ කීචි බීචි සද්දයයි නිසා කාන්සියක් නම් දැනෙන්නෙ නෑ. ඒත් මේ දිය ඇල්ල බලන්න යන ගමනට පාර දන්න කෙනෙක් එකතු කරගත්තොත් තමයි හොඳ. මොකද ගොඩක් දුරට පාර වැරදෙන්න තියෙන ඉඩ වැඩියි. අනිත් කාරණය තමයි හවස තුනෙන් පස්සෙ නම් මේ දිය ඇල්ල බලන්න යන්න පිටත් වෙන්න එපා. මීදුම බාලා ඔන්න මෙන්න පේන්නෙ නැති ගාණට පරිසරය හැදෙන්නෙ හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට. කොහොම වුනත් අමාරුවෙන් හරි මෙතනට ගාට ගත්තොත් බඹර කන්ද දිය ඇල්ල තරමටම උසයි කියල පේන මේ දිය ඇල්ලෙ ගුප්ත සුන්දරත්වය හිතේ හැටියට රස විඳින්න පුළුවන්. ඒත් දිය ඇල්ල පාමුල ගැන නම් මට ලොකු විස්තරයක් කියන්න බෑ. මොකද එතනට යා ගන්න මටත් වෙලාව මදි වුන නිසා.

පහුගිය සතියයි මේ සතියයි පුරාවට කියපු මේ දිය ඇලි සංචාරය හරියට යන කෙනෙක්ට නම් එක දවසෙන් ඉවර කරන්න පුළුවන්. කඳවුරු බැඳගෙන ඉන්නව නම්, සොබාදහමෙ ආශ්වාදය හිත පුරා විඳ ගෙන රෑ දෙක තුනක් පහන් කරන්න කදිමෙට ගැලපෙන කඳවුරු භූමිත් ඕන තරම් තියෙනව. අවුරුද්දෙ මුල් කාර්තුව, ඒ කියන්නෙ පෙබරවාරි ඉඳන් අප්‍රේල් වෙනකම් කාලය තමයි මේ සංචාරයට ගොඩක්ම සුදුසු වෙන්නෙ. හීනි වැහි පොදයක්, මිහිදුමක් හැරෙන්න මුළු මනින්ම හිරු කිරණින් දිස්න දෙන මේ වන අරණ කුරුල්ලන්ගෙ කීචි බීචියෙන්, ලස්සන සමනලුන්ගෙ හැඩ වැඩෙන් අලංකරණය වෙලා තියෙන්නෙ පරිසර හිතකාමී ඔයාල වෙනුවෙන්මයි. මතක තියා ගන්න, වැහි කාලෙන් පස්සෙ පටන් ගන්න ඊලඟ සංචාරක කාලයෙදි මේ තැන් ටිකටත් ගොඩ වෙලා සුන්දරත්වය අත් විඳින්න.


TIP

Be careful. It's a slippery floor.

Address

Lanka Falls, Weerakoon Villge, Kalupahana.

Report Inaccuracy

Ratings Breakdown

Overall Rating
3
Ambience Rating
3

Have you visited this place?

Write your own review!
Leave a comment