Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Let's Brunch

53 Haig Road, Colombo 4


All sorts of weekend brunch treats by the coast, Continental and Lankan.



“ක්‍රීං ක්‍රීං, ක්‍රීං ක්‍රීං”

කණ ගාව වැදුණ එලාම් එක ඕෆ් කරලා, දෙයියනේ කියලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවා විතරයි, ඔන්න එනවා කෝල් එකක්. දන්නේ නැති නොම්බරයක්, මොකාද මේ මහ පාන්දර?

“මඟුල! සෙනසුරාදා වෙලත් ඩිංගක් නිදාගන්න නැති හැටි". මං බැණ බැණ ම කෝල් එක ගත්තා. බැලින්නම් මේ ඉස්කෝලේ එකට ඉගෙනගත්ත හාදයෙක්. කාලෙකට ඉහතදී රට ගිය මේ උන්දෑ, කළින් දවසේ උදැහැනැක්කේ ලංකාවට ගොඩ බැහැලා. නිවාඩු දවසේ මුණගැහිලා ඕප දූප ටිකක් කියවන්න ඕනෙකමටයි මේ කතා කරලා තියෙන්නේ.

මට තිබුණු කම්මැලිකම කොච්චරද කිව්වොත්, ඇඳෙන් බහින්න හිත් දුන්නේ නැහැ. පහුවෙනිදට මුණගැහෙන පොරොන්දුකුත් යාලුවට දීලා, ආයේ නිදාගන්න ගමන් මම කල්පනා කළේ හෙට යන්නේ කොහේද කියලයි. එතකොට තමයි මට මතක්වුණේ බම්බලපිටියේ අලුතෙන් දාපු “Let’s Brunch” එක. සති අන්තේ එතන හරිම කළබලයි කියලා, පහුගිය දවසක ඒ පැත්තේ ගිය අපේ කිනිටාත් කිව්වා. නින්ද පැත්තකින් තියපු මම ටක් ගාලා “Let’s Brunch” එකේ නොම්මරේට කතා කලේ පහුවෙනිදා උදේ වරුවට රෙසවේෂන් එකක් දාගන්න.

වැඩේ හරි. ඔන්න මම ආයේ නිදි.

තැන

මැරීන් ඩ්‍රයිව් එකේ යන එන කෙනෙක්ට බම්බලපිටියේ “ෆැට් ක්‍රැබ්” එක තියෙන තැන ලේසියෙන් මඟ හැරෙන්නේ නැහැ. බම්බලපිටිය ස්ටේසමට මීටර් සීයක් වගේ මෙහායින්, වැල්ලවත්ත පැත්තට බර වෙලා තියෙන Don’s Deli එකේ ඇතුල් පැත්තේ තමයි මේ ෆැට් ක්‍රැබ් එක තියෙන්නේ. අපි ගොඩවැදුණු මේ “Let’s Brunch” එක කරගෙන යන්නෙත් ෆැට් ක්‍රැබ් එකෙන්ම පාලනය වෙන අවන්හලක් විදියට.

අහ්! කියන්න බැරිවුණා නේ. මේක බ්‍රන්ච් ප්ලේස් එකක්. එහෙමත් නැත්තන් උදේ කෑමයි, දවල් කෑමයි ගන්න වෙලාවල් අතර මැද්දේ, ඒ දෙකටම හරි යන විදියට කන්න පුළුවන් තැනක්. ඒ නිසා උදේ 10.30ට වගේ තමයි “Let’s Brunch” එකේ දොර පාරිභෝගිකයාට ඇරෙන්නේ.

ෂහ්! හරිම අපූරු වටපිටාවක් නේ මෙතැන තියෙන්නේ. නුදුරින් පේන්නේ දවල් වරුවේ අව් රැස් වැටිලා රිදී තරංග වගේ දිලිසෙන රැළි පිරිවරාගත්ත මුහුද. හිසට වහලක් විතරක් වෙන විදියට හදපු උඩු මහලක තියෙන “Let’s Brunch” එකේ තියෙන්නේ හරිම සැහැල්ලු වාතාවරණයක්. හතර පැත්තෙන්ම හොඳට මුහුදු හුළඟ වැඩෙන නිසා ඒසී ඕනෙත් නැහැ, රස්නයක් දැනෙන්නෙත් නැහැ.

