Lipton Seat, Dambethenna Estate, Haputhale
Lipton's Seat, located in Dambethenna Estate in Haputhale, has amazing panoramic views and is a worthwhile hike.
කොළඹ, බදුල්ල ප්‍රධාන මාර්ගයෙහි කොළඹ සිට කිලෝමීටර් 189 ක් පමණ දුර ගිය තැන් හි මුණ ගැසෙන හපුතලේ නගරය අති රමණීය කඳුකර භූගෝලීය පිහිටිමකින් ද වියළි කලාපීය දේශගුණික ලක්ෂණයන්ගෙන් ද පරිපූර්ණ වේ. වළාකුළු වලින් කැටයම් කළ මනස්කාන්ත අහස් තලයක අසිරිය රිසි සේ විඳගැනීමට ලිප්ටන්ස් සීට් කදිම තෝතැන්නක් බැව් එහි යනෙන ඕනෑම කෙනෙකුට පාහේ වැටහෙනවා ඇත.
පැය 5 කට අධික කාලයක් ගතවන කොළඹ සිට හපුතලේ දක්වා වන සංචාරය සුවපහසුවෙන් නිමා කිරීමට සාමාන්‍ය සහ අධි සුඛෝපභෝගී සේවා පහසුකම් සහිත බස් රථ වලින් සමන්විත, බස් රථ අංක 99 නැතිනම් කොළඹ-බදුල්ල හෝ කොළඹ-පස්සර බස් රථ සේවාව උපකාර වනු ඇත.
හපුතලේ නගර මධ්‍යයෙන් දකුණට හැරී ගමන් කිරීමට ඇති දඹේතැන්න වතුයායේ පිවිසුම් මාර්ගයේ බස් රථ අංක 326 බණ්ඩාරවෙළ සිට දඹේතැන්න තෙක් ධාවනය වන සාමාන්‍ය බස්රථ සේවාවක් වන අතර එහි ගමනාන්තය හපුතලේ සිට කිලෝ මීටර් 9.5 ක් පමණ දුරකින් පිහිටා ඇති දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව වෙයි.
නමුදු හපුතලේ සිට කිලෝ මීටර් 15 ක් පමණ ගිය තැන්හි මුණ ගැසෙන ලිප්ටන්ස් සීට් හි ප්‍රධාන ලයිම් ගම්මානය තෙක් ධාවනය වන තවත් බස් රථ සේවාවක් ඊට අන්තර්ගත කර ඇත්තේ ගම්මානය තුළ ජීවත්වන වතු කම්කරුවන්ගේ ජීවන අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන්ට හපුතලේ නගරය පැමිණීමේ අවශ්‍යතාවය සපුරාලමිනි.
උදෑසන හිරුකිරණ මිහිමත පතිත වීමටත් මත්තෙන් තම දෛනික ජීවිතය ආරම්භ කරන වතුකම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා ද්‍රවිඩ ජාතිකයන් වන බැවින් හිමිදිරියේ ඇසෙන කෝවිලෙහි පූජා නාදයත් අවට පරිසරයෙන් නැගෙන විහඟ නාදයත් එහි යන එන කාගේත් සිත් ප්‍රබෝධමත් කිරීමට සමත් වූව ද, ඒකාකාරී ජීවන රටාවකින් හෙබි වූ වතු කම්කරුවන්ගේ දවස ගෙවනුයේ තම දෙඅතින් නෙලන තේ දල්ලක රස වෙනුවට දෙඋර රිදුම් දෙන විඩාබර හෝරාවක නිමාවකින් වීම දෙනෙතට කදුළු ගෙනෙන කරුණකි.
කලින් ලබාගත් අවසරයකින් දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඉන් පරිබාහිර කටයුතු අධ්‍යයනය කිරීමටත්, ලොව ඉහළම ඉල්ලූමක් ඇති ප්‍රමිතිගතව නිෂ්පාදනය වන්නා වූ ඉතා රසවත් හා ගුණවත් ලාංකීය තේ වර්ග මිලදී ගැනීමට සහ රස බැලීමටත් මෙහි දී සංචාරකයින්ට අවස්ථාව උදාවේ.