අවන්හලට ඇතුල් වෙන තැන ඉඳපු තරුණයා බොහොම සුහදශීලී විදියට හිනාවෙලා අපිව පිළිගත්තා. රෙසවේෂන් දාලා තිබුණු නිසා, අපේ මේසය ඒ වෙද්දීත් ලෑස්තිවෙලයි තිබුණේ. ඒ විතරක් නෙවෙයි, කාට කාටත් ඉන්න ගමන් පාට කරන්න පුළුවන් විදියේ චිත්‍රත්, ඒ සඳහා පාට පැන්සලුත් හැම මේසෙක ම තියලා තියෙනවා. ඉතින් කෑම ඕඩරේ දාලා ඉන්න ගමන් අපි කළෙත්, ඒවායේ පාට ගෑව එක තමයි.

කෑම බීම  

“බ්‍රන්ච් එකකට ඇවිල්ලා සුද්දගේ ඉංගිරිසි කෑම වේලක් කාලා බැලුවේ නැත්තන් වැඩක් නෑනේ බං”

යාළුවගේ තර්කෙත් හරි. ඒ නිසා ම තමයි අපි මෙනුවේ තිබුණු “The Full English” එක ඕඩර් කළේ. (රු.1290, අපේ කිනිටා ගිය මාසේ යද්දී නම් මේක රු.990යි ලු. දැන් ගාණ පොඩ්ඩක් වැඩිවෙලා) මේකත් එක්ක “Smoked Salmon with cream cheese and cucumber“ (රු.965) එකකුත් අපි ගත්තා. බීම වර්ග විදියට අයිස් කොෆී එකකුත් (රු.290), ස්ට්‍රෝබෙරි සෙරෙනේඩ් (රු.625) එකකුත් තෝරගත්ත අපි, ඔන්න අර පින්තූර පාට කරන ගමන් ඕපදූප මල්ල දිග ඇරියා.

මුලින්ම අපේ මේසෙට ආවේ බීම වර්ග දෙක. අයිස් කොෆී එකේ කෝපියි, කිරියි මුසු කරලා තිබුණේ නියම පදමට. සීනිත් හරි ගාණට. ඕනෙම හොඳ අයිස් කොෆී එකක තියෙන්න ඕනේ ලක්‍ෂණ, රස මේකේ අඩුවක් නැතුවම තිබුණා. ගාණට කූල් කරලා තිබුණු නිසා, ඒ රස තවත් හොඳට දැනුණා අපට.

බොනවා නම් ස්ට්‍රෝබෙරි සෙරෙනේඩ් එක තමයි බීම! මේක මිල්ක් ෂේක් එකක් වගේ බීමක්. හප්පච්චියේ! මේකේ තිබුණු ස්ට්‍රෝබෙරි රසට අපි පිස්සු වැටුණා. අනං මනං කෘතීම ස්ට්‍රෝබෙරි රස නෙවෙයි, මේකේ තිබුණේ ගහෙන් ඒ වෙලේ නෙලාගත්ත ස්ට්‍රෝබෙරි ගෙඩිවල රස. අනික උකු ගතියත් ගාණට නිසා, දිව නහර පිනා යන රසක් මේකේ තිබුණා.

විනාඩි පහළොවක් වගේ යද්දී, මෙන්න “The Full English” එක මගේ මූණ ඉස්සරහ. ටෝස්ට් කරපු පාන් පෙත්තක්, රෝස්ට් බීෆ් කෑල්ලක්, බැදපු බිත්තර දෙකක්, චිකන් සොසේජස් දෙකක්, බේකන් තීරු දෙකක්, සහ බේක් කරපු බෝංචිවලින් සමන්විත මේක පිළිගැන්වුණේ ලී තැටියක් උඩ තියලයි.

මම කෑම පටන්ගත්තේ ටෝස්ට් කරපු පාන් පෙත්තෙන්. ගාණට දෙපැත්ත ටෝස්ට් වුණු පාන් පෙත්තට බේක් කරපු බෝංචි ඇට දෙක තුනක් වැටුණාම එන්නේ දිව්‍යලෝක රසක්. මේවා තක්කාලි සෝස්වලත් පොඟවපු බෝංචි නිසා, ඒ රස දෙගුණ තෙගුණ වුණා. චිකන් සොසේජස් දෙකත් ඒවායේ ඇතුළට හොඳට තෙල් කා වදින විදියටයි බැදලා තිබුණේ. ඒ නිසා රසත් හොඳයි.

බේකන්වල රස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේකේ තිබුණු බීෆ් කෑල්ලේ මතුපිට හැපෙද්දී, ලාවට එන කරස් සද්දේ තමයි මරු. ඒ වෙනුවට ඇතුල්පැත්තේ තිබුණේ තෙල්වල පහස ලබපු මෘදු බීෆ්වල රස. අමුතුවෙන් කියන්න දෙයක් නැතත්, මේ පිඟානේ තිබුණු බැදපු බිත්තරවලත් හොඳ රසක් තිබුණා. දැන් ගාණ පොඩ්ඩක් වැඩි වුණත්, මේකේ රස ගැන නම් වරදක් කියන්න දෙයක් ඇත්තෙම නැහැ.

අපි ඕඩර් කරපු “Smoked Salmon with cream cheese and cucumber“ එක, දැක්ක ගමන් කන්න හිතෙන විදියේ අපූරු ආකාරයකට හැඩගස්වලා තිබුණු එකක්. විශේෂයෙන්ම මේකට ඒ ලස්සන ආවේ උඩින්ම දාලා තිබුණු සැමන් පින්ක් පාටින් දිලිසෙන, ස්මෝක් කරපු සැමන් පටි ටිකෙන්. ඊට යටින්, සීරුවට කපපු පිපිඤ්ඤා පෙති අතුරලා, ක්‍රීම් චීස් තවරපු දුඹුරු පාන් පෙති තියලා තිබුණා. හොඳ පදමට ස්මෝක් කරපු සැමන් නිසා, පෙනුම වගේම තමයි මේ ටික එකට එකතුවෙද්දී එන රසත්.    

සර්විස් එක

අවන්හලට ඇතුල්වෙන දොර ළඟදී තිබුණු සුහදශීලී බව, අපි කාලා බීලා එතැනින් එලියට යද්දීත් කිසිම අඩුවක් නැතුවම “Let’s Brunch” එකේ කාර්ය මණ්ඩලයෙන් දැකගන්න ලැබුණා. කෑම බීම තෝරාගනිද්දී පවා එයාලගෙන් හොඳ සහයක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි කෑම බීම මේසෙට එද්දී, බිල ගෙනෙද්දී නම් ටිකක් විතර ප්‍රමාද බවක් අපට දැනුණා.

අවසාන වශයෙන්

බ්‍රන්ච් අත්දැකීම ලබපු, නොලබපු ඕනෙම කෙනෙක් යන්නම ඕනේ තැනක් විදියට “Let’s Brunch” එක හඳුන්වන්න පුළුවන්. කෑම, බීම විතරක් නෙවෙයි, මෙතැන වාතාවරණය පවා හරිම සුන්දරයි. බ්‍රන්ච් ප්ලේස් එකක් නිසා, සති අන්තේ විතරයි ඒ අත්දැකීම විඳින්න, ඔයාලට අවස්ථාව තියෙන්නේ. කිව්වත් වගේ සෙනඟ නම් ටිකක් වැඩියි. ඒ නිසා අනිවාර්යෙන්ම රෙසවේෂන් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොඳද.


TIP

Make a reservation or head there early, they're very popular on weekends!

Similar Places

User Reviews
H
2

4/5

0

hesh22

the food was awesome. had the most resfresing watermelon juice… far better than most juice spots. the polpani crepes a must try… loved the adult colouring papers. the only downer was the heat. would be great if they can get some coolers

J
4

1/5

0

Jiminy Cricket

Overpriced food with subpar quality and service. Not a place worth visiting.

H
2

4/5

0

hesh22

the food was awesome. had the most resfresing watermelon juice… far better than most juice spots. the polpani crepes a must try… loved the adult colouring papers. the only downer was the heat. would be great if they can get some coolers

J
4

1/5

0

Jiminy Cricket

Overpriced food with subpar quality and service. Not a place worth visiting.

See 9 Comments