දඹේතැන්න තේ කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටා ඇති ලිප්ටන්ස් සීට් වෙත පා ගමනින් ගමන් කිරීම හරිත වර්ණයන්ගෙන් යුත් රමණීය වතුයායත්, ගල් බැමි වලින් මායිම් කළ කෙටි මංමාවත් සහ දිය පහරවල සුන්දරත්වයත්, අතරින් පතර වළාකුළු වලින් සැරසුණු ඉමක් කොනක් නොපෙනෙන නිල්වන් අහස් තලයත්, සැණෙකින් පුළුල් පරාසයක් වෙලාගනිමින් සිහින් සීතලක් කැටුව විත් අමුතුම හුදෙකලා බවක් සිත තුල ජනිත කරන මිහිදුම් වළාවන්වන්ගේ ආශ්වාදයත් නිදහසේ රස විඳීමට ලැඛෙන ඉඩ ප්‍රස්ථාව තුළින් යාන්ත්‍රීකරණය වූ මිනිස් සිත් හෝරා කිහිපයකට හෝ ඉන් අත් මුදවනවා ඇත.
ලිප්ටන් වතුයායේ නිර්මාණකරු වූ සර් තෝමස් ලිප්ටන් නම් වූ ස්කොට්ලන්ත ජාතික නැවියා 1890 වකවානුව තුළ දී වියළි කලාපීය කඳුකර වනාන්තර වලින් ගහණ වූ මෙම භූමියේ වැටී තිබූ කුඩා අඩි පාරක් ඔස්සේ අශ්වයෙකුගේ අධාරයෙන් පැමිණ ගමනේ විඩාව නිවාලීමට මද වේලාවක් හිඳ ගිමන් හැරි කුඩා ගල් තලාව පසු කාලීනව ලිප්ටන්ස් සීට් නමින් නම් පට බැඳුණි.
ස්වභාවධර්මයෙහි අරුම පුදුම නිමැවුමක් වන මෙම කුඩා ගල් තලාවෙහි සිට බැලූ කල්හි පුරා අංශක 180 ක පමණ පුළුල් පරාසයක මුළුමනින්ම දිස්වෙන බදුල්ල, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් ද, අර්ධ වශයෙන් දිස්වන රත්නපුර දිස්ත්‍රික්කය ද, සමනොළ කන්ද, සූරියවැව ක්‍රීඩාංගනය, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය ඇතුළු නැගෙනහිර ගිණිකොණ සහ දකුණු පළාත් වලට අයිති සිරිලක නොයෙක් විද ස්ථානයන් ද එහි විශේෂත්වයට තුඩුදෙන හේතු සාධක ලෙසින් හැඳින්විය හැකිය.
කෙසේ නමුදු මෙම චමත්කාර ජනක අත්දැකීම මුළුමනින්ම පාහේ ලබාගැනීමට හැකි වන්නේ අගෝස්තු සහ දෙසැම්බර් යන මාසයන් හිදී පමණකි. ඊට ප්‍රධාන හේතූන් වන්නේ නිරන්තයෙන් පවතින සුළු වර්ෂාපතනයත්, අධික සුළං තත්ත්වයත්, ඝණ මිහිදුම් වළාවන් එම කාලය තුළදී බොහෝ දුරට පහවී පැහැදිලි අහසක හිමිකාරිත්වය ලිප්ටන්ස් සීට් වෙත ලබාදෙන බැවිනි.
99 බදු ක්‍රමයට දැනට මෙහි අයිතිය දරණ ලංකෙම් ආයතනය, සංචාරකයිනට පහසු වන අයුරින් තාර යෙදූ ප්‍රධාන මාර්ගයක් ද, ගල් පඩි වලින් සැකසූ අතුරු මාර්ග ද, කුඩා වෙළඳ සැලක් ද ලිප්ටන්ස් සීට් හි ස්ථාපිත කර ඇත. ත්‍රාසජනක සහ විඩාබර බවින් අත් මිදුණු තරමක් වෙනස් වූ දේශගුණික සහ භූගෝලීය පරිසරයක උපරිම රස වින්දයක් ලබාගැනීම සොබාදම් මාතාව විසින් මෙරටට දායාද කළ තවත් අපූරූ නිර්මාණයක් ලෙසින් ලිප්ටන්ස් සීට් හැඳින්විය හැකිය.
Address
Lipton Seat, Dambethenna Estate, Haputhale
Directions
Get to the Dambatenne Estate and take the signed road for about 5km
Report InaccuracyThe Sambodhi Chaithya is a beautiful temple built on…
සොබා දහමෙහි අපූර්වත්වයත්…
Delete Comment
kajja
කාලෙකට පස්සේ සින්හල ආටිකල් එකක් !
always loved to read about this place since i still couldn't go there myself
Ravi
How far is it from the Olympus Plaza Hotel? Would like to walk up there